ශ්‍රී ලංකාවේ සංහිඳියාව: "යුද්දෙන් පස්සේ ඉතිරි වුණ සල්ලි කෝ?"

ශ්‍රී ලංකාවේ වසර තිහක් පුරා පැවති සිවිල් යුද්ධය නිම වී 2019 මැයි 18 වන දාට වසර දහයක් සම්පූර්ණ වෙයි.

නමුත් යුද්ධයට මුල් වූ උතුරු නැගෙනහිර ජනතා ගැටලුවලට විසඳුම් ලබා දීමට බලධාරීන් තවමත් අසමත්ව ඇති බව බීබීසී සිංහල සේවයට හමුවූ උතුරු පළාතේ තරුණ තරුණියන් කීප දෙනෙක් පැවසූහ.

ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ම ගැටලු කිහිපයක් වන්නේ:

  • රැකියා අවස්ථා අවම වීම
  • නිවාස ගැටලුව
  • වැන්දඹු කාන්තාවන්ගේ ගැටලු
  • අතුරුදන්ව ඇතැයි සැලකෙන සමහර පුද්ගලයින් පිලිබඳ තොරතුරු හෙළි නොවීම

"යුද්ධය නිම වීම නිසා ඉතිරි වූ සල්ලිවලට මොකද වුණේ?"

බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ වවුනියාවේ ඉරට්ට පෙරියකුලම්හි පදිංචි ආසිරි සෝමරත්න පැවසුවේ, "උතුරු පළාතේ තරුණ තරුණියන්ගේ තත්ත්වය ශෝචනීයයි, මේ දේශපාලනය නිසා. දේශපාලඥයෝ බලන්නේ ඊළඟ ජන්දය ගැන විතරයි. ඒ නිසා මේ වෙනකොට උතුරේ තරුණ තරුණියන්ගේ ප්‍රශ්න එහෙමමයි. හරියට පාසල් නෑ. රැකියා නෑ. විශේෂයෙන් ම මේ උතුරු පළාතේ. උතුරු පළාතේ ඉන්නේ යුද්ධය නිසා අම්මලා තාත්තලා අහිමි වුණ අත පය අහිමි වුණ මිනිස්සු. මේ මිනිස්සු ගැන බලන්න කිසි ම රජයක් සමත් වුණේ නැහැ," යනුවෙනි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,බලයට පත් වූ ආණ්ඩු ජාතික සමගිය හා ආගමික සහජීවනය ඇති කිරීමට අසමත් වූ බවය.

"උතුරේ මිනිස්සු අපේක්ෂා භංගත්වයට පත් වෙලා. යුද්ධය ඉවර වෙලා අවුරුදු දහයක් . යුද වියදම් නතර වුනාම රුපියල් කෝටි ගානක් ඉතුරු වුණා. ඒවාට මොක ද වුණේ? අද උතුරු පළාතේ සමහර මිනිස්සු තුන්වේල කන්නේ නැහැ. ගොඩක් කරන්නේ කුඹුරු වැඩ, කුලී වැඩ කරන මිනිස්සු. දැන් අවුරුදු දහයක් ගත වෙන කොට ආගමික අන්තවාදයත් එක්ක ත්‍රස්තවාදයක් ආයෙත් ඇවිල්ලා."

නිලූකා ධර්මපාල වවුනියාව දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක ජීවත් වන කාන්තාවකි. යුද්ධය නිම වී වසර දහයක් ගත වුව ද තම ගම්මාන සංවර්ධනය නොකෙරුණු බව ඇය පවසන්නීය.

"මේ ගම්වල කිසි ම සංවර්ධනයක් නැහැ. එදා යුද්දේ තිබුණ කාළේ වගේමයි අද තත්ත්වයත්."

නිවාස ගැටලුව:

උතුරු නැගෙනහිර පවතින නිවාස ගැටලුවට ස්ථීර විසඳුමක් ලෙස නිවාස 65,000 ඉදි කිරීමට රජය 2015 දී පොරොන්දු වී තිබිණි. නමුත් එය තවමත් පොරොන්දුවක් ම පමණක් බව එම ප්‍රදේශවල ජනතාව පවසති.

දේශපාලන මැදිහත් වීම් නිසා එම ව්‍යාපෘතිය පමා වන බව ඔවුන්ගේ අදහසය.

මෙම නිවාස ව්‍යාපෘතියට සම්බන්ධ ප්‍රථම කැබිනට් පත්‍රිකාව නිකුත් වූයේ, 2015 සැප්තැම්බර් මාසයේදීය. එම කැබිනට් පත්‍රිකාවේ සංක්ෂිප්තය මෙහි දැක්වේ.

නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයට අනුව ඉන්දීය ආධාර යටතේ නිවාස 44,000ක් ඉදිකරන බවත් තවත් නිවාස 137,000 ක් පමණ අවශ්‍ය බවත් හඳුනා ගෙන තිබිණ. ඉන් නිවාස 65,000 ක් සෑදීම සඳහා එම අමාත්‍යංශයට කැබිනට් අනුමැතිය ලැබී තිබුණ ද එම ව්‍යාපෘතිය තවමත් ක්‍රියාත්මක වී නොමැත.

සුළු ව්‍යාපාරයක් පවත්වා ගෙන යන එස්. සුදාකරන් පැවසුවේ ස්ථීර නිවාස නැතිකමින් උතුරේ පවුල් විශාල ගණනක් දුක සේ ජීවත් වන බවය.

"නිවාස ඉදිකිරීම් සිදු කළත් සුදුස්සන් වෙත අදාළ නිවාස ලැබීම නියමිත පරිදි සිද්ධ‍ වෙන්නේ නෑ. එහෙම වුණා ම දුප්පත් ජනතාව තවත් අසරණ තත්ත්වයෙන් තමයි ජීවත් වෙන්නේ. රජය දුප්පත් ජනතාවගේ ගැටලු විසඳීම සම්බන්ධයෙන් නිසි පරිදි සොයා බැලීමක් නෑ. ගෙයක් හදන්න කියලා රුපියල් ලක්ෂ පහක හයක මුදලක් දෙනවා. දැන් තිබෙන බඩු මිලත් එක්ක ලක්ෂ පහක හයකට ගෙයක් හදාගන්න බැහැ"

ප්‍රධාන මාවත් හොඳින් කාපට් අතුරා සංවර්ධනය කර තිබුණ ද බොහෝ අතුරු මාර්ග නිසි පරිදි අලුත්වැඩියා කර නොමැති බව ද සුදාකරන් පෙන්වා දුන්නේය.

කාන්තාවන් පීඩාවට පත් වෙලා:

ශ්‍රී ලංකාවේ තිස් වසරක් පුරා පැවති යුද්ධය නිසා උතුරු නැගෙනහිර පළාත්වල කාන්තාවන් 89,000ක් පමණ වැන්දඹුවන් බවට පත්වී තිබෙන බව කාන්තා කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ලක්ෂිකා නාගරාජා නම් තරුණිය පැවසුවේ, යුද්ධය නිම වුව ද කාන්තාවන් විශාල සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටින බවය.

"යුද්දෙන් පස්සේ උතුරු පළාතේ තිබෙන ප්‍රධාන ගැටලුවක් තමයි - වැන්දඹුවන් මුහුණ දෙන ප්‍රශ්න. යුද්ධයේ දී විශාල පිරිසක් මැරුණා. එහෙම මිය ගිය පුද්ගලයන්ගේ පවුල්වල කාන්තාවන් මේ වන විට ජීවත්වෙන විදිය දැක්කාම ඇති වෙන්නේ දුකක්. ස්වාමි පුරුෂයකු නැතුව ජීවත් වෙන එවැනි කාන්තාවන් තම දරුවන් රැක ගන්න නොවිඳිනා දුක් විඳිනවා."

ආණ්ඩුව එවැනි වැන්දඹු කාන්තාවන් සඳහා විවිධ ස්වයං රැකියා ව්‍යාපෘති හඳුන්වා දුන්නත් නිසි වෙළෙඳපොළක් නැති වීමෙන් ඔවුන් තවත් දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව ලක්ෂිකා පවසන්නීය.

"අපේ රටේ පවතින තත්ත්වයත් එක්ක කාන්තාවක් පවුලක් රකිනවා කියන්නේ දැඩි අභියෝගයක්. මේ දක්වා කාන්තා මූලික පවුල් වෙනුවෙන් සාර්ථක යමක් සිදු වෙලා නැහැ."

අතුරුදන් වූවන් පිළිබඳ ගැටලුව:

අතුරුදහන්වූවන් පිළිබඳ ගැටලුව උතුරු නැගෙනහිර පවතින ප්‍රධාන ප්‍රශ්නයකි.

සමන්තසබරි නිශානි ඒ පිළිබඳව අදහස් දක්වන තරුණියකි.

"යුද්ධය නිසා අතුරුදන්වූවන්ගේ බිරින්දෑවරුන් මේ වන විට උතුරු පළාත පුරා දවස් අටසීයකට වැඩි කාලයක් උපවාසයක නිරත වෙලා තමන්ගේ ස්වාමි පුරුෂයන් සොයා ගැනීම වෙනුවෙන් ඉල්ලීම් කරමින් ඉන්නවා. එයාලා පාරේ ජීවත් වෙමින් තමන්ගේ අතුරුදහන් වූ ස්වාමි පුරුෂයන් හා ඥාතීන් සොයා දෙන ලෙසට රජයෙන් ඉල්ලීම් කළත්, අදාළ ගැටලුවට මේ දක්වා නිසි විසඳුමක් ලැබිලා නෑ"සමන්තසබරි නිශානි කියා සිටියාය.

"මේ රජය වෙනුවෙන් ජන්දය දීම සම්බන්ධයෙන් අපි ලජ්ජා වෙනවා. කාන්තා මූලික පවුල්වල කාන්තාවන් තමන්ගේ දරුවන් එක්ක කුලී වැඩ කරලා යම් යම් සුළු ව්‍යාපාර කරලා යාන්තමින් ජීවත් වෙන්න උත්සහ කරනවා. එහෙම කරන විට ඒ පවුල්වල දරුවන්ගේ ආරක්ෂාව ගිලිහිලා යනවා," ඇය වැඩිදුරටත් පැවසුවාය.

මහින්ද රාජපක්ෂ රජය විසින් 2013 වසරේදී අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීමට මැක්ස්වෙල් පරණගම කොමිසම පත් කරන ලදී. එහි වාර්තාව 2016 අගෝස්තු මස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත බාර දුන්නේය.

එම කොමිසමට පැමිණිලි 23,586ක් ලැබී තිබූ අතර ඉන් පැමිණිලි 5,000ක් පමණ ඉදිරිපත් කර තිබුණේ ආරක්ෂක හමුදා සාමාජික පවුල්වලිනි.

2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ එකඟ වූ පරිදි අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා රජය විසින් වෙනම කාර්යාලයක් 2017 දී පිහිටුවන ලද්දේය. (Office on Missing Persons).

එම කාර්යාලයේ ප්‍රධාන අරමුණක් වන්නේ අතුරුදහන් වූවන් පිළිබඳව තොරතුරු සොයා ගැනීමයි (Tracing of missing persons).

තවත් තොරතුරු;