මඩකලපුවේ “ෂරියා” විශ්වවිද්‍යාලය: මේ කරුණු දැන සිටියා ද?

කිලෝමීටරයකට වඩා දුර දිවෙන ප්‍රධාන වීදිය දෙපස රෙදිපිළි, ඉලෙක්ට්‍රොනික උපාංග, ජංගම දුරකතන, පරිගණක ඇතුළු එකී නොකී භාණ්ඩ අලවි කෙරෙන විවිධ තරාතිරමේ වෙළෙඳසල්ය. අතරින් පතර මුස්ලිම් දේවස්ථානය. දෙපසට දිවෙන මාර්ගයේ මැද තීරුවේ රෝපණය කර ඇති ඇතැම් රට ඉඳි ගස් ඵලින් බර වී ඇත. බැලූ බැල්මට ම කාත්තන්කුඩිය සශ්‍රීක වෙළෙඳ නගරයකි.

Image caption කාත්තන්කුඩි නගරය

පූනානිහි ඉදිවෙමින් පවතින මතභේදයට තුඩු දී ඇති විශ්වවිද්‍යාලය පිළිබඳ පුවතක් වාර්තා කිරීම සඳහා අප කාත්තන්කුඩි සිට ගමන් ආරම්භ කිරීමට ප්‍රථම හෝටලයක් වෙත පිය මැන්නේ, තේ කෝප්පයක රස බැලීම සඳහාය. පළමුව දෙමළ බසින් අප පිළිගත් වේටර්වරයා දෙවනුව සිංහල බසින් අප ආමන්ත්‍රණය කළේ නගරයට ආගන්තුකයන් බව හඳුනා ගත් නිසා විය යුතුය.

"මේ දවස් ටිකේ කට්ටිය එනවා අඩුයි. බාගෙට බාගයක් බිස්නස් අඩු වෙලා," ප්‍රශ්නය ඇසීමට පෙර පිළිතුරකි. මාගේ ඇස් රැඳී ඇත්තේ හෝටලය ඉදිරිපස ඇති රට ඉඳි ගස් දෙසටය. මා දෙස බැලූ ඔහුගේ මුවේ ඇත්තේ අව්‍යාජ සිනහවකි.

"මහත්තයා රට ඉඳි ගෙඩියක් කඩල දෙන්න ද? හරිම රෂයි. හරියට ඇපල් වගේ" පිළිතුරු දීමට ඉඩ නොතබා ම ඔහු ක්‍රියාත්මක විය. කස්ටමර් සර්විස්වලින් එහා ගිය ලෙන්ගතු ආගන්තුක සත්කාරයකි.

කාත්තන්කුඩි නගරයට පසු හමුවෙන්නේ, කල්ලඩි පාලමය. 'සිංදු කියන මාළු' වෙනුවට පාලම දෙපස ඇත්තේ හමුදා මාර්ග බාධක දෙකකි.

"මහ පොළොව ඉතින් දෙකට තුනට කැඩී යාවී යාළුවෝ ... ගංගා මහ මුහුද කලපු නොබෙදේවි ද යාළුවෝ... උඹලා කොයි දෙස කොයි රටකට යනව ද මාළුවෝ ..." ගුණදාස කපුගේගේ හඬ නිතැතින් සිහියට නැගේ.

කල්ලඩි, මඩකලපුව, ඔඩ්ඩමාවඩි, චෙන්කලාඩි, එරාවූර් පසු කරමින් අපි පුනානි වෙත ගමන් කළෙමු.

මාර්ගය දෙපස නිවාස පිහිටා ඇත්තේ අතරින් පතරය. ඒ අතර අලුතින් ආරම්භ කෙරුණු ගොවිපළවල් සහ හමුදා කඳවුරුය. වේගයෙන් දිවෙන බස් රථ සහ වැලි ලොරි අතරින් ඉදිරියට පැමිණෙන මෝටර් රථයක් ඉඳහිට මුණ ගැසෙයි.

පූනානිහි ඉදිවෙමින් පවතින විශ්වවිද්‍යාලයේ පිවිසුම් දොරටු ඈතින් දිස්වේ. විශ්වවිද්‍යාල ගොඩනැගිල්ල ඉදිරිපිට එවැනි දොරටු තුනක් පිහිටා ඇති අතර ප්‍රධාන දොරටුව අසල හමුදා භට කණ්ඩායමකි. ඒ තුළට ඇතුළු වීම සඳහා විශ්වවිද්‍යාල පාලන අධිකාරියෙන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් අවසර ගත යුතුය. අප විශ්වවිද්‍යාල භුමිය වෙත ඇතුළු වූයේ ඒ අනුවය.

මෙම විශ්වවිද්‍යාලය යළි කතාබහට ලක් වූයේ පසුගිය පාස්කු ඉරිදා දේවස්ථාන සහ සංචාරක හෙටල් වෙත ප්‍රහාර එල්ල වීමත් සමගය. මේ අතර මරාගෙන මැරෙන ප්‍රහාරකයන් සාමාජිකත්වය දැරූ බව පැවසෙන ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ තිඹිරිගෙය කාත්තන්කුඩි සහ ඒ අවට ප්‍රදේශ බව පොලිසිය පවසයි. අදාළ විශ්වවිද්‍යාලය හරහා "ෂරියා නීතිය" ඉගැන්වෙන බවටත් "අන්තවාදීන්" බිහි විය හැකි බවටත් චෝදනා නැගෙන්නේ මෙවන් පසුබිමකදීය.

ආරම්භය සහ පසුබිම

ඉහත කී අධ්‍යාපන ආයතනයේ හිටපු සභාපති නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා පවසන පරිදි එහි ඉදිකිරීම් සඳහා මහවැලි අධිකාරිය යටතේ පැවති භූමියකින් අක්කර 35 ක් ලබා දී ඇත්තේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදීය.

ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසන පරිදි අදාළ අධ්‍යාපන ආයතනය:

  • 2013 ජූනි: ආරම්භ කර ඇත්තේ මලික් අබ්දුල්ලා යුනිවසිටි කොලේජ් නමින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් වශයෙනි
  • 2014: බැටිකලෝ යුනිවර්සිටි කොලේජ් ලෙස නම වෙනස් කර ඇත
  • 2015: බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ලෙස ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ පනත යටතේ ලියාපදිංචි කර ඇත
  • 2016: බැටිකලෝ කැම්පස් ඔෆ් ශ්‍රී ලංකා ලෙස යළි නම වෙනස් කර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) ලියාපදිංචි කර ඇත

මූල්‍ය ආයෝජනය

විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා සෞදි අරාබියේ අලි අබ්දුල්ලා අල් ජිෆාලි නමැති පදනම මගින් සහන ණයක් ලබා ගත් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පවසයි.

ඔහු පවසන පරිදි කොටස් හයකින් ලබා ගෙන ඇති "රුපියල් මිලියන 3,600 ක ණය මුදල" ගෙවීම ආරම්භ කළ යුතු වන්නේ, වසර 15 කට පසුය.

එහි සම්පූර්ණ වියදම් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට වාර්තා කර ඇති බවත් ඔහු අවධාරණය කරයි.

අදාළ ආයෝජනය සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන පවසන්නේ, එකී මුදල් සම්බන්ධයෙන් පරස්පර වාර්තා පවතින බවය.

"මේක කළු සල්ලි සුදු කරන ස්ථානයක් බවට පත් කර ගත්ත ද කියන ප්‍රශ්නයත් අපට නැගෙනවා."

මේ අතර පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන කියා සිටියේ ඒ සඳහා මුදල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය.

මඩකළපුව ෂරියා විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් කරන මෙන් නියෝග කොට තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මතු කළ පැනයකට පිළිතුරු දෙමිනි.

ඉගැන්වීමට නියමිත උපාධි පාඨමාලා සහ විෂය නිර්දේශ:

  • ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ පීඨය
  • ගෘහනිර්මාණ සැලසුම් සහ මිනුම් කටයුතු පීඨය
  • නීති පීඨය
  • සංචාරක සහ ව්‍යාපාර කළමනාකරණ පීඨය
  • කෘෂි තාක්ෂණ සහ සම්පත් කළමනාකරණ පීඨය
  • ආගමික, සංස්කෘතික සහ භාෂා පීඨය
  • එමෙන් ම වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇත

"ෂරියා විශ්වවිද්‍යාලයක්" ඉදි වන බවට නැගෙන චෝදනා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ප්‍රතික්ෂේප කරයි.

කෙසේ නමුත් ඉස්ලාමීය අධ්‍යයනය සහ ෂරියා නමැති විෂය හැදෑරීමට එහි අවස්ථාව ඇති බව ඔහු පවසයි.

"ෂරියා කියන්නේ ඉස්ලාම් ආගම. ෂරියා උගන්වන්න විශ්වවිද්‍යාල අවශ්‍ය නැහැ. එය සියලු ම මුස්ලිම්වරුන් පිළිපදින දෙයක්," යනුවෙන් ආණ්ඩුකාරවරයා කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

මේ අතර ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ මහාචාර්ය චන්න ජයසුමන පවසන්නේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලබා දී ඇති ලිපිගොනුවලට අනුව එහි නීති පීඨය යටතේ පවතින්නේ ෂරියා අධ්‍යයන දෙපාර්තමේන්තුව (Department of Sharia) පමණක් බවය.

විශ්වවිද්‍යාලය තුළ ඇති පහසුකම්

නිල වාර්තාවලට අනුව අදාළ අධ්‍යාපන ආයතනය තුළ:

  • සිසු සිසුවියන් දෙසීයකට අසුන් ගත හැකි දේශනා ශාලා 3ක්
  • සිසු සිසුවියන් අසූවකට අසුන් ගත හැකි දේශනා ශාලා 14ක්
  • නවීන පහසුකම් සහිත විද්‍යාගාර 8ක්
  • අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයට නවාතැන් ගත හැකි කාමර 150ක්
  • සිසුන් 1000කට නේවාසික පහසුකම් සහිතය.

ඉලක්කගත සිසු සිසුවියන්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලබා දී ඇති ව්‍යාපෘති වාර්තාවලට අනුව:

  • 2019 වසර වන විට: සිසු සිසුවියන් 3670
  • 2020 වසර වන විට: සිසු සිසුවියන් 5380 බඳවා ගැනීමට අපේක්ෂිතය.

එමෙන් ම 2025 වසර වන විට ළමුන් 10,000ක් බඳවා ගැනීම එහි ඉලක්කය බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා කියා සිටියේය.

ඔහු පවසන පරිදි අදාළ විශ්වවිද්‍යාලය මුස්ලිම් ප්‍රජාවට පමණක් සීමා වූ අධ්‍යාපන ආයතනයක් නොවේ.

"මේක මුස්ලිම්, සිංහල, දෙමළ සියලු ම ළමුන්ට විවෘතයි. එහෙම මුස්ලිම් දරුවන් පමණක් බඳවා ගන්න හැකියාවකුත් නැහැ. උදාහරණයක් වශයෙන් නියමිත සුදුසුකම් සපුරන ලද දරුවෙකුට පමණයි වරලත් ඉංජිනේරු ආයතනයේ ලියාපදිංචි විය හැක්කේ," යනුවෙන් ඔහු කියා සිටියේය.

මේ අතර ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසන්නේ, ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශවල වෙසෙන සිංහල සහ දෙමළ ප්‍රජාවට අයත් දරුවන් පෞද්ගලික උපාධියක් ලබා ගැනීම සඳහා නැගෙනහිර පළාත තෝරා ගැනීම පිළිබඳව ප්‍රයෝගික ගැටලු පවතින බවය.

"අවසාන වශයෙන් මෙය ඉස්ලාමීය නීතිය, ෂරියා නීතිය සහ ඔවුන්ගේ බැංකු ක්‍රමය ආදී සීමිත විෂයයන් ප්‍රමාණයක් එක් ජන කොට්ඨාසයකට පමණක් අධ්‍යයනය කරන්න ලැබෙන ස්ථානයක් බවට පත්වීමයි සිදුවන්නේ"

විශ්වවිද්‍යාලයේ ආකෘතිය

අදාළ විශ්වවිද්‍යාල සංකීර්ණය සම්බන්ධයෙන් විරෝධය පළ කරන වැඩි දෙනෙකු එහි බාහිර ස්වරූපය සම්බන්ධයෙන් ද ප්‍රශ්න කර තිබිණි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේ "නමගිය සිංහල බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පියෙකු විසින් මෝගල් ගෘහනිර්මාණ ශිල්පයට අනුව එය සැලසුම් කළ," බවය.

"රජයේ මුදල්වලින් හදන විශ්වවිද්‍යාල ඒ ඒ ප්‍රදේශවලට ගැලපෙන විදිහට නිර්මාණය කරන්නේ. පේරාදෙණිය, යාපනය විශ්වවිද්‍යාල ඒ ඒ පළාත්වල පවතින සංස්කෘතියට අනුව නිර්මාණය කර තිබෙනවා. අපි මේක අපේ සල්ලිවලින් හදන්නේ. ඒක අපිට අවශ්‍ය විදිහට හදන්න පුළුවන්."

"අග්නිදිග විශ්වවිද්‍යාලය බලන්න. එතන මුස්ලිම් ගෘහනිර්මාණ ශිල්පය තිබෙනවා. නමුත් එහි සිංහල ළමයි ඉගෙන ගන්නවා."

දේශපාලනඥයන්ගේ ප්‍රතිචාර

පුනානිහි ඉදිකරමින් පවතින අදාළ විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා ලෙස ද ඉල්ලීම් ඉදිරිපත් වේ.

"ජාතීන් වෙන් කර හෝ ආගම් වෙන් කර විශ්වවිද්‍යාල ස්ථාපනය කිරීම හරහා ඇති වන ජනවාර්ගික වෙනස්කම් හේතුවෙන් රට බෙදුම්වාදයට තල්ලු කිරීමේ හැකියාව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසයි.

එබැවින් අදාළ විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා ලෙස ඔහු පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරමින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටී.

බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් කියා සිටියේ අදාළ අධ්‍යාපන ආයතනය සම්බන්ධයෙන් "සැක සංකා මතුව ඇති බැවින්," විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග කටයුතු කර ඒවා නිවැරදි කර ගත යුතු බවය.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නැගෙනහිර ප්‍රදේශයේ කළ සංචාරයකදී කියා සිටියේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වශයෙන් එය පවත්වා ගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවය.

"ඒ පිළිබඳ රටේ මතයක් ඇති වී තිබෙන්නේ ප්‍රධාන වශයෙන් ම ඒ පිළිබඳ අවබෝධයක් නැති නිසයි. ඒ නිසා මේ විශ්වවිද්‍යාලයේ උගන්වන්නේ මොනවා ද? ඒ විෂයයන් මොනවා ද? පාඨමාලා මොනවා ද? කියන කාරණා පිළිබඳ පැහැදිලි තීරණයක් ගත් විට මේ චෝදනා ඉවත් වේවි." යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

තවදුරටත් කියවන්න.