හලාවත පොලිස් ඇඳිරි නීතිය පැණවේ

හලාවත නගර ප්‍රදේශයේ හටගත් නොසන්සුන්කාරී වාතාවරණයක් පාලනය කිරීම පිණිස වහාම ක්‍රියාත්මක වන පරිදි හලාවත නගර සීමාවට අදාලව පොලිස් ඇඳිරි නීතිය පණවන ලද බව පොලිසිය පවසයි.

ඇඳිරි නීතිය සඳුදා (මැයි 13) උදෑසන 6 දක්වා බලපැවැත්වේ.

පොලිසිය සහ ආරක්ෂක හමුදා මැදිහත් වී ප්‍රදේශයේ හටගත් නොසන්සුන් වාතාවරණය මේ වනවිට පාලනය කර ඇති අතර, අමතර පොලිස් බලඇණි සහ යුද හමුදාව හා නාවික හමුදාව හලාවත සහ අවට ප්‍රදේශවල රඳවා තිබේ.

සිදුවීම පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරන පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසන්නේ, "ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක්, සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැරි පුද්ගලයෙකු පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් විරෝධතාවයක් දැක්වීමත් සමඟ," හලාවත නගරයේ එම නොසන්සුන්කාරී වාතාවරණය හටගත් බවය.

සමාජ මාධ්‍ය ජාල වෙත අදාළ ප්‍රකාශය කළ පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් අධිකාරීවරයා පැවසීය.

"ඒ පුද්ගලයා අබ්දුල් හමීඩ් මොහමඩ් හස්මත් නමැති වයස අවුරුදු 38 ක් වූ පුද්ගලයෙක්. ඔහු සම්බන්ධයෙන් හදිසි අවස්ථා රෙගුලාසි සහ අනෙකුත් අදාළ නෛතික ප්‍රතිපාදන යටතේ කටයුතු කරනවා," යනුවෙන් ද පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ප්‍රදේශයේ වෙළෙඳ සැලක හටගත් සිදුවීමක් මුල්කර ගනිමින් ඉරිදා උදෑසන ඇතිවූ උණුසුම් වාතාවරණය පාලනය කිරීමට යුද හමුදාව වහාම මැදිහත් වූ බව වාර්තාකරුවෝ පවසති.

ඒ අතරම තත්වය සමතයකට පත්කිරීම පිණිස ප්‍රදේශයේ කතෝලික පියතුමන් ද වහාම මැදිහත් වූ බවත් ඔවුහු පවසති.

පුත්තලම හා කුරුණෑගල බල සේනාධිපති බ්‍රිගේඩියර් දිසානායක ඇතුළු හමුදා බල ඇණි කිහිපයක්, පුත්තලම කොට්ටාශ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායම් සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් මේ වනවිට හලාවත ප්‍රදේශයට කැඳවා තිබේ.

නගරය මේ වනවිට පාලුවට ගොස් ඇති බව ද වාර්තාකරුවෝ පවසති.

මේ අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තහවුරු වූ තොරතුරු කෙරෙහි පමණක් විශ්වාසය තබා කටයුතු කරන ලෙසය.

පෞද්ගලික නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් එම ඉල්ලීම කළ යුද හමුදාපතිවරයා, "මේ වනවිට අන්තවාදීන්ගෙන් සියයට 80කට වැඩි ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගත්තේ අපේ ක්‍රියාන්විතයක් සිදුවන නිසයි. අන්තවාදී අදහස් දරන අයගෙත් කොටස් ඉන්නවා මරාගෙන මැරෙන, මරාගෙන මැරීම සඳහා දිවුරුම් දුන්න. දිවුරුම් දීලා පැනගිය සහ වටපිටාවේ කටයුතු කරමින් සිටින අය වශයෙන් කණ්ඩායම් ගොඩක් ඉන්නවා," යනුවෙන් සඳහන් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

"ඒ පිළිබඳව පරීක්ෂණ පැහැදිලිව සිදු වෙනවා. ජනතාව කලබල වී තිබෙන්නේ කතාවේ දෙවැනි කොටස දැක නැති නිසයි. යුද්ධ හමුදාවෙන් අත් අඩංගුවට පත් අය නිදහස් වීමක් සිදු කර නෑ. අප කටයුතු කරන්නේ පොලීසිය සමඟ නොවේ, ත්‍රස්ත විමර්ශන ඒකකය සමඟයි. එය පොලීසියේ කොටසක්. යුද්ධ හමුදාවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සමඟ පැහැදිළි අවබෝධයක් තිබෙනවා," යනුවෙන් ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ආරක්ෂක අංශ කෙරෙහි පූර්ණ විශ්වාසය තබා සිය දෛනික ජීවන කටයුතුවල නියැලෙන ලෙස මහජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, ජනරාල් (විශ්‍රාමික) ශාන්ත කොට්ටේගොඩ ද සඳහන් කර තිබුණි.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා එම ඉල්ලීම කළේ සෙනසුරාදා (මැයි 11) මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

කියවන්න: