ශ්‍රී ලංකාවේ පිපිරීම්: 'ශ්‍රී ලංකාවට නැගිටින්න පුළුවන්'

"මේ අවස්ථාවේ අපි ශ්‍රී ලංකාවට උදව් කරන්න ඕනේ කියල අපිට හිතුණා. සමහරු අපිට ශ්‍රී ලංකාවට යන්න එපා කිව්වා. නමුත් අපි තීරණය කළා කලින් සැලසුම් කළ ආකාරයට ම ලංකාවට එන්න. අපි කෙලින් ම ගුවන්තොටුපළේ ඉඳන් මඩකලපුවට ආවා."

බීබීසී සිංහල සේවය සමග මේ අදහස් පළ කළේ, පාසිකුඩා වෙරළේදී අපට හමුවූ පෝලන්ත ජාතික යුවළකි.

ග්‍රෙගරි සහ යුඕලා යුවළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය සෙනසුරාදා (මැයි 04) දිනයේදීය.

"ශ්‍රී ලංකාව හරි ලස්සන රටක්. අපි හිතුවටත් වඩා පරිසරය සුන්දරයි. අපි ගත්ත තීරණය ටිකක් මුරණ්ඩු තීරණයක්. නමුත් අපි ඒක ගැන කනගාටු වෙන්නේ නැහැ," එසේ පැවසුවේ යුඕලාය.

ඔවුන්ගේ සංචාරය සඳහා පහසුකම් සැපයූ සමාගම ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස ඔවුන්ට යෝජනා කළ බව ද ඇය හෙළි කළාය.

"අපිට ඔවුන් යෝජනා කළා ඉන්දුනීසියාව, තායිලන්තය, වියට්නාමය සහ ඉන්දියාව වගේ රටවලට යන්න කියලා. මෙහේ සංචාරකයෝ හුඟක් අඩුයි. මිනිස්සුන්ගේ බය, සැක අඩු කරන්න බලධාරීන් කටයුතු කළහොත් තත්ත්වය සාමාන්‍ය අතට හැරේවි," යුඕලා පැවසීය.

ක්‍රිස්ටෝෆර් ගෝල්ඩි ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ ස්විට්ස්ටර්ලන්තයේ සිටය. ඒ, ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා ද සමග ය.

"මම යුද්දේ දවස්වල කොළඹ බෝම්බ පිපිරෙන අවස්ථා කිහිපයක කොළඹ හෝටල්වල ඉඳලා තියෙනවා. ඒ කාලේ මීට වැඩිය බියකරුයි. නමුත් ශ්‍රී ලංකාව විතරක් නොවෙයි සංචාරක ව්‍යාපාරයත් නැවත වර්ධනය වුණා."

ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වී තිබුණේ, ක්‍රිස්ටෝෆර්ගේ 60 වන උපන් දිනය සැමරීමය. "අපි ගාල්ලේ ඉඳන් ආවේ. මගදී 10 තැනකදී විතර අපේ වාහනය පරීක්ෂා කළා. ඒක හොඳයි. එතකොට ආරක්ෂාව තහවුරු වෙනවා," ඔහු පැවසීය.

"ඉස්සර මේ කාලෙට මේ හෝටල් පිරිලා. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය හරි ශක්තිමත්. කනගාටු වෙන්න දෙයක් නෑ. ශ්‍රී ලංකාවට ඉක්මනින් නැගිටින්න පුළුවන්," ක්‍රිස්ටෝෆර් ගෝල්ඩි තවදුරටත් කීය.

එම හෝටලයේ නවාතැන් ගෙන සිටි දේශීය සංචාරකයින් පිරිසක් සමග ද කතා කිරීමට බීබීසී සිංහල සේවයට හැකි විය. නම හෙළි කිරීමට අකමැති වූ තරුණියක පැවසුවේ, "මුලදී මද චකිතයක් තිබු බවත්. පාසිකුඩා පැමිණි පසු බිය නැති වූ," බවත්ය.

පාළුවට ගිය පාසිකුඩා වෙරළ

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි පාසිකුඩා වෙරළ තීරය දේශීය සහ විදේශීය සංචාරකයින් අතර ජනප්‍රිය කලාපයකි.

එහි ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් 10ත් 15ත් අතර සංඛ්‍යාවක් තිබේ. එම කිසිදු හෝටලයක සංචාරකයින් බහුලව නොමැති බව එම හෝටල් කිහිපයකට ගිය බීබීසී කණ්ඩායමට නිලධාරීහු පැවසූහ.

වෙරළ තීරය ද පාළුවට ගොසිනි.

Image caption පාසිකුඩා වෙරළ

පාස්කු දින සිදුවූ ප්‍රහාරවලට පෙර සාමාන්‍ය දිනකදී පවා පාසිකුඩා වෙරළ තීරයේ සංචාරකයින් දහස් ගණනක් ගැවසෙන බව ඊට ආසන්නයේ පිහිටි පොලිස් මුරපළේ නිලධාරීහු පැවසූහ.

පාසිකුඩා වාහන අංගනයේ වාහන නොමැත.

"ඉස්සර මේ වාහන පාර්ක් එකේ ඉඩ මදි. සමහර වෙලාවට වාහන සිය ගණනක් එනවා. දැන් වෙලාව හවස 3යි. අද දවසට ම ආවේ ත්‍රී වීල් දෙකයි මෝටර් බයිසිකල් තුනයි. ඒ ගොල්ලොත් මේ අහල පහළ ඉන්න අය," එසේ පැවසුවේ වාහන අංගනයේ ප්‍රවේශපත් නිකුත් කරන තරුණයෙකි.

Image caption පාළුවට ගිය වෙළෙඳසල්

පසුගිය අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින කොළඹ, මීගමුව සහ මඩකලපුව යන ප්‍රදේශවල සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරකයින් ගැවසෙන බොහෝ ස්ථාන පාළුවට ගොස් ඇති බව වාර්තා වේ.

එම ප්‍රහාරවලින් පුද්ගලයින් 250කට අධික පිරිසක් මියගොස් ඇති බව ශ්‍රී ලංකා බලධාරීහු පවසති. ඒ අතර විදේශිකයින් 44 දෙනෙකු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

විදේශිකයින් 10 දෙනෙක් තවමත් අතුරුදන් බව ද විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ප්‍රහාරයට ලක්වූ හෝටල්

කිංග්ස්බරි, සිනමන් ග්‍රෑන්ඩ් සහ ෂැන්ග්‍රිලා යන කොළඹ පිහිටි සංචාරක හෝටල් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාර හතරක් එල්ල විය. මින් කිංග්ස්බරි, සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු විවෘත කළ අතර ෂැන්ග්‍රිලා හෝටලය ලබන මස විවෘත කරන බව නිවේදනය කර තිබේ.

එසේ ම සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා මිල ගණන් 30% සිට 50% දක්වා අඩු කිරීමට ද සමහර හෝටල් සමාගම් කටයුතු කර තිබෙන බව එම ක්ෂේත්‍රය හා සම්බන්ධ කිහිප දෙනෙක් පැවසූහ.

පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසු දෛනික සංචාරකයින්ගේ පැමිණීම 70%කින් පමණ පහත බැස තිබේ. එබැවින් ඇතැම් ගුවන් සමාගම් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව අඩු කිරීමට ද කටයුතු කර තිබේ.

කුමක් කළ යුතු ද?

ප්‍රහාරවලින් අනතුරුව එංගලන්තය, ඇමෙරිකාව වැනි රටවල් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස දන්වමින් සංචාරක උපදෙස් නිකුත් කර තිබිණි.

මේ නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි විදෙස් සංචාරකයින් විශාල පිරිසක් තම ගමන් අවලංගු කර ඇති බවට තොරතුරු ලැබී තිබෙන බව සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති.

"මේ සංචාරක උපදෙස් (Travel advisories) ඉවත් කර ගන්න දේශපාලන මැදිහත් වීමක් අවශ්‍යයි. දේශපාලන වාසි ගන්න ගියොත් මුළු සංචාරක ක්ෂේත්‍රය පමණක් නොවෙයි රට ම අමාරුවේ," කුඩා සහ මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගමය පැවසීය.

මේ පිළිබඳව, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කටයුතු පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා බ්‍රහස්පතින්දා (මැයි 09) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.

එහිදී ඔහු පැවසුවේ ආරක්ෂක විගණනයකින් (Security audit) අනතුරුව එම වාර්තාව අදාළ රටවලට ඉදිරිපත් කර පනවා ඇති සංචාරක උපදෙස් ඉවත් කර ගැනීමට රජය කටයුතු කරන බවය.

තවදුරටත් කියවන්න: