සමාජ මාධ්‍ය ජාල වර්ජනය කරන්නැයි ඉල්ලීමක්

Image copyright PA

සමාජ ජාල භාවිත කරන පුද්ගලයන් එය වර්ජනය කළහොත්, දරුවන්ගේ අවිනීත ඡායාරූප බෙදාහැරීම වැළැක්වීම සඳහා පියවර ගැනීමට අදාළ සමාගම්වලට බලකෙරෙනු ඇති බව බ්‍රිතාන්‍යයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පවසයි.

ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ඉහළම බ්‍රිතාන්‍ය නිලධාරියාවන ප්‍රධාන පරීක්ෂක සයිමන් බේලි (Simon Bailey) පවසන්නේ සිය මාධ්‍ය ජාල ඔස්සේ දරුවන්ගේ අවිනීත ඡායාරූප සංසරණය වීම සම්පූර්ණයෙන්ම "අතුගා දැමීමට" අදාළ සමාගම්වලට හැකියාව තිබෙන බවය.

එම සමාගම් වර්ජනය කළහොත් සිය "කීර්ති නාමයට වන හානිය" නොසලකා හැරීමට ඔවුන්ට නොහැකි බව ද ප්‍රධාන පරීක්ෂකවරයාගේ මතය වී තිබේ.

එයට ප්‍රතිචාර දක්වමින් ෆේස්බුක් සහ ට්විටර් වැනි තාක්ෂණික අංශයේ සමාගම් නියෝජනය කරන අන්තර්ජාල සංසදය (The Internet Association) පවසන්නේ එවැනි ඡායාරූප ඇතුළු අපහාසාත්මක ප්‍රකාශ ඉවත් කිරීම පිණිස අදාළ සමාගම් ඩොලර් මිලියන ගණනක් වැයකරන බවය.

ළමා අපයෝජන සම්බන්ධ පොලිස් දත්ත ගබඩාවල තිබෙන ඡායාරූප සංඛ්‍යාව, අනූව දශකයේ සිට මේ දක්වා දස දහසකට අඩු ප්‍රමාණයක සිට මිලියන 13.4ක් දක්වා ඉහළ ගොස් තිබේ.

බ්‍රිතාන්‍යයේ ළමා ලිංගික අපයෝජන සම්බන්ධ ස්වාධීන පරීක්ෂණය සඳුදා (මැයි 13) සිට සති දෙකක් සාක්ෂි විමසා බැලීමට නියමිතය. මේ ගැටලුව සම්බන්ධයෙන් අන්තර්ජාල සමාගම්වල ප්‍රතිචාරය ගැන එහිදී විශේෂ අවධානය යොමුකෙරේ.

ෆේස්බුක්, ගූගල්, ඇපල්, බ්‍රිතාන්‍ය ටෙලිකොම් සහ මයික්‍රොසොෆ්ට් සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් හා ප්‍රධාන පරීක්ෂක සයිමන් බේලි එහිදී පරීක්ෂණ මණ්ඩලය හමුවේ සාක්ෂි දීමට නියමිතය.

අන්තර්ජාලය ඔස්සේ සිදුවන දරුවන්ගේ අවිනීත ඡායාරූප බෙදාහැරීම "අතුගා දැමීම" පිණිස ලොව ප්‍රධාන පෙළේ සමාගම්වලට අවශ්‍ය සියලු තාක්ෂණය සහ අරමුදල් තිබෙන බව පවසන ප්‍රධාන පරීක්ෂකවරයා, කෙසේ වුවත් ඔවුන් "සිය වගකීම බැරෑරුම් ලෙසින් සලකන්නේ යයි" තමන් විශ්වාස නොකරන බව ප්‍රෙස් ඇසෝසියේෂන් (Press Association) පුවත් සේවය සමඟ සඳහන් කර තිබුණි.

කේෂ්ත්‍රයේ දැවැන්ත සමාගම්වලට දඩ නියම කිරීම මගින් ඔවුන්ට බරපතල හානියක් සිදු නොවන බව පෙන්වාදෙන ඔහුගේ ස්ථාවරය වී තිබෙන්නේ සිය සමාගමේ කීර්ති නාමයට පහරක් එල්ලවීම ගැන ඔවුන් එයට වඩා බරපතල ලෙසින් අවධානාය පළකරනු ඇති බවය.

එයට ප්‍රතිචාර දක්වමින් අන්තර්ජාල සංසදය පවසන්නේ අවිනීත සහ අපහාසාත්මක අදහස් පළකිරීම් ඉවත්කිරීම පිණිස අදාළ සමාගම විශාල මුදලක් ආයෝජනය කර තිබෙන බවය. එමෙන්ම එවැනි අදහස් ඉවත්කිරීම පිණිස නව තාක්ෂණය ඉදිරිපත් කරමින් සිටින බව ද අන්තර්ජාල සංසදය පවසයි.

විශේෂයෙන්ම ළමා නිරුවත හෝ ළමා ලිංගික අපයෝජනය පිළිබඳ සිය ප්‍රතිපත්ති උල්ලංඝනය කළ ප්‍රකාශන මිලියන 8.7ක් පසුගිය ජුලි මාසයේ සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ඉවත්කළ බව ෆේස්බුක් සමාගම පවසයි.

කියවන්න: