ශ්‍රී ලංකාවට ආ සරණාගතයන්: මේ කරුණු දැන සිටියා ද?

සරණාගතභාවය පතා මීගමුව ඇතුළු ප්‍රදේශවල රැඳී සිටි විදේශිකයෝ, පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමග ආරක්‍ෂිත කඳවුරු වෙත රැගෙන යනු ලැබූහ.

එවැනි පියවරක් ගනු ලැබුවේ, ඔවුන් කුලී පදනම මත රැඳී සිටි ප්‍රදේශවල ජනතාව වෙතින් එල්ල වූ විරෝධය හමුවේය.

මියන්මාරයේ රෝහින්ග්‍යා අර්බුදය අතරතුර ද ඒ හා සමාන තත්ත්වයක් මතු විය. විශේෂයෙන් සරණාගතයන් සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ එවක දැඩි විරෝධයක් පළ විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) සහ ශ්‍රී ලංකා ආණ්ඩුව අතර පවතින එකඟතාව මත සරණාගතභාවය පතා පැමිණෙන විදේශිකයන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින්නේ තාවකාලිකවය.

පහත දැක්වෙන්නේ, සරණාගතභාවය පතා ශ්‍රී ලංකාව වෙත පැමිණෙන විදේශිකයන් සහ ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාදාමය පිළිබඳ විමසුමකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) සහ ශ්‍රී ලංකා ආණ්ඩුව අතර ඇතිකර ගත් එකඟතාව මත සරණාගතභාවය පතා පැමිණෙන විදේශිකයන් කොටස් දෙකකි.

  • දේශපාලන රැකවරණය පතන (Asylum seekers)
  • සරණාගතයන් වශයෙන් පිළිගත් පුද්ගලයන් (Refugees)

ඉහත කී එකඟතාවට අනුව:

  • සරණාගතභාවය පතා එන පුද්ගලයෙකු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි විය යුතුය
  • ඒ අනුව ඔහු/ඇය දේශපාලන රැකවරණ පතන පුද්ගලයෙකු (Asylum seeker) බවට පත් වේ
  • ඉන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඔවුන් පිළිබඳව නිසි සොයා බැලීමක් සිදු කරයි. ඇතැම් පුද්ගලයන්ගේ අයදුම්පත්වලට අනුමැතිය හිමි වන අතර තවත් සමහරෙකුගේ අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරේ.
  • අනුමැතිය ලැබුණු පුද්ගලයන් සරණාගතයන් (Refugees) වශයෙන් තහවුරු වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නිල වාර්තාවලට අනුව 2019 වසරේ මාර්තු 31 වන විට ශ්‍රී ලංකාව තුළ රැදී සිටින දේශපාලන රැකවරණ පතන (Asylum seekers) පුද්ගලයන් සංඛ්‍යාව 819 කි.

  • ඇෆ්ගනිස්තානය 55
  • බංග්ලාදේශය 2
  • ඉන්දියාව 1
  • ඉරානය 8
  • මාලදිවයින 3
  • නයිජීරියාව 8
  • පාකිස්තානය 733
  • පලස්තීනය 1
  • සුඩානය 4
  • සිරියාව 1
  • යේමනය 3

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නිල වාර්තාවලට අනුව 2019 වසරේ මාර්තු 31 වන විට ශ්‍රී ලංකාව තුළ රැකවරණ පතන සරණාගතයන් (Refugees) සංඛ්‍යාව 851 කි.

  • ඇෆ්ගනිස්තානය 146
  • එරිත්‍රියා 2
  • ඉරානය 22
  • මාලදිවයින 1
  • මියන්මාරය 34
  • පාකිස්තානය 608
  • පලස්තීනය 9
  • සෝමාලියාව 1
  • සිරියාව 14
  • ටියුනීසියාව 1
  • යේමනය 13

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසන පරිදි සරණාගතයෙකු (Refugee) වශයෙන් පිළිගනු ලැබූ පුද්ගලයෙකුට ශ්‍රී ලංකාව තුළ තවදුරටත් රැඳී සිටීමට අවස්ථාව හිමි නොවේ.

ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලය තුළ:

  • රැකියාවක් කළ නොහැක
  • ළමුන් පාසල් යැවිය නොහැක
  • නිවාස මිලදී ගත නොහැක

සරණාගතභාවය සඳහා අයැදුම් කර ඒ සඳහා අනුමැතිය ලැබීමෙන් පසු වෙනත් රටක් විසින් තමන් භාර ගනු ලබන තෙක් ඔවුන් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිනු ඇත.

මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන රුකී ප්‍රනාන්දු පවසන පරිදි ඉන් වැඩි දෙනෙකු ස්ථීර පදිංචිය සඳහා ගොස් ඇත්තේ ඇමෙරිකාව, කැනඩාව වැනි රටවල් වෙතය.

"ඔවුන්ට ශ්‍රී ලංකාව තුළ පුරවැසිභාවය හිමි වෙන්නේ නැහැ. හැබැයි තාවකාලිකව රැඳී සිටින කාලය වෙනස් වෙන්න පුළුවන්. මාසෙන් දෙකෙන් ගිය අයත් ඉන්නවා. ඒ වගේ ම සමහර අයට අවුරුදු හතක් අටක් ඉන්න වෙනවා."

"අවසානයේ ඔවුන්ට ඒ රටවල පුරවැසිභාවය ලැබෙනවා. ඒක නොනවත්වා සිදු වූ ක්‍රියාවලියක්. අද ඊයේ ආරම්භ වූවක් නොවෙයි. පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් කොටසක් එහෙම පිටත් වුණා."

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එල්ල වූ ජන විරෝධය හමුවේ අහමදියා මුස්ලිම් දේවස්ථාන දෙකක 700 සහ 325 ක් පමණ රඳවනු ලැබ ඇත. තවත් 175 පමණ පිරිසක් මීගමුව පොලිසියේ රැඳී සිටිති.

දුෂ්කරතා මැද සීමිත ඉඩකඩක ඔවුන් රැඳී සිටින ආකාරය මීගමුව පොලිසිය වෙත ගිය බීබීසී සිංහල සේවයට දැක ගත හැකි විය.

ඔවුන්ගේ හිසට සෙවන සපයන්නේ, මීගමුව පොලිසියේ රථ ගාල් කරන ගොඩනැගිල්ලය. එහා මෙහා යන පොලිස් නිලධාරීන් අතරින් දුව පැන යන දරුවන්ගේ සිනහ හඬ පරයා බිළිඳුන් හඬා වැටෙනු ඇසේ.

බිම ඇණ තියා සිටින වැඩිහිටි පිරිමියෙකුගේ මුහුණේ ඇත්තේ ඉච්ඡාභංගත්වයකි. තරුණයන් කිහිප දෙනෙකු යම් කිසි ආහාරයක් අඩංගු කෑනයක් විවෘත කර ගැනීමේ උත්සහයක නිරත වේ. වැඩිහිටියන් සමහරෙක් තැත තැන වැතිරී සිටිති.

"පොඩි එවුන් අඬන්නේ රස්නේ දරා ගන්න බැරුව. පව් උන්ට මොනා තේරෙනව ද?," ඒ අසලින් ගමන් ගත් පොලිස් නිලධාරියෙකුගේ හඬය.

මානව හිමිකම් ක්‍රියාධරයන් පවසන පරිදි ඉහත කී කඳවුරු තුළ වෙසෙන දරුවන් සංඛ්‍යාව 200කට ආසන්නය.

අමීන් ෆයාස් මීගමුව පොලිසියේ රැඳී සිටින සරණාගත තරුණයෙකි. සාමාන්‍ය ඇෆ්ගනිස්තාන ජාතිකයෙකු හා සැසඳීමේදී ඔහුගේ සමේ වර්ණය වඩාත් පැහැපත්ය. රුවේ ඇත්තේ මොන්ගෝලියානු මිශ්‍ර පෙනුමකි. ෂියා මුස්ලිම්වරයෙකු වන ඔහු හසාරා ජන කොට්ඨාසයට අයත් වූවෙකි. ඔහුගේ මිත්‍රයන්ගේ ද ඇත්තේ ඒ හා සමාන පෙනුමකි.

ඔහු සිය උපන් රට අතහැර ආවේ ඇයිදැයි මම විමසුවෙමි.

"අයිඑස් එක ක්‍රිස්තියානි භක්තිකයෙක් මරණයට පත් කරන්න කලින් මරන්නේ ෂියා භක්තිකයන්. අවාසනාවකට ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති තත්ත්වය නරකයි. ඇෆ්ගනිස්තානයේ මෙවැනි දේ නිතර සිදු වෙනවා. අයිඑස් කියන්නේ ලෝකයේ තිබෙන වඩාත් ම භයානක දේ. අපි රටේ සුළුතර ෂියා ආගමික ප්‍රජාව නිසා අපේ ජීවිත අවදානමට ලක් වෙලා," ෆයාස් නොනවත්වා සිය සිතිවිලි වචනයට නගයි.

"අපි මීට වසර සිය ගණනකට පෙර බෞද්ධයෝ. මතක ද බාමියන් බුදු පිළිම? හසාරා මිනිස්සු පස්සේ ඉස්ලාම් භක්තිකයන් බවට පත් වුණා. සමහර මිනිස්සු ආගමට ගරු කරනවා. මම සියලු ම ආගම් හදාරනවා .මා සිතන විදිහට ආගම කියන්නේ යම්කිසි වෘතාන්තයක් පමණයි. මම ඇෆ්ගනිස්තානයේ ඉපදුණු නිසා සහ තාත්තා මුස්ලිම් නිසා මුස්ලිම් වුණා. ශ්‍රී ලංකාවේ ඉපදුණා නම් බෞද්ධයෙක් වෙයි. ඊශ්‍රායලයේ ඉපදුණා නම් මුස්ලිම් නොවන වෙනත් ආගමිකයෙක් වෙන්න තිබ්බා. ඒ නිසා මට ආගම එතරම් වැදගත් දෙයක් නොවෙයි."

සරණාගතභාවය පතා ශ්‍රී ලංකාවට පැමිණියේ ඇයිදැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව සාමකාමී රටක් වීම ඊට හේතුව බවය.

ෆයාස් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විදුලි සංදේශ ඉංජිනේරුවරයෙකු වශයෙන් සේවය කර ඇත.

"ශ්‍රී ලාංකිකයන්ට දැනෙන විදිහ මට තේරුම් ගත හැකියි. මොක ද අපිත් අපේ රටේදී මේ අත්දැකීම විඳ තිබෙනවා. මට සරණාගතභාවය හිමි වී තිබෙන්නේ. යළි පදිංචියට වෙනත් රටකට ගිහින් ජීවිතේ මුල සිට පටන් ගන්නවා," යනුවෙන් ෆයාස් අවසන් වශයෙන් කියා සිටියේය.

මේ අතර සරණාගතභාවය පතා පැමිණි පුද්ගලයන්ට එරෙහිව එල්ල වන විරෝධය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු කියා සිටියේ, "ශ්‍රී ලංකාවේ සංස්කෘතියට අනුව මෙහි ආගන්තුක සත්කාරය තිබෙනවා කියලා අපි කියනවා. ඒ ආගන්තුක සත්කාරය වැඩියෙන් ම තිබිය යුත්තේ තරු පහේ හෝටල්වල ඉන්න සංචාරකයන්ට නොවෙයි, මේ වගේ අසරණ වුණු, ජීවිත තර්ජන එල්ල වුණු පුද්ගලයන්ටයි ආගන්තුක සත්කාර දක්වන්න ඕන," යනුවෙනි.

"අපේ තිබෙන මෛත්‍රිය කරුණාව කොතරම් ද කියන දේ, අමාරුවේ වැටුණු කෙනෙක් තාවකාලිකව හරි බලා ගන්නේ කොහොම ද කියන දේ පෙන්විය යුතුයි."

ශ්‍රී ලංකාව වෙත සරණාගතභාවය පතා එන පුද්ගලයන් සහ විදේශිකයන් නීති විරෝධී කටයුතුවල නිරත වන බවට සමාජය තුළ යම් මතයක් පවතී.

රැකියා සඳහා, ක්‍රීඩා කණ්ඩායම් වශයෙන්, සංචාරකයන් වශයෙන් හෝ සරණාගතභාවය පතා ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් සියලු දෙනා සෙසු පුරවැසියන් මෙන් ම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියට යටත් බව පෙන්වා දෙන රුකී ප්‍රනාන්දු," ඒ අය යම් අපරාධයක් කර ඇති බවට සාක්ෂි තිබේ නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පොලිසියේ යුතුකම," යනුවෙන් සඳහන් කළේය.

"නමුත් සරණාගතභාවය පතා පැමිණි පුද්ගලයෙක් එවැනි අපරාධ කර ඇති බව මම අහලා නැහැ. ඉතින් ඇයි මේ ඔවුන් ගැන නැති බිල්ලෙක් මවන්නේ?"

සරණාගතභාවය ශ්‍රී ලංකාව වෙත පැමිණ සිටින පුද්ගලයන් අතර ආගමික සුළුතරය, මරණ තර්ජන එල්ල වූ බ්ලොග් ලේඛකයන්, මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාධරයන්, නිරාගමිකයන් සිටින බව මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පැවති ආණ්ඩු සහ වත්මන් ආණ්ඩුව ඔවුන්ට නීත්‍යනුකුලව රැඳී සිටීමට අවස්ථාව ලබා දී ඇතැයි ඔහු සඳහන් කරයි.

රජයේ මුදල් වැය කරයි ද?

සරණාගතභාවය පතා ශ්‍රී ලංකාව වෙත පැමිණි පුද්ගලයන්ට ඇතැම් අවස්ථාවල රජයේ රෝහල් හරහා සෞඛ්‍ය පහසුකම් ලබා දී තිබුණ ද ඒ හැරුණු කොට ශ්‍රී ලංකා රජයෙන් ඔවුන්ට කිසිදු ආකාරයක මුල්‍යාධාරයක් නොලැබෙන බව රුකී ප්‍රනාන්දු පෙන්වා දෙයි.

"ලංකාවේ ආර්ථිකයට ඔවුන් බරක් වෙන්නේ නැහැ. නමුත් ඔවුන් ලංකාවේ ගෙවල් කුලියට ගන්නේ, ආහාරපාන සඳහා මුදල් වැය කරනවා. එමගින් ඔවුන් හරහා ආර්ථිකයට යම් දායකත්වයක් පමණයි සිදු වෙන්නේ"

"මීගමුව අවට එවැනි බොහෝ පිරිසක් රැඳී සිටියා. නමුත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මොවුන් එළවා දමන ලෙස වටේ පිටේ අයගෙන් නිවාසවල හිමිකරුවන්ට බලපෑම් ඇවිත් තිබෙනවා. ඒ නිසයි මේ නිවාස හිමියන්ට ඔවුන් එළවා දැමීමට සිදු වුණේ,"

"අපේ ගෙදරට යම් කිසි කෙනෙක් ආරක්ෂාව පතා එනවා නම් මම ඒ ගැන ආඩම්බර වෙනවා. මොක ද එයා එන්නේ අමාරුවේ වැටුණ වෙලාවේ සාදරයෙන් පිළිගෙන ආරක්ෂාව ලබා දෙයි කියන විශ්වාසය මතයි. ඒ විශ්වාසය කඩා බිඳ දැමීම අවාසනාවන්ත දෙයක්," යනුවෙන් රුකී ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය.