"මම මුස්ලිම් වුණත් සිංහල තම්බියෙක්, අපිට කඩු මොකට ද?"

Image copyright Getty Images

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව නොයෙක් දෙනාගෙන් නොයෙක් ප්‍රකාශ නිකුත් විය.

එම ප්‍රකාශවලට ජාතික ආරක්ෂාවේ සිට නායකයන්ගේ වගකීම දක්වාත් බුර්කාවේ සිට කඩු කිනිසි දක්වාත් ප්‍රස්තුත සැපැයිණි.

ඇතැම් ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ලක් විය. වරෙක උපහාසයට ගොදුරු විය.

ඒ අතරින් විශේෂ අවධානයක් යොමු වූ කරුණු කිහිපයකි. ඉන් එක් කාරණයක් වූයේ බුර්කාව යි.

යුද්ධයක් නැති රටේ මෙතරම් කඩු කුමට ද? යන්න ජනතාව නැගූ තවත් පැනයකි.

මේ පිළිබඳව මුස්ලිම් ප්‍රජා නායකයන්ගෙන් සහ ආගමික නායකයන්ගෙන් විවිධ මත සහ අර්ථකතන ඉදිරිපත් විය.

නමුත් මාධ්‍ය ඉදිරියේ ඔවුන් දක්වන අදහස් සමස්ත මුස්ලිම් ප්‍රජාවගේ ම අදහස ද? එම ප්‍රකාශ සාම්ප්‍රදායික මුස්ලිම් ජනයා අනුමත කරන්නේ ද?

"සිංහල තම්බියෙක්"

කිහිප දෙනෙකු සමඟ කතා බහ කිරීමේ දී, ඊට හාත්පසින් වෙනස් අදහස් දරන මුස්ලිම්වරුන් ද ශ්‍රී ලංකාවේ සිටින බව දැන ගතිමි.

නමුත් බොහෝ දෙනා තම නම හෙළි කරමින් එය ප්‍රසිද්ධියේ කියා පෑමට මැලි වෙති.

"අපෝ බැහැ. මාව අපේ සමාජයෙන් කොන් වෙයි...., මටත් තර්ජන එයි..., මම මුස්ලිම් ජාතිය පාවා දුන්න කියල අපේ අය කියයි..."

නම හෙළි කරමින් එම අදහස් ලියන්නදැ'යි ඇසූ විට මට ලැබුණේ මෙවැනි පිළිතුරු ය.

මේ අතර නම ගම සහිතව තම අදහස් එළිදැක්වීමට නිර්භීත වූ මුස්ලිම් ප්‍රජා නායකයෙකු හමු විය.

Image copyright Msh mohamed/facebook
Image caption එම් එස් එච් මොහමඩ්

මහ ජාතිය

"ශ්‍රී ලාංකිකයෙක් හැටියට, සිංහල තම්බියෙක් හැටියට මම ගොඩක් දුක් වෙනවා. මම ඉගෙන ගත්තේ බෞද්ධ පාසලක. සිංහල යහළුවන්, සිංහල සංස්කෘතිය, බොදු සුවඳ. මේ හැම දෙයක් එක්කම තමයි මම ජීවත් වුණේ."

ඔහු නමින් එම් එස් එච් මොහමඩ් ය. මහරගම පිළිකා රෝහලට පෙට් ස්කෑනරයක් ලබා දීම සඳහා පුරෝගාමී වූයේ ඔහුය.

"මම ඉස්ලාම් භක්තිකයෙක් වුණත් ඒ බෞද්ධ සංස්කෘතිය සමඟ හැදිච්ච නිසා මම දන්නවා බෞද්ධයන්ගේ හදවත්. ඔවුන් ජාතිවාදීන් නොවෙයි. ඒ නිසා තමයි අපට අවුරුදු දහස් ගණනක් මෙහි ජීවත් වෙන්න ලැබුණේ."

"මේක පුණ්‍ය භූමියක්‌. සුළු ජාතිකයෝ භාග්‍යවන්තයෝ, මේ වගේ මහ ජාතියක් එක්ක මේ පුණ්‍ය භූමියේ ජීවත්වෙන්න ලැබීම."

බුර්කාව

සිය මව සහ පියා පිළිබඳව මතකය අවදි කරමින් ඔහු කියා සිටියේ ඔවුන් බෞද්ධ සංස්කෘතියට ගරු කරමින් ජීවත් වූ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් බවය.

"අපේ තාත්තට වැඩියෙන් ම හිටියේ සිංහල යාළුවො. මගේ අම්ම බුර්කාව ඇන්දේ නැහැ. සාරිය ඇඳලා සීදේවි මුහුණ එළියේ දාගෙන හිටියේ. සාරි පොටෙන් ම තමයි ඔලුව වසා ගත්තේ." ඔහු කතාවට අවතීර්ණ වූයේ ඒ ආකාරයට ය.

ඔහු මෙහිදී "බුර්කාව" ලෙසින් හඳුන්වන්නේ සම්පූර්ණ මුහුණ වැසෙන සේ ඇඳීම යි. මුස්ලිම් සමාජය මෙය වෙනත් නම් වලින් හඳුන්වන බව ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ පවතින බෞද්ධ සංස්කෘතිය තුළ තමන්ට ඉස්ලාම් ආගම ඇදහීමට කිසිදු තහංචියක් නොතිබුණු බවත් මෑතක සිට "මූලධර්මවාදී සුළු පිරිසක් උපරිමයට යාම නිසා මුස්ලිම් විරෝධී හඬක්" රට පුරා මතු වූ බවත් ඔහු පවසයි.

"මම හජ් වන්දනා 25ක් කරල තියෙනවා. මම නෝම්බි අල්ලනවා. පස්වේලේ සලාතේ ඉටු කරනවා. මේ බෞද්ධ සංස්කෘතිය තුළ අපට ආගම අදහන්න කිසිම බාධාවක් නැහැ."

අරාබි සංස්කෘතිය

නමුත් පසුගිය දශක දෙක තුළ බොහෝ මුස්ලිම්වරුන් රැකියා සඳහා මැදපෙරදිග යාමට පටන් ගත් හෙයින් ඔවුන් සමඟ අරාබි සංස්කෘතිය ශ්‍රී ලංකාව තුළට කෙමෙන් පැමිණෙන්නට පටන් ගත් බව මොහමඩ් ගේ අදහසයි.

"ඒක තමයි මේ ප්‍රශ්නවලට මුල." හෙතෙම පැවසීය.

මෙය අනුමත කරමින් සමාන අදහස් ප්‍රකාශ කළ තවත් ඉස්ලාම් භක්තිකයන් අතර රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ද මට හමු විය.

නමුත් තම නම ගම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටියේ තම සමාජයෙන් සහ මුස්ලිම් පල්ලියෙන් තමන්ට දැඩි බලපෑමක් එල්ලවිය හැකිය යන බිය නිසාය.

තමන්ගේ පවුලේ ඇතැම් උදවිය පවා තමන්ව කොන් කළ හැකි බවට ඔහු බිය පළ කළේය.

"මගේ බිස්නස් වලටත් කවුරුවත් උදව් කරන එකක් නැහැ. සිංහල ප්‍රජාවට වඩා මුස්ලිම් ප්‍රජාවෙන් ඇතිවන බලපෑම වෙනස්. පල්ලියේ නෝටිස් බෝඩ් එකෙත් නම වැටෙන්න ඉඩ තියෙනවා." ඔහු පැවසීය.

"මොකටද කඩු?"

කෙසේ නමුත් "මේ මොහොතේ ඇත්ත කතා නොකළහොත් සමස්ත මුස්ලිම් ප්‍රජාවට ම වන්දි ගෙවීමට සිදුවිය හැකි" බව ෆයිට් කැන්සර් කණ්ඩායමේ සභාපති එම් එස් එච් මොහමඩ් ගේ අදහසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී සොයා ගනු ලැබූ කඩු පිළිබඳව බීබීසී සිංහල සේවය විමසූ අවස්ථාවේ දී ඔහු කියා සිටියේ කඩු තබා ගැනීම නීතිවිරෝධී බවත් ඊට දැඩි දඬුවම් පැනවිය යුතු බවත් ය.

"මොකටද කඩු? අපේ මුස්ලිම් නායකයන් යැයි කියා ගන්නා ඇතැම් අය මාධ්‍ය ඉස්සරහට ඇවිත් විහිළු කරනවා. එක නායකයෙක් ඇවිත් කිව්වා කඩු තියෙන්නේ පල්ලියේ තණකොළ කපන්න කියල. තවත් එක්කෙනෙක් කියනවා ගැහැණු ළමයි ආරක්ෂා කර ගන්න කියල."

තමන් ද ගැහැණු දරුවන් කිහිප දෙනෙකුගේ ම පියෙකු වන බවත් තම නිවෙස තුළ කඩු නොමැති බවත් ඔහු පැවසීය.

"අවුරුදු දහස් ගණනක් සිංහල සහෝදරයෝ එක්ක ජීවත් වෙච්ච අපිට මොකටද කඩු? තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි. කඩු කිනිසි තබා ගැනීම නීති විරෝධීයි." මොහමඩ් ප්‍රකාශ කළේය.

වෙනත් න්‍යාය පත්‍රයන් අතැතිව කටයුතු කරන මුස්ලිම් ආගමික සහ දේශපාලන නායකයන් ශ්‍රී ලංකාවේ සිටින නමුත් සැබෑ මුස්ලිම් ජන නායකත්වයක් රටේ නොමැති වීම විශාල අඩු පාඩුවක් බවත් අද පවතින බොහෝ ප්‍රශ්නවලට එය හේතුවක් වී ඇති බවත් ඔහු අවධාරණය කරයි.

පසුගියදා පැවති මාධ්‍ය හමුවක දී බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවර අසාද් සාලි කියා සිටියේ කඩු සහිත කන්ටේනර් දහයක් රට තුළට ගෙන්වා ඇති බවය. ඒ පිළිබඳව කිසිවෙකු සොයා නොබලන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි.

"කාදිනල් තුමා පාප් වහන්සේ වේවා"

එම් එස් එච් මොහමඩ් තවදුරටත් අදහස් දක්වමින් "කාදිනල් තුමා හැම ජන කොටසකම ආදරය දිනා ගත්තා. උන් වහන්සේ හරි දේ කළා. අන්න ජන නායකයෝ. උන්වහන්සේ පාප් වහන්සේ වෙනවා දැකීම මගේ අහිංසක සිහිනයක්. මම අහන්නේ කව්ද මේ රටේ මුස්ලිම් ජන නායකයා?" යනුවෙන් ප්‍රශ්න කළේය.

"මගේ පෙට් ස්කෑන් ව්‍යාපෘතියට වැඩියෙන්ම ආධාර කළේ සිංහල බෞද්ධයෝ. මම තම්බියෙක් කියල අහක බැලුවේ නැහැ."

"අපි මුස්ලිම් කියල වෙනසක් නැහැ. අපි වාසනාවන්තයි. අපට ආගමික නිදහස තියෙනවා. ආර්ථික නිදහස තියෙනවා. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය. හැම දේටම නිදහස දීල තියෙනවා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය කවුරු කළත් මහා පාපයක්. අවුරුදු දහස් ගණනක් එකට ජීවත්වෙච්ච පවුලක් කඩල දැම්ම වගේ." ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් පසුගිය කලහකාරී සිදුවීම් අතර මුස්ලිම්වරුන් ආරක්ෂා කර ගැනීම සඳහා සිංහල බෞද්ධ ජනතාව කටයුතු ආකාරය පැසසිය යුතු බව ඔහු පවසයි.

"මේවා දේශපාලන ක්‍රීඩා. හානි වෙච්ච දේපළ අපිට හදා ගන්න පුළුවන්. පල්ලි හදා ගන්න පුළුවන්. ඒත් අහිංසක ජීවිත ආපසු ගන්න බැහැ. කතෝලික ජීවිත තුන්සිය ගණනක් නැති වුනා, ඒවා ආපසු දෙන්න පුළුවන් ද?"

"මුස්ලිම් පූජකවරුන්ට සිංහල බැහැ"

ජාතික සංහිඳියාව සඳහා භාෂා ප්‍රශ්නය දැඩි ලෙස බලපෑ ඇති බවත් ඒ තුළින් ජාතීන් අතර සැක සංකා මතුවීම වැළැක්විය නොහැකි බවත් මොහමඩ් පැවසීය.

"ලංකාවේ මුස්ලිම් පූජකවරුන් පනස් දාහක් විතර ඉන්නවා. සියයට අනූනමයකට ම සිංහල බැහැ. ඒක විශාල ප්‍රශ්නයක්." ඔහු ප්‍රකාශ කළේය.

මීට සමාන අදහසක් පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී හිටපු අමාත්‍ය ඉමිතියාස් බකීර් මාකර් ද ප්‍රකාශ කර තිබුණි.

ඔහු කියා සිටියේ මුස්ලිම් පාසල් තුළ සිංහල ඉගැන්වීම සඳහා ගුරුවරුන් ලබා දිය යුතු බවය.

එසේ නොවන තාක් කල් එවැනි පාසලකින් පිටවන ඉස්ලාම් දරුවන් "සිවුරට ගරු කරන්න දන්නේ නැහැ. කන්‍යා සොයුරියකට ගරු කරන හැටි දන්නේ නැහැ. පොට්ටුවට ගරු කරන්න දන්නේ නැහැ. කුරුසයට ගරු කරන්න දන්නේ නැහැ" යනුවෙන් ඔහු පැවසීය.

එමෙන්ම මද්‍රසා පාසල් නියාමනයකට යටත් කළ යුතු බව මාධ්‍ය හමුවක් අමතා දහස් දක්වමින් ජනාධිපති නීතිඥ අලි සබ්රි අවධාරණය කළේය.

පෙට්ටි කඩේට, වඩේ වෙළෙන්දට ගහන්න එපා

Image caption "ගමේ නගරයේ පෙට්ටි කඩේට, ලෑලි කඩේට, වඩේ වෙළෙන්දට, රෙදි වෙළෙන්දට ගහන්න එපා . පව්!"

පසුගිය දා ඇති වූ මුස්ලිම් විරෝධී ප්‍රහාරයන් පිළිබඳව විමසූ විට කදිජා පදනමේ සභාපති එම් එස් එච් මොහමඩ් තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ "අන්තවාදයට හොඳම පිළිතුර යහපත් මතවාදය" බවයි.

"සිංහල සහෝදරයන්ගෙන් එක ඉල්ලීමක් කරන්න ඕන. ගමේ නගරයේ පෙට්ටි කඩේට, ලෑලි කඩේට, වඩේ වෙළෙන්දට, රෙදි වෙළෙන්දට ගහන්න එපා . පව්! මේ අන්තවාදයට හෝ ජාතිවාදයට වගකිය යුතු ආගමික හෝ දේශපාලන නායකයෝ හොයාගෙන ගිහින් ඒ අයට දඬුවම් දෙන්න. මම රජයෙන් ඉල්ලා සිටින්නේ ඒකයි."

83 ජුලි කෝලාහලවලින් අනාථ වූ තරුණයන් දහස් ගණනක් කොටි සංවිධානයට බැඳීම නිසා, එතෙක් දුර්වල සංවිධානයක් ලෙස පැවති එය ඉතා ශක්තිමත් සංවිධානයක් බවට පත් වූ ආකාරය ඔහු සිහිපත් කළේය.

එම අතීතය හොඳින් දන්නා ශ්‍රී ලාංකිකයන් නැවතත් එම වරද නොකරන බවට ඔහු විශ්වාසය පළ කරයි.

"ජඩ දේශපාලනය"

පසුගිය දිනවල ඇති වූ කලහකාරී සිදුවීම් පිටුපස අදිසි දේශපාලන හස්තයක් පවතින බව ඔහුගේ මතයයි.

"බෝම්බ පිපුරුවේ 21 වැනිදා. ජාත්‍යාලයක් නම් පහුවදා ම ගහන්න පටන් ගන්නවා. මේක ප්ලෑන් එකක්. දේශපාලන ගේම් එකක්. ජඩ දේශපාලනය." මොහමඩ් පැවසීය.

එම් එස් එච් මොහමඩ් සමඟ කළ සාකච්ඡාවේ වීඩියෝ පටය අන්තර්ජාලයට මුදා හැරීමෙන් අනතුරුව එය අගය කරමින් විශාල පිරිසක් තම අදහස පළ කර තිබුණි.

ඒ අතර ඉස්ලාම් භක්තිකයෝ ද නොඅඩුව සිටිති.

රෝසේන් රෆායි නමැති කාන්තාව බීබීසී සිංහල ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත්තේ "සෑම මුස්ලිම්වරයෙකුම මෙසේ විය යුතු" බවය.

"රත්තරන් මුස්ලිම්වරයෙක්" යන අදහස පළ කර තිබුණේ ෆාතිමා සුල්ෆා ය.

මෙම අදහස් විස්තර කොට දැක්වීම පිළිබඳව අගය කරමින් ෆාතිමා හුස්නියා අනීෆ් සඳහන් කොට තිබුණේ "සුපිරි කතාවක් රටට විස්තර කිරීම ගැන ස්තුතියි" යනුවෙනි.

"නියම ශ්‍රී ලාංකික මුස්ලිම්වරයෙකු ගේ කතාවක්" ලෙස අසරාන් ඩීන් මෙය හඳුන්වා තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර