ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය: අවසන් යුද්ධයේ දස වස් සැමරුම්

Image copyright Www.news.lk

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ත්‍රස්ත අභියෝගය "මුළුමනින්ම අතුගා දමා රට තුළ ස්ථීරසාර සාමයක් ස්ථාපිත කිරීමට අපගේ වීරෝධාර රණවිරුවන්ට හැකියාව තිබෙන," බවත් රටේ ස්ථීර සාමයක් සමග ස්වයංපෝෂිත ආර්ථිකයක් සහ ප්‍රජතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීමට සියලු දෙනා කැප විය යුතු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ, ඉරිදා (මැයි 19) පැවති රණවිරු උත්තම ප්‍රණාම සැමරුම් උත්සවයට එක්වෙමිනි.

"රටට ස්ථීර සාමය ලබාගෙන දස වසරක් සම්පූර්ණ වීමයි අද සමරන්නේ. මම ඔවුන් වෙත ප්‍රණාමය භක්තිය පිරිනමනවා. ඔවුන් ජීවිත පූජා කළේ මාතෘ භූමිය වෙනුවෙන්. ජීවත් වන ජනතාව ස්ථීර සාමය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින් ස්වෛරීත්වය පිළිබඳව තිබූ කැපවීම තුළයි, ජාතියේ අනාගතය වෙනුවෙන් ඔවුන් ජීවිත පූජා කළේ. ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයින් වෙනුවෙන් මගේ ගෞරවය පුද කරනවා. ඔවුන් සිහිපත් කරනවා. ආබාධිතව ජීවත් වන රණවිරුවන් වෙනුවෙන් ගෞරවය පිරිනමනවා," යනුවෙන් ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

යුද ගැටුම් නිමා වී දස වසරක් පිරීමේ සැමරුම් උත්සවය ඉරිදා පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය අසල පිහිටි ජාතික රණවිරු ස්මාරකය අබියසදී පැවැත්විණි.

Image copyright Www.news.lk
Image copyright Www.news.lk
Image copyright Www.news.lk
Image copyright Www.news.lk
Image copyright Www.news.lk

මුල්ලිවයික්කාල් සැමරුම

මේ අතර, යුද්ධයෙන් මිය ගිය දෙමළ ජනතාව සිහි කරමින් මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ පැවති සැමරුම දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ සෙනසුරාදා (මැයි 18) පැවැත්විණි.

යුද්ධයෙන් මියගිය ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු විය යුතු අතර, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් රජය සාධාරණ පරීක්ෂණ පැවැත්විය යුතු බව එම අවස්ථාවට සහභාගි වු උතුරු පළාතේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේශ්වරන් පැවසීය.

වැඩසටහනට එක්වු උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම් කේ ශිවාජිලිංගම් පැවසූවේ යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාවගේ ආත්මයට ශාන්තිය පතා සැමරුම් උත්සවය සංවිධානය කළ බවය.

යුද්ධයෙන් ආබාධිතවූවන් පිරිසක් ද සැමරුම් වැඩසටහනට එක්වෙමින් පහන් දල්වා, මල් පූජා කොට යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කළහ.

මුලතිව් ආරක්ෂක අංශ පැවසුවේ, පවතින ආරක්ෂක තත්ත්වය හේතු කොටගෙන සැමරුම් වැඩසටහන වෙනුවෙන් සහභාගි වන පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි ආරක්ෂාවක් යෙදූ බවය.

එම සැමරුම සංවිධානය කර තිබුණේ දෙමළ ජාතික සන්ධානය හා යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය විසිනි.

අවසන් යුද්ධයේ දස වස් සැමරුම්

මේ අතර, යුද්ධයෙන් මිය ගිය තම සහෝදර ජනතාව හා ඥාතීන් සිහි කරමින් වවුනියාව දමිළ ජනතාව අදාළ පිරිස් වෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීමේ 10 වන සැමරුම වැඩසටහන වවුනියාව සහායමාතාපුරම් ගණදෙවි කෝවිලේදී සෙනසුරාදා (මැයි 18) පැවැත්විණ.

එම අවස්ථාවට එක්වූවන් පැවසූවේ, යුද්ධයෙන් මිය ගිය තම ඥාතීන් සැමරීම හා අදාළ පිරිස් වෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම තුළින් තමන්ගේ චිත්ත පීඩාවන් දුරු කර ගැනීමට හැකි බවය.