ශ්‍රී ලංකාව පුරා පොලිස් ඇඳිරි නීතිය - ඇතැම් තැන්වල "කලහකාරී සිදුවීම්"

Curfew on 13/05/2019

වයඹ පළාත සහ ගම්පහ පොලිස් කොට්ඨාසය හැර දිවයිනේ සෙසු ප්‍රදේශවලට අද (මැයි 13) රාත්‍රී 9.00 ට පැනවූ පොලිස් ඇඳිරිනීතිය හෙට පෙරවරු 4.00 තෙක් ක්‍රියාත්මක වේ.

වයඹ පළාතට පැනවූ පොලිස් ඇඳිරිනීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන අතර ගම්පහ පොලිස් කොට්ඨාසය තුළ පනවා ඇති පොලිස් ඇඳිරිනීතිය හෙට පෙරවරු 6.00 දක්වා ක්‍රියාත්මක වන බව පොලිසිය පැවසීය.

අද දිනය තුළ වයඹ පළාතේ ප්‍රදේශ ගණනාවක සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් තැන්වල හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව පොලිසිය සඳහන් කළේය.

ඊයේ රාත්‍රියේ ද වයඹ පළාතේ විවිධ ප්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම් නිසා ව්‍යාපාරික ස්ථාන කිහිපයකට අලාභහානි සිදුවී තිබිණි.

Image copyright Getty Images

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන වර්තමාන තත්වය ගැන කොළඹ දී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ මෙවැනි කලහකාරී තත්වයන් පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ යොමුකිරීමට සිදුවීම පවතින ආරක්ෂක තත්වයට බාධාවක් වන බවය.

"ඊයේ හලාවත, බිංගිරිය ඒවගේම අද හෙට්ටිපොල ප්‍රදේශයේ කලහකාරී සිදුවීම් කිහිපයක් සිදුවුණා. මේ සිදුවීම් වලින් වෙන්නේ අපේ රටේ ජනතාවගේ සාමය කඩවීමත්, ඒ සාමය නැවත ස්ථාපනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා දැනට යෙදී සිටින ආරක්ෂක රාජකාරි වලින් ඉවත්වෙලා ඒ සඳහා කටයුතු කිරීමට සිදුවීමයි"

"එයින් අපි මෙතෙක් කල් කරගෙන ආපු ක්‍රියාන්විතයට බාධා සිදුවෙනවා, ඒ නිසා සියලු දෙනාගෙන් ඉල්ලනවා එවැනි සිදුවීම් වලට සම්බන්ධ වෙන්න එපා කියලා," ඔහු කියා සිටියේය.

මේ අතර, තවමත් දිවයින පුරා සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද වාර්තා විණි.

හලාවත

ෆේස්බුක් පිටුවක පළ වූ කරුණක් මුල්කරගනිමින් හලාවත හා ඒ අවට ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්වය අද (මැයි 13) දහවල් වන විට පාලනය කිරීමට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ක්‍රියා කර තිබේ.

Image caption හලාවත ප්‍රධාන ධීවර වෙළෙඳපොළ

හලාවත නගර සීමා ප්‍රදේශයට බල පැවැත්වෙන පරිදි පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරුවේ අවසන් වීමෙන් පසු ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්වයට පත්ව තිබෙන අතර රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාල මෙන්ම වෙළෙඳසල් විශාල ප්‍රමාණයක් ද විවෘතව තිබු බව වාර්තා විය.

ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත්ව තිබූ නමුත් හලාවත ප්‍රදේශයේ පාසල් වෙත ළමුන් පැමිණීමේ අඩුවක් දක්නට ලැබිණි.

මේ තොරතුරුද දැනගන්න:

"මකාදැමිය නොහැකි කැළලක් ඉතිහාසයට එක්කරනු නොවැලැක්විය හැකිය"

මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන සාමය කඩවීමේ සිද්ධි පිළිබඳ කතානායක කරූ ජයසූරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, "ත්‍රස්තවාදයේ අමිහිරි අත්දැකීම් යටපත් කර නැවතත් සමගි සම්පන්නව එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සාමය ගොඩනැගීමට කැපවිය යුතු බවට සියලු ආගමික නායකයින් සහ බුද්ධිමත් ජනතාව එකම මතයකට පැමිණ ඇති මෙම අවස්ථාවේ දී කවර අන්දමක හෝ ජාතිවාදී, ආගම්වාදී ක්‍රියා එක හෙළා ප්‍රතික්ෂේප කිරීම සමස්ත රටවැසියන්ගේ යුතුකමයි," යනුවෙනි.

"එම යුතුකම මේ මොහොතේ පැහැර හැරීම නැවතත් මකාදැමිය නොහැකි කැළලක් ඉතිහාසයට එක්කරනු නොවැලැක්විය හැකිය"

"මෙම අවස්ථාවේ එවැනි ක්‍රියාවන්ට කිසියම් හෝ සහයක් දක්වන පුද්ගලයන් නිසැකවම අප මාතෘ භූමියට ද්‍රෝහී වන්නේය," යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබේ.

තවත් තොරතුරු: