ශ්‍රී ලංකාවේ පිපිරීම්: "සිංහල, මුස්ලිම් ගැටුමක් ඇති කිරීම ජාත්‍යන්තරයේ අවශ්‍යතාවක්" - උදය ගම්මන්පිල

Image copyright Udaya Prabhath Gammanpila/Facebook

ශ්‍රී ලංකාව අස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර බලවේග "මුස්ලිම් අන්තවාදය නමැති රූකඩය" භාවිත කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසු රට තුළ සිංහල-මුස්ලිම් ගැටුමක් ඇති කිරීම එම බලවේග වල අවශ්‍යතාව වී ඇති බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා බීබීසි සිංහල සේවය සමග සංවාදයකට එක්වෙමින් පැවසීය.

"අද මුස්ලිම් ජනතාව ඉන්නේ ඉතා ම අනාරක්ෂිතව, මේ සමාජයේ ඇති වී තිබෙන වෛරය හැඟීම්බර මිනිසුන් විසින් මේකට කිසි ම සම්බන්ධයක් නැති මුස්ලිම් මිනිසුන්ට යොමු කරනවා. ඒ බව දැකලා බටහිර බලවේග සිංහල-මුස්ලිම් ගැටුමක් ඇති කරලා මේ රට අස්ථාවර කරන්න හදනවා. මේ අපේ පාලකයන්ගේ අඳ බාල වැඩ නිසා ඒකට අවශ්‍ය වටපිටාව ඉබේ ම හැදෙනවා," මන්ත්‍රීවරයා කියා සිටියේය.

"අන්තවාදී සංවිධානවලට එරෙහිව ක්‍රියා කරන්න ආණ්ඩුවකට බැහැ"

මෙම බෝම්බ ප්‍රහාරවලට වගකිව යුතු බව පවසන ජාතික තව්හිද් ජමාත් වැනි සංවිධාන පසුගිය ආණ්ඩුව සමයේ ආරම්භ වූ අවස්ථාවේදී ඊට එරෙහිව ක්‍රියා නොකළ බවට ආණ්ඩුවේ පාර්ශවයෙන් නැගෙන චෝදනාවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ, 2012 වසරේදී එම සංවිධානය අන්තවාදී සංවිධානයක් මිස ත්‍රස්තවාදී සංවිධානයක් නොවූ බවය.

"අන්තවාදී සංවිධානවලට එරෙහිව ක්‍රියා කරන්න ආණ්ඩුවකට බැහැ. ආගමක සාමාන්‍ය තත්ත්වය මොකක් ද අන්තවාදය මොකක් ද කියලා ඉරක් අඳින්න ආණ්ඩුවකට බැහැ. එය කළ යුත්තේ ආගමික නායකයන් මයි, බෞද්ධයන් අතර අන්තවාදයක් තියෙනව ද කියල ආණ්ඩුවකට හෝ වෙනත් ආගමික නායකයන්ට ඉරක් අඳින්න බැහැ, මැදිහත් වෙන්න බැහැ. ඒක ඒ ආගමේ අභ්‍යන්තර කාරණයක්," ඔහු පැවසීය.

"හැබැයි එය ප්‍රචණ්ඩත්වය දක්වා යනවා නම් අන්න ආණ්ඩුවට මැදිහත් වෙන්න පුළුවන්. සහරාන් 2016දී කුරාණය හෝ එහි විකෘතියක් උපුටා දක්වමින් කියනවා දෙවියන් වහන්සේ විශ්වාස නොකරන සියලු දෙනා මරා දැමිය යුතුයි කියලා. එතැනදී ආණ්ඩුව මැදිහත් වෙන්න තිබුණා. මේ වන විට බුද්ධි අංශ කියනවා ඔවුන් මේ බව ආණ්ඩුවට වාර්තා කළ බව," උදය ගම්මන්පිල කියා සිටියේය.

Image copyright Getty Images
Image caption "හමුදා ප්‍රධානීන් මාධ්‍ය හමුවල වාඩි කරලා රට දැන් සුරක්ෂිතයි දරුවා පාසලට එවන්න කිව්වට මේ ආණ්ඩුව ගැන ජනතාවට විශ්වාස නැති නිසා ළමයි පාසල් එවන්නේ නැහැ "- උදය ගම්මන්පිල

මහනුවර දිගන ප්‍රදේශයේ හටගත් සිංහල-මුස්ලිම් ගැටුම්වලින් පසු ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සිය ෆේස්බුක් ගිණුමට එකතු කරන වීඩියෝ පටයේ අනෙකුත් ආගමිකයන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය වපුරන ආකාරය බුද්ධි අංශ ආණ්ඩුවට වාර්තා කර තිබුණ ද ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු පියවරක් නොගත් බවට ඔහු චෝදනා කරයි.

මුස්ලිම් සමාජයේ ඇති අන්තවාදය පරාජය කිරීමේ වගකීම ඇත්තේ මුස්ලිම් සමාජයේ නායකයන්ට බව පැවසූ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා සඳහන් කළේ, මුස්ලිම් සමාජයේ නායකයන් මේ ගැන නිහඬව සිටීමෙන් අපරාධයක් කර ඇතැයි තමන් චෝදනා කරන බවය.

"මැතිවරණයක් පවත්වා රට ස්ථාවර කළ යුතුයි"

"විපක්ෂයක් ලෙස අපි ආණ්ඩුවට මේ තත්ත්වයේදී සහයෝගය දෙනවා. නමුත් ආණ්ඩුවේ අය කරන්නේ ඒගොල්ලෝ අතර මරා කොටා ගන්න එක. හමුදා ප්‍රධානීන් මාධ්‍ය හමුවල වාඩි කරලා රට දැන් සුරක්ෂිතයි දරුවා පාසලට එවන්න කිව්වට මේ ආණ්ඩුව ගැන ජනතාවට විශ්වාස නැති නිසා ළමයි පාසල් එවන්නේ නැහැ."

ආණ්ඩුවට ජනතා විශ්වාසයක් නොමැති වීම හේතුවෙන් ඉදිරි මැතිවරණය පැවැත්වෙන තෙක් රට අස්ථාවර වීම වැළැක්වීම පිණිස ඉක්මන් මැතිවරණයක් පවත්වා රට ස්ථාවර කළ යුතු බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.