ශ්‍රී ලංකාවේ යුද්ධය නිම වී දස වසරක්: අඹුසැමියන් වූ පස මිතුරන්

Image caption රොෂාන් චතුරංග ජයතිලක සහ ගෞරි මලර්

"ආයෙ නම් අපිට යුද්ධයක් එපා."

එසේ පවසන්නේ, කලෙක එකිනෙකාට ගිනි බිඳ ගත් පසුව අඹු සැමියන් බවට පත් සිංහල සහ දමිළ තරුණ යුවළකි.

රොෂාන් චතුරංග ජයතිලක සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයෙකි. ගෞරි මලර් එදා කොටි ළමා සෙබළියකි.

යුද ගිනි නිවා ලිප ගිනි දැල්වූ ඔවුන් දැනට පදිංචිව සිටින්නේ, කලක් එල්ටීටීඊ බලකොටුවක්ව පැවති විශ්වමඩු ගම්මානයේය.

මේ විස්මිත පෙම් කැදැල්ල සොයා ගම් නියම්ගම් පසු කර අප උතුර බලා ගියෙමු. ගෞරිගේ සහ රොෂාන්ගේ කතාව සටහන් කරන අදට යුද්ධය නිම වී දස වසරක් සපිරේ.

වව්නියාවෙන් පසු හමුවන ඕමන්තෙයි කලක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සහ එල්ටීටීඊ බල සීමාව වෙන් කළ බෙදුම් රේඛාව විය.

කාපට් ඇතිරූ මග දෙපස නිහඬව බලා සිටින යුද්ධයෙන් විනාශයට පත් ගොඩනැගිල්ලක් දෙකක් ඉඳ හිට හමු වෙයි. ඒ අතරින් පතර හමුදා කඳවුරුය.

පුරන්ව ගිය කුඹුරු යායක තනියට ඇත්තේ අලසව තණ බුදින හරක් පමණි. කලක් උතුරේ නිවාසවලට අනන්‍ය වූ තල් වැට වෙනුවට මෙදා එහි දක්නට ඇත්තේ ටකරන් වැටවල්ය.

බෝක්කුවක් මත ඇණ තබා ගත් කෙසඟ තරුණයෙක් බිඳුණු තල්ගසක් දෙස දෑස් අයා බලා සිටී.

පෙර කී කතානායකයන්ගේ නිවහන සොයා ඕමන්තෙයි, පුලියන්කුලම, කනගරායන්කුලම, මාන්කුලම, කිලිනොච්චිය, පරන්තන්, ධර්මපුරම් පසු කර අපි විශ්වමඩු වෙත ළඟා වීමු.

රොෂාන් චතුරංග ජයතිලක සහ ගෞරි මලර් දැනට වාසය කරන්නේ ඇයගේ මව්පියන්ගේ නිවසේය.

වැලි සහිත මිදුල මැද ඵලින් බර වූ කොස් ගහකි. ඒ අසල ට්‍රැක්ටරයක්, යතුරු පැදියක් සහ පා පැදියක් ගාල් කර ඇත්තේ එක පෙළටය.

අප පිළිගැනීමට රොෂාන් සහ ගෞරි ඉස්තොප්පුවෙන් පිටතට පැමිණියහ.

ඔහුගේ කතාව

Image caption රොෂාන් චතුරංග ජයතිලක

"මම ඉපදුණේ එක් දහස් නවසිය අනූවේ. අපි හිටියේ ඉරට්ටපෙරියකුලම් මායිම් ගම්මානයේ. එල්ටීටීඊය කියන වචනෙට වඩා නිතර ම ඇහුණේ කොටි කියන වචනේ. අපේ සතුරු උදවිය කියලා ඔවුන් ගැන හිතේ පොඩි තරහක් තිබුණා."

"ඉස්කෝලේ යන කාලේ එක සිද්ධියක් මට මතකයි. 2004 අප්‍රේල් 14 වෙනි දා, මම එතකොට අට වසරේ. සිංහල අලුත් අවුරුද්දට අපි යාළුවන්ගේ ගෙවල්වල යනවා. එහෙම ගිහින් කැවුම් එහෙම කාලා එනකොට වව්නියාව ජෝසෆ් කෑම්ප් එක ගාව පුල්ලෙයාර් කෝවිල ළඟ බෝම්බයක් පිපිරුවා. ආමි එක ඇවිත් පාර වැහුවා. ඒක ආමි එකට තිබ්බ ක්ලේමෝ එකක්. අපි කම්බි වැටක් අස්සෙන් බයිසිකල් දාගෙන බලාගෙන හිටියා. එතැනදී තමයි මට යුද්දේ ගැන ඉස්සෙල්ලා ම දැනුණේ."

Image caption 2008 වසරේ දඹුල්ල ආසන්නයේ බෝම්බයකට ගොදුරු වූ බස් රථයක්

"කැබිතිගොල්ලෑව බස් බෝම්බේ තිබ්බ දවසේ තමයි හිතට ලොකු තරහක් ආවේ. ළමයි, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒකෙන් මැරුණා. ඕ ලෙවල් කරන කාලේ වව්නියාව පොලිසිය ගාව මරාගෙන මැරෙන බෝම්බයක් පිපිරුණා. එතකොටත් තරහක් ආවා."

"මගේ තාත්තත් ග්‍රාම ආරක්ෂකයෙක් වශයෙන් කටයුතු කළා. මගේ ඥාති සහෝදරයෝ ගොඩක් සිවිල් ආරක්ෂක එකේ වැඩ කළා. ඒ ගොල්ලෝ වෙපන් අරන් යනවා දකිනවා. අපේ කොල්ලෝ මායිම් ගම්මාන රැක ගන්න ඉන්නවා කියලා අපිට ගමේ ලොකු ගෞරවයක් තිබ්බා. ඒ ගෞරවයත් එක්ක මටත් සිවිල් ආරක්ෂක එකට යන්න ආසාවක් ඇති වුණා. ඒත් අම්මා ඒකට කැමති වුණේ නැහැ. ෆයිල් එක භාර දෙනකම් අම්මා දැනගෙන හිටියේ නැහැ." ඒ 2008 වසරේදීය.

ඇයගේ කතාව

Image caption ගෞරි මලර්

"මම ඉපදුණේ විශ්වමඩුවල. අක්කලා දෙන්නයි, නංගිලා තුන් දෙනයි, අයියයි, මල්ලියි මායි එකට මයි හිටියේ. මම සිංහල අය දැකලත් නැහැ, ඒ අය එක්ක කතා කරලත් නැහැ. එයාලා හොඳ නැති අය, අපිව මරලා දායි, මොනවා හරි කරයි කියලා හිතුණා."

"මම අම්ම තාත්තට, අනෙක් සහෝදරයන්ට වඩා අපේ අයියට ආදරේ කළා. මට උණ හැදිලා ඉන්නකොට අයියා මව බලන්න ආවා. මම කිව්වා මට සීතලයි කියලා. එතකොට කොට්ට ගොඩක් තියලා බෙඩ් ෂීට් එකක් දාලා එයා ළඟින් ඉඳ ගත්තා. පාන්දර තාත්තට කියලා තියෙනවා 'මම බඩු වගයක් පටවන්න යනවා. නංගි ඇහැරවන්න එපා කියලා. මම ඒ එක්ක ම ඇහැරලා එළියට යන්න හදනකොට සිහි නැතුව වැටුණා. මාව සුවන්දිපුරම් ඉස්පිරිතාලෙට අරන් ගියා."

"දවස් තුනකට පස්සේ අපේ මාමා, බාප්පා තුවාල වුණු අය අරන් ආවා. අයියට මොනා හරි වුණා ද දන්නේ නැහැ කියලා මට හිතුණා. අයියට තුවාලයි, සති දෙක තුනකට මෙයාගේ ටිකට් කපන්න එපා කියලා අක්කා ඇවිත් දොස්තරලට කියලා ගිහින්. මහේ හිතට වෙනසක් දැනුණා. ඉස්පිරිතාලේ ඉන්න හිත දුන්නේ නැහැ."

"මම නර්ස් මිස්ගෙන් ඇහුවා. එයා කිව්වා ළඟ පාත බෝම්බයක් වැදිලා කට්ටිය තුවාල වෙලා කියලා. ටිකට් කැපුවට පස්සේ මම කවුරුත් එනකම් ඉන්නේ නැතුව ගෙදර ගියා. එතකොට චූටි නංගි කිව්වා 'අක්කගේ අයියා තුවාල වුණානේ. අයියා නෑනේ' කියලා. මට අඬන්න බැහැ අම්මයි තාත්තයි දුක් වෙන හින්දා. ඒත් මට දරා ගන්නත් බැහැ."

ගෞරිගේ දෑසින් කඳුළු කැට කඩා හැලෙන්නේ අදටත් අතුරුදන් වී සිටින සිය සහෝදරයා වෙනුවෙනි. රොෂාන් සහ ගෞරි පවසන පරිදි ඔහු එල්ටීටීඊ සාමාජිකයෙකු නොවේ. ඔහු ෂෙල් වෙඩි ප්‍රහාරයකට හසුව තිබේ.

Image caption අයියා පිළිබඳ මතකය

ඔහු සහ කොටි සාමාජිකාවක අතර පැවති රහස් පෙමට උදව් උපකාර කර ඇත්තේ ගෞරිය. එල්ටීටීඊ සාමාජිකයන්ට ප්‍රේමය තහනම් මාතෘකාවක් විය.

"ඒ අක්ක ගැනත් අදටත් ආරංචියක් නැහැ" ගෞරි පවසන්නීය.

යුද්ධයේ අවසාන සමයේ සිය සොහොයුරා සොයා ගිය තමන් එල්ටීටීඊය භාරයට පත් වූ ආකාරය ගෞරි සිහිපත් කරයි.

"මම අම්මටයි තාත්තටයි කියන්නේ නැතුව අයියා ඉන්නව ද නැද්ද කියලා හොයන්න මුල්ලිවයික්කාල්වලට ගියා. ඊට පස්සේ එල්ටීටීඊ එකෙන් මාව අල්ල ගත්තා. මම විතරක් නෙමෙයි තව කට්ටිය හිටියා. මම අයියා හොයන්න පැනලා ආවා. ඒ එද්දී ආයෙත් අහුවුණා."

Image caption ළමුන් බලහත්කාරයෙන් බඳවා ගත් බවට එල්ටීටීඊ සංවිධානයට චෝදනා එල්ල වේ

එල්ටීටීඊ සංවිධානයෙන් පැන යන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා හිස මුඩු කරන බැවින් තමන් ඊට මුහුණ දුන් ආකාරය ගෞරි සිහිපත් කරයි.

"මගේ අයියා තාම ඉන්නව ද නැද්ද දන්නේ නැහැ, මාව එක්කරන් යන්න එපා කියලා මම කිව්වා. ඒත් ඇහුවේ නැහැ. කොණ්ඩේ බූගාලා හින්ද පැනල යන්නත් බැහැ. ඊට පස්සේ මට සතියක ට්‍රේනිං එකක් දුන්නා. ඊට පස්සේ යුද්දෙට දැම්මා. අපේ ළමයි මැරුණා. තුවාල වුණා. මටත් තුවාල වුණා."

තම හදවතේ "සිදුරක්" ඇති බැවින් දෙමව්පියන් වෙත යාමට අවසර ලබා දෙන ලෙස තමන් වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව ඇය පවසයි.

"යුද්ධය ඉවර වෙන්න කිට්ටුව. ගෙදර යන්න අවසර දීලා ලියුමක් දුන්නා. ඒත් ආයෙත් කිව්වා නිදහස් කරන්න බැහැ කියලා."

ඒ වන විට එල්ටීටීය වෙනුවෙන් යුද වැදී සිටි ගෞරිගේ වැඩිමහල් සහෝදරිය ද තුවාල ලබා රෝහල්ගත කර තිබිණි.

Image caption යුද්ධයේ අවසාන අදියරයේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට ශ්‍රී ලංකා හමුදාව සහ එල්ටීටීඊ සංවිධානය චෝදනාවට ලක් වේ

"කොහොම හරි මායි අක්කයි එක තැනට වැටුණා. අක්කට තුවාලයි. එයා කිව්වා මම ඉන්නම් නංගිව යවන්න කියලා. ඊට පස්සේ මම එතනින් ආවා. කොණ්ඩේ කපලා නිසා මුහුද අයිනේදී මාව ආයෙත් ඇල්ලුවා. මම එතකොට කලින් දීපු ලියුම පෙන්නුවා."

ගෞරි එල්ටීටීඊයෙන් සමුගෙන ඇත්තේ, ඒ අනුවය. පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව භාරයට පත්ව ඇති ගෞරි, පුනරුත්ථාපනය සඳහා යොමු කෙරිණි.

පසමිතුරු ප්‍රේමය

2009 වසරේ මැයි 18 වන දා යුද්ධය නිම වීමෙන් පසු ආරක්ෂක හමුදා මැදිහත් වීමෙන් උතුරේ ගොවිපොළවල් ආරම්හ කෙරිණි. ඒ අනුව, 2012 වසරේ අග භාගයේදී එවැනි ගොවිපළක විශේෂ රාජකාරි සඳහා තමන් යොදවන ලද බව රොෂාන් පවසයි.

"හුඟ කාලෙකින් දෙමළ ඒරියා එකකට ගියේ. දෙමළ දන්නෙත් නැහැ. 'වාංග පෝංග' කියන්න විතරයි දන්නේ. සිංහල ගම්මානයක ඉඳන් එන්නේ. මම තනිවෙලා වගේ දැනුණා. කොච්චර ද කිව්වොත් ජොබ් එක දාල යන්න තරම් හිතුණා."

"උදයන්කට්ටු ගොවිපළට ආවා. එද්දී ඉන්න තැනක්වත් තිබුණේ නැහැ. ළඟ තියෙන කෑම්ප් එකක නවාතැන් ගත්තේ. පහුවෙනි දා ටැමිල් කට්ටිය ආවා. ලිස්ට් එකක් ගත්තා. දෙසිය පනස් පස් දෙනෙක් හිටියා. මාස හයක් විතර යන කම් තනි තනිව අඳුර ගන්න බැහැ. මොක ද ලොකු පිරිසක්."

පුනරුත්ථාපනය වීමෙන් අනතුරුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට එක් වූ ගෞරි, රොෂාන් රැකියාවේ යෙදී සිටි ගොවිපළ වෙත පැමිණ ඇත්තේ, 2013 වසරේදීය.

Image caption පුනරුත්ථාපනය වීමෙන් අනතුරුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට එක් වූ ගෞරි, රොෂාන් රැකියාවේ යෙදී සිටි ගොවිපළ වෙත පැමිණ ඇත්තේ, 2013 වසරේදීය.

රොෂාන් සිය ආදර අන්දරය පිළිබඳ මතකය අවදි කරයි. මුහුණේ ඇත්තේ 'මනමාල සිනහවකි'.

"නෝනා 2013 මාර්තුවල ගොවිපළට ආවා. අලුතෙන් කෙනෙක් ආව ම විස්තර අහනව නේ. මාත් එයා කොහෙ ද කින්ද මන්ද කියලා ඇහුවා. මම දෙමළ දන්නේ නැති නිසා නෝනා තමයි මම කියන දේවල් පරිවර්තනය කළේ. මම සිංහලෙන් කියන දේ එයා දෙමළෙන් කියනවා."

ගෞරි කුඩා අවධියේ සිය නැන්දණිය සමග පුත්තලමේ වාසය කර ඇති අතර ඇය සිංහල බස ඉගෙන ගෙන ඇත්තේ එහිදීය.

රොෂාන් සහ ගෞරි දෙපළ අවුරුදු එක හමාරක් පමණ එම ගොවිපළේ රාජකාරි සිදු කර ඇත.

ප්‍රේමයට බාධා

"මම නිවාඩු යනකොට එයා අඬනවා. එනකන් බලා ඉන්නවා. ගෙදරින් කෑම බීම හදාගෙන එනවා. වියදමට සල්ලි තියනව ද?, අඩුපාඩු තියෙනව ද? කියලා එයා අහනවා. එහෙම තමයි සම්බන්ධය ඇති වුණේ. ඊට පස්සේ මම අපේ ගෙදරට කිව්වා."

"අප්පච්චි විරුද්ධ වුණේ නැහැ. දෙමළ කෙල්ලෙක් බඳින එක ගැන තාත්තගේ ඉස්සර ඉඳන් කැමැත්තක් තිබුණ බව මට දැනිලා තිබුණා."

පළමුව සිය මව ඊට කැමැත්ත පළ කළ ද ඇයගේ ඥාති පාර්ශ්වයෙන් විරෝධය එල්ල වූ බව රොෂාන් පවසයි. මේ වන විට ගෞරිගේ දෙමව්පියන් ඒ සම්බන්ධයෙන් දැනුවත්ව සිට ඇති අතර එල්ටීටීඊ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වූ ලොකු අක්කා ඊට විරෝධය පළ කර ඇත.

ප්‍රේමයට කොතැනක ද බාධා නැත්තේ? රොෂාන් සහ ගෞරිටත් එය පොදු ධර්මතාවක් විය. කෙසේ නමුත් 2014 වසරේදී තමන් එක් කැදැල්ලක් යටට පැමිණීමට තීන්දු කළ බව රොෂාන් ගෞරි යුවළ පවසයි. මේ වන විට ඔවුන් සිඟිති දියණියකගේ දෙමව්පියන්ය.

"නෝනගේ පවුලේ ඉල්ලීම නිසා දුවට සිංහල නමක් තිබ්බේ. අපි පන්සලටත් යනවා කෝවිලටත් යනවා. ජාතිය ආගම අපිට ප්‍රශ්නයක් නෙමෙයි. දුවට භාෂා දෙක ම උගන්නනවා" රොෂාන්ගේ දෑසේ ඇත්තේ අධිෂ්ඨානය මුසු බැල්මකි.

ගෞරි, රොෂාන්ගේ පියා ආමන්ත්‍රණය කරන්නේ "අපේ තාත්තා" කියාය. මෑතකදී මෙලොවින් සමුගත් රොෂාන්ගේ මව වෙනුවෙන් ඇය ශෝක වන්නීය.

රොෂාන් සිය නෑනලා සමග දැන් හරි හරියට දෙමළ කතා කරයි. ගෞරි පරිවර්තනයෙන් ඔබ්බට ගොස් ඔහුට දෙමළ බස උගන්වා ඇති සෙයකි. යුද්ධය නිසා පුතෙකු අහිමි වූ ගෞරිගේ මව්පියන් තමන්ට පුතෙකුට මෙන් සලකන බව රොෂාන් පවසයි.

තමා දෙමළ ක්‍රමයට පිසූ ආහාරවලට වැඩි රුචියක් දක්වන බව රොෂාන් කියා සිටියේ තම නැන්දණිය දෙස බලමින්ය. නැන්දණිය ඔහු දෙස බලා සිනාසුණේ ඔහු කී දේ වැටහුණු නිසා විය යුතුය.

රොෂාන්ගේ මව මෙන් ම ගෞරිගේ වැඩිමහල් සොහොයුරිය ද සිය විවාහයෙන් පසු ඔවුන්ගේ මුල් මතයෙන් බැහැරව තමන් වෙත අනුමැතිය ලබා දුන් බව රොෂාන් ගෞරි යුවළ සිහිපත් කරයි.

"මම හිටියේ හමුදාවත් එක්ක. එයා හිටියේ එල්ටීටීඊ එකත් එක්ක. අපි දෙගොල්ලෝ එකිනෙකාව දැක්කේ හතුරෝ විදිහට. නමුත් දැන් අපි එක පවුලක්. පුංචි දුවත් එක්ක අපේ කැදැල්ල සම්පූර්ණ වුණා."

මේ තරුණ යුවළගේ ඉදිරි බලාපොරොත්තු සහ ශ්‍රී ලංකාවේ බහුතර තරුණ තරුණියන්ගේ බලපොරෝත්තු අතර වෙනසක් නැත.

දරුවා හොඳ පාසලකට ඇතුළත් කර ගැනීම, නිවසක් තනා ගැනීම, මෝටර් රථයක් මිලට ගැනීම ඔවුන් හමුවේ ඇති සිහිනයන්ය.

පාස්කු ඉරු දින ප්‍රහාරයත් සමග රටේ පවතින වත්මන් තත්ත්වය ඔවුන්ට කෙසේ බලපාවි ද?

"යුද්ධය තිබුණු කාලේ බයක් නැහැ. දැන් බයයි. හැබැයි ඒ මනුස්සයන්ට නෙමෙයි. හොල්මන්වලට. හොල්මන් කියන්නේ සෙලවෙන මනස. මෙහෙ මිනිස්සු කියනවා ඔතන ගොඩක් මිනිස්සු මැරුණ තැනක් කියලා. ඒ නිසා මෙහෙ ගොඩක් අය එළියට පහළට යන්නේ නැහැ," රොෂාන් කී දේ තුළ "හොල්මන්වලින්" එහා ගිය අරුතක් තිබෙනවා විය යුතුය.

ඉන් පෙන්නුම් කරන්නේ පශ්චාත් යුද භූමියක ඉතිරි වන මානසික කැළැල් නොවේ ද?

ගෞරි ඊට සිය අදහස එක් කළේ සමාජ තත්ත්වය හෝ භෞතික වත්කම්වලින් එහා ගිය අහිංසක බලාපොරොත්තුවක් අප හමුවේ තබමිනි.

"මිනිය හරි දැක්ක නම් හිත හදා ගන්න තිබ්බා අයියා මැරුණා කියල. ඒත් එහෙම නැහැනේ. කකුල් දෙක නැතුව හරි අයියා ආවොත්. එහෙම වුණත් මම අයියව බලා ගන්නවා. මම හිතනවා අයියා කොහේ හරි ඉන්නවා කියලා. දෙවියෝ ඇවිත් මොනා ද ඕනි කියලා ඇහුවොත් මගේ අයියව ගෙනත් දෙන්න කියලා මම කියනවා." ‍

"ආයේ නම් යුද්ධයක් එපා."

කියවන්න: