ශ්‍රී ලංකාවේ ප්‍රහාරවල වේදනාව: "සමහර දරුවන්ට නින්ද යන්නේ නැහැ කියනවා. හීනෙන් කෑ ගහනවලු"

Image copyright Reuters

"පුංචි ළමයි එක්ක අපි කතාබහ කරන කොට ඒ අයට මේක ඇත්තට ම භයානක සිදුවීමක්. ඒ සමහර අයට නින්ද යන්නේ නැහැ කියනවා. හීනෙන් කෑ ගහනව ලු. ඒ වගේ ම අම්මලාට ගොඩක් තුරුළු වෙලා ඉන්නවා කියල අම්මලා කිව්වා."

මේ බව පැවසුවේ, මීගමුව කටාන කටුවාපිටිය ප්‍රදේශයේදී බීබීසී සිංහල සේවයට හමුවූ කාන්තිනි නමැති කන්‍යා සොයුරියයි.

"එක ගෙදරක අම්මයි තාත්තයි දෙන්න ම මිය ගිහිල්ලා. දැන් අක්කයි මල්ලියි ගෙදර තනි වෙලා. ආදායම් මාර්ගයක් නැහැ. ඇත්තට ම ඒ දෙන්න ට්‍රෝමටයිස් වෙලා. අක්කා කියනවා රෑ හතෙන් පස්සේ ඔළුව දෙදරන ගතියක් එනව ලු."

නිලානි තිසේරා නමැති මානසික උපදේශිකාව බීබීසී සිංහල සේවයට ඒ අදහස් පළ කළේ, කටුවාපිටියේ ජනතාව වෙනුවෙන් ස්වේච්ඡා සේවයක නිරත වෙමින් සිටියදීය.

පාස්කු ඉරිදා දිනයේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූ සිය දෙමාපියන් පිළිබඳව දරුවන් තුළ පවතින කම්පනය ඉහත කී දෙදෙනාගේ ම අදහස්වලින් වටහා ගත හැකිය.

Image copyright Getty Images

ජීවිතක්ෂයට පත්වූවන් අහිමි වීම නිසා මානසික කම්පනයකට පත්ව සිටින දරුවන් මෙන් ම වැඩිහිටියන් ද එය මානසිකව දරා ගන්නේ කෙසේ ද? නැතහොත් දුක කළමනාකරණය කර ගන්නේ කෙසේ ද?

දුක යනු කුමක් ද?

බුදු දහම අනුව දුක ඇති වන කරුණු අතර 'ප්‍රියයන්ගෙන් වෙන් වීම' (පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ) නිසා දුක හට ගනී.

"සමස්ත සසර ම දුකක් කියලා බුදු දහමෙන් කියවෙනවා. ඒ අතරින් ප්‍රියයන්ගෙන් වෙන් වීම සමීපතමයින්ට විශාල දුකක් ඇති කරනවා. ඒ මානසික කම්පනය නිසා ජීවත්ව සිටින්නන් නොයෙක් ගැටලුවලට ලක් වෙනවා. ඒ නිසා ඔවුන් ඒ මානසික කම්පනයන්ගෙන් මුදවා ගන්න අවශ්‍යයි," බීබීසී සිංහල සේවය සමග එලෙස අදහස් දැක්වූයේ, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්ද්‍රාණි මුණසිංහය.

ජෝන් බවුල්බි නමැති ප්‍රකට බ්‍රිතාන්‍ය මනෝ විද්‍යාඥයා පවසන්නේ, "අපිට විශාල දුකක් හෝ කම්පනයක් ඇති වූ විට එය මානසිකව හා ශාරීරීකව බලපානවා. එය සිදු වෙන්නේ කම්පනයට පත් පුද්ගලයා නොදැනුවත්ව මයි," යනුවෙනි.

Image copyright Getty Images
Image copyright Reuters

දුක බලපාන හැටි

මේ සම්බන්ධයෙන් අදහස් විමසීමේදී කිරිබත්ගොඩ රෝහලේ සායනික මනෝවෛද්‍ය එන්. කුමානායක බීබීසී සිංහල සේවයට පැවසුවේ, කම්පනයකට ලක් වූ පුද්ගලයෙකු ඊට ප්‍රතිචාර දක්වන ආකාරය පියවර 4ක් මගින් මනෝ විද්‍යාඥ ජෝන් බවුල්බි පැහැදිලි කර ඇති බවය.

  • පළමු ප්‍රතික්‍රියාව

යම් අහිමි වීමකදී දක්වන පළමු ප්‍රතික්‍රියාව නොපිළිගන්නා අවස්ථාව (Denial Phase) ලෙස හැඳින්වේ. එහිදී තමන්ට සිය සමීපතමයා අහිමි වූ බව මනස නොපිළිගනී. එම අවස්ථාවේ ඔහු හෝ ඇය සිටිනුයේ කිසිවක් වටහා ගත නොහැකි තත්ත්වයකය. තමන්ට සිය සමීපතමයා අහිමි නොවූ බව ඔහුගේ හෝ ඇයගේ මනස කියයි.

මෙම මානසික තත්ත්වය සති දෙකක් හෝ තුනක් පැවතිය හැකි බව සායනික මනෝවෛද්‍ය එන්. කුමානායක පවසයි.

  • දෙවන ප්‍රතික්‍රියාව

දෙවන අවස්ථාව හඳුන්වන්නේ, සෙවීමේ අවස්ථාව (Searching Phase) ලෙසය. සිය සමීපතමයා අහිමි වූ බව මනසට වැටහීම ආරම්භ වන්නේ, මෙම අවස්ථාවේදීය. එහිදී ඔහු හෝ ඇය තමන්ට අහිමි වූ පුද්ගලයා සෙවීමට උත්සහ කරයි.

"මේ අවස්ථාවේදී විලාප දීලා අඬනවා. හිටි හැටියේ ම අධික ලෙස තරහ යන්න පටන් ගන්නවා. සමහර විට තරහ පාලනය කර ගන්න බැරුව ළඟ තියෙන බඩු මුට්ටු පොළොවේ ගහනවා," වෛද්‍ය එන්. කුමානායක පැවසීය.

මෙම අවස්ථාවේදී සිදු විය හැකි තවත් බරපතළ දෙයක් නම් මිථ්‍යා මත මනසට ඇතුළු වීමය.

"මේ අවස්ථාවේදී මිය ගිය දරුවා හෝ පුද්ගලයා තමන් ළඟ ඉන්න බවක් දැනෙනවා. කතා කරන හඬ ඇහෙන්න ගන්නවා. මෙතනදී තමයි හුඟක් අය මිථ්‍යා විශ්වාස පස්සේ යන්නේ. කටහඬ ඇසීම, ළඟ ඉන්නවා කියලා දැනෙන එක දැඩි මානසික ප්‍රතික්‍රියාවක්. ඒක මානසික රෝගයක් නොවෙයි. ඒක දුකේ ම කොටසක්."

  • තුන් වන ප්‍රතික්‍රියාව

මෙම තත්ත්වය ඇත් වන්නේ, අදාළ සිද්ධියෙන් මාසයක් හෝ දෙකක් වැනි කාලයක් ගත වීමෙන් පසුවය. අදාළ සමීපතමයා මිය ගොස් ඇති බව මනසට නිවැරදිව වැටහෙන්නේ මේ කාලයේදීය. මෙය අසංවිධානාත්මක අදියර (Disorganization Phase) ලෙස හැඳින්වේ.

"මෙහිදී තමන් ගැන ම තරහක් ඇති වෙනවා. ඇතැම් විට ඔහුගේ හෝ ඇයගේ මරණයට තමන් වගකිව යුතු බවක් හිතට දැනෙනවා. ඒ මරණය තමන්ට වළක්වා ගැනීමට තිබුණා නේද කියලා නිතර හිතෙන්න ගන්නවා. නින්ද යාම අඩු වෙනවා. ඇඟපතේ අමාරු ඇති වෙනවා. ජීවිතේ වැඩ කටයුතු ටිකෙන් ටික අතපසු වෙන බවක් දැනෙනවා. ඒත් ජීවිතේ ගෙනියන්න ඕන කියන ශක්තිය හිතේ තියෙනවා."

  • සිව් වන ප්‍රතික්‍රියාව

සාමාන්‍යයෙන් මාස 6ක් පමණ ගත වන විට ජීවිතය යථා තත්ත්වයට පත් වීම ආරම්භ වන බව මනෝ විද්‍යාඥ ජෝන් බවුල්බි පවසයි. එහිදී මිය ගිය පුද්ගලයාගේ යහපත් ගතිගුණ පිළිබඳව සිතට නැගෙන අතර ඔහු හෝ ඇය බලාපොරොත්තු වූ දේ ඉටු කළ යුතුය යන සිතිවිල්ල සිතට නැගේ.

මෙම අවස්ථාව ජෝන් බවුල්බි හඳුන්වන්නේ, සංවිධානාත්මක අදියර (Organization Phase) ලෙසය.

තවත් කියවන්න:

දුකට පත්වූවන්ට සහය වන්නේ කෙසේ ද?

"දුක කියන්නේ දැඩි මානසික කම්පනයකට පස්සේ ඇති වන මානසික ප්‍රතික්‍රියාවක්. මෙවැනි අවස්ථාවකදී එවැනි තත්ත්වයක සිටින අයෙකුට පිහිට වෙන්න ඕන කොහොම ද කියලා අනෙක් අය දැනගෙන ඉන්න ඕන. එහෙම නොවුණොත් දුකට පත්වූ තැනැත්තාගේ ජීවිතය තවත් අවුල් වෙන්න පුළුවන්," සායනික මනෝවෛද්‍ය එන්. කුමානායක පෙන්වා දුන්නේය.

ඔබ කළ යුතු දේ:

  • ඔහුගේ හෝ ඇයගේ හැඟීම් හඳුනා ගන්න. එම තැනැත්තාගේ දුක ඔබට දැනෙන බව ඉරියව් සහ වචනවලින් ප්‍රකාශ කරන්න.
  • මිය ගිය පුද්ගලයාගේ සමරු සටහන් ඇතුළත් පොතක් සකසන්න. නිවසට ඇතුළු වන ස්ථානය, කාමර, ආලින්දය ආදී ස්ථානවල මිය ගිය තැනැත්තාගේ ඡායාරූප තබන්න.
  • මිය ගිය පුද්ගලයාගේ යහපත් ගතිගුණ, දක්ෂතා පිළිබඳව කණ්ඩායමක් ලෙස එක්වී සාකච්ඡා කරන්න. එම සාකච්ඡාවලට පවුලේ සාමාජිකයින් ද සම්බන්ධ කර ගන්න.
  • දුකට පත්ව සිටින තැනැත්තාට උපදෙස් නොදෙන්න. ඔහු වචන දහයක් කතා කරන විට ඔබ වචන දෙකක් කතා කරන්න. ඔහු අඬන විට ඇඬීමට ඉඩ දෙන්න. ඔහු කෝපයට පත් වුවහොත් ඔබ කලබලයට පත් නොවන්න. එම කෝපය සාමාන්‍ය දෙයක් බව අඟවන්න.
  • දුකට පත් තැනැත්තාගේ ජීවිතය ගොඩ ගැනීමට සහය වන්න. ඔහුගේ ජීවිතයේ අරමුණු සහ බලාපොරොත්තු මතක් කර දෙන්න.
  • යම්කිසි විටෙක ජීවිතය නැති කර ගැනීමේ සිතිවිලි, ක්‍රම සහ විධි ගැන නිතර කතා කරයි නම් මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න.