ශ්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධී කලහකාරී සිදුවීම්: රාත්‍රී 9 සිට රට පුරා පොලිස් ඇඳිරි නීතිය

Anti Muslim attacks
Image caption වයඹ පළාතේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ

අඟහරුවාදා (මැයි 14) රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙන බව පොලිසිය නිවේදනය කළේය.

බදාදා (මැයි 15) පෙ.ව.4.00 දක්වා පොලිස් ඇදිරි නීතිය බලපැවැත්වෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේය.

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට පමණක් අඟහරුවාදා (මැයි 14) රාත්‍රී 7.00 සිට බදාදා ( මැයි 15) පෙ.ව. 6.00 දක්වා පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

සිය ගම්මාන වලට හානි සිදු කළේ වෙනත් ප්‍රදේශ වලින් පැමිණි පුද්ගලයන් බව නාත්තන්ඩිය, තුම්මෝදර හා කොට්ටරාමුල්ල ප්‍රදේශවල ජනතාව පවසති.

පවතින තත්ත්වය හේතුවෙන් වයඹ පළාතේ ක්‍රියාත්මක කළ පොලිස් ඇඳිරි නීතිය අඟහරුවාදා (මැයි 14) සවස 4.00 සිට 6.00 දක්වා තාවකාලිකව ඉවත් කළ අතර එය නැවතත් සවස 6.00 සිට බදාදා ( මැයි 15) පෙරවරු 6.00 දක්වා බල පැවැත්වෙන බව පොලිසිය පවසයි.

සඳුදා (මැයි 13) පස්වරුවේ වයඹ පළාතේ හෙට්ටිපොළ, කුලියාපිටිය හා නාත්තන්ඩිය ඇතුලූ ප්‍රදේශ කීපයක ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙන බව වාර්තාකරුවෝ පවසති.

තුවාල ලැබූ පුද්ගලයා මාරවිල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Image caption "රටේ සාමය හා ආරක්‍ෂාව තහවුරු කිරීමට පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සියලූ බලතල ලබාදී තිබෙනවා" - අගමැති

මේ සිදුවීම හේතුවෙන් මිය ගොස් ඇත්තේ නාත්තන්ඩිය මැද කොට්ටරාමුල්ල රොබට් වත්තේ පදිංචි කරුවෙකු වූ එම් එස් එම් අමීර් නමැති 49 හැවිරිදි පුද්ගලයෙකි.

මොහු මාරවිල මුලික රෝහලට ඇතුලත් කරන අවස්ථාව වන විටත් මියගොස් සිටි අතර මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අඟහරුවාදා (මැයි 14) දහවල් මාරවිල මුලික රෝහලේදී සිදු කෙරිණි .

සිදුවීමෙන් බරපතල තුවාල ලබා මාරවිල මුලික රෝහලේ ප්‍රතිකාර ලබන්නේ එස් .එච් .ගුණසිංහ නමැති 54 හැවිරිදි අයෙකි.

ප්‍රදේශයේ ආගමික නායකයින් පිරිසක් අඟහරුවාදා දින නාත්තන්ඩිය තුන්මෝදර ප්‍රදේශයේ සංචාරය කළහ.

මෙහිදී හානි වූ දේවස්ථාන නිවාස හා කඩ සාප්පු වෙත ගොස් කණගාටුව ප්‍රකාශ කිරීමටද ආගමික නායකයෝ පියවර ගත්හ.

"අපි කිසිසේත්ම ජාතිවාදයක් අනුමත කරන්නේ නැහැ. රටේ මිනිසුන්ගෙන් සහ නායකයන්ගෙන් හැකි ඉක්මනින් සාමය බලාපොරොත්තු වෙනවා," යැයි බටහිර තුම්මෝදර ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානාධිපති මොරකැලේ සෝභිත හිමියන් ප්‍රකාශ කළහ.

මෙහිදී අදහස් දැක්වූ හලාවත රදගුරු වැලන්ස් මෙන්දිස් හිමිපාණන් ප්‍රකාශ කළේ රටක් වශයෙන් ශ්‍රී ලංකාව ලොකු අවදානමකට ලක්ව ඇති බවය.

"ජනතාව ගොඩක් බියෙන් පසුවන්නේ. සිංහල පමණක් නොවෙයි එය සෑම දෙනාටම පොදුයි," යනුවෙන් එතුමන් පැවසූහ.

මේ තොරතුරුද කියවන්න:

අගමැති වයඹට

කුලියාපිටිය, හෙට්ටිපොළ සහ පඬුවස්නුවර ප්‍රදේශවල තත්ත්වය සොයා බැලීම අගමැති රනිල් වික්‍රමසිංහ අඟහරුවාදා එම ප්‍රදේශයන්හි සංචාරයක නිරත විය.

රටේ සාමය හා ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සියලූ බලතල ලබාදී තිබෙන බව ඔහු කුලියාපිටියේ දී පැවසීය.

ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්තාවය සමනය කිරීම සඳහා ඊයේ රාත්‍රියේ කැබිනට් මණ්ඩලය රැස්කොට ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හා පොලිස්පතිතුමා සමග සාකච්ඡා කර මෙම පියවර ගත් බව අගමැතිවරයා පැවසීය.

Image copyright NEWS.LK
Image caption වයඹ පළාතේ සංචාරයක නිරත වූ අගමැතිවරයා

සාමය ආරක්‍ෂා කර ගනිමින් ඉදිරි වැඩකටයුතු දියත් කිරීම සම්බන්ධව මහා සංඝ රත්නය, දේශපාලනඥයින්, ප්‍රදේශවාසී නියෝජිතයින් සහ ආරක්‍ෂක අංශ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් ද කුලියාපිටිය පොලිස් අධිකාරී කාර්යාලයේ දී පැවැත්විණි.

"වත්මන් තත්වය සොයා බැලීම සඳහා අද අපි කුලියාපිටිය ප්‍රදේශයට පැමිණියා. ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් නිසා පාස්කු ඉරිදා දේව මෙහෙයන් කඩාකප්පල් වුණා. නමුත් මේ ප්‍රදේශවල සිටින ඇතැම් කඩාකප්පල්කාරී කණ්ඩායම් නිසා එළඹෙන වෙසක් උත්සවයත් විනාශ කිරීමට ඉඩදිය නොහැකියි. ඒ වෙනුවෙන් ගතයුතු සියලූ ක්‍රියාමාර්ග ගැනීමට ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේ දී අපි තීරණය කළා," අගමැතිවරයා පැවසීය.

"රටේ සාමය හා ආරක්‍ෂාව තහවුරු කිරීමට පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සියලූ බලතල ලබාදී තිබෙනවා. ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සහ පොලිස්පතිතුමා ඒ පිළිබඳව ඊයේ ප්‍රකාශ නිකුත් කළා. අසරණ ජනතාවට කරදර හිරිහැර කරමින් වෙසක් උත්සවය කඩාකප්පල් කිරීමට අපි කිසි ලෙසකින්වත් ඉඩ ලබාදෙන්නේ නැහැ."

තවත් තොරතුරු: