ශ්‍රී ලංකාවේ ප්‍රහාර: "මැති ඇමතිවරුන් පමණක් ආරක්ෂාව තර කර ගන්නවා. මහ ජනතාව වෙනුවෙන් ඉන්නේ කවුද?"

Image copyright Getty Images

පාස්කු ඉරිදා දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ ප්‍රහාර වැළැක්වීමට සහ රටේ ආරක්ෂාව සහතික කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අගමැතිවරයා ඇතුළු අදාළ වගකීම් දරන පුද්ගලයන් සියලු දෙනා වගකිව යුතු බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

එම පෙත්සම ගොනු කරනු ලැබ තිබෙන්නේ මාධ්‍යවේදී කසුන් පුස්සවෙල සහ නීතිඥ ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් විසිනි.

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව පුරා ස්ථාන කිහිපයකදී එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් 250කට අධික පිරිසක් මිය ගිය අතර තවත් 500කට අධික පිරිසක් තුවාල ලැබූහ.

රනිල් වික්‍රමසිංහ, මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, විදුලි බල අමාත්‍ය රවි කරුණානායක, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ක්‍රීඩා සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය හරින් ප්‍රනාන්දු ඇතුළු තවත් අමාත්‍යවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, ලේකම්වරුන් ඇතුළු 44 දෙනෙකු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

මොහොමඩ් සහරාන් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ හැකි යැයි සිතිය හැකි පුද්ගලයන් සය දෙනෙකුගේ නම් සහ ඔවුන්ගෙන් ඇතැමෙකු සැඟවී සිටින ස්ථාන පවා සඳහන් කරමින් රහස් ඔත්තු සේවා විසින් ළඟදී ම සිදුවන ප්‍රහාරයක් ගැන අනතුරු අඟවනු ලැබ තිබියදීත් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ඝාතනයට ලක් වූ 250කට අධික පිරිසගේ ජීවිත පිළිබඳව ආරක්ෂාව භාර ප්‍රධානීන් වගකිව යුතු බව අදාළ පෙත්සම්වල දැක්වේ.

"දැන දැන ම මේ රටේ 250කට අධික පිරිසක් ඝාතනය වෙන්න ඉඩ දීලා, ඒ වගේ ම 500කට අධික පිරිසක් තුවාල වෙන්න ඉඩ දීලා සිදු කළ අපරාධ වරද සම්බන්ධයෙන් තමයි මේ පෙත්සම ඉදිරිපත් කළේ," යැයි මාධ්‍යවේදී කසුන් පුස්සවෙල බීබීසී සිංහල සේවය සමග පැවසීය.

Image copyright Getty Images

අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ඇතුළු වගකිව යුතු නිලධාරීන් අවස්ථා කිහිපයකදී කියා සිටියේ මෙම ප්‍රහාර ගැන පෙර අනතුරු ඇඟවීම් ලැබුණු බවය.

පෙත්සම්වල අඩංගු කරුණු ගැන කෙටියෙන්

ප්‍රහාර සම්බන්ධයෙන් විදේශීය රාජ්‍යයක ඔත්තු සේවාවකින් තොරතුරු ලැබී තිබුණ ද ඒ සම්බන්ධයෙන් තමන් හෝ කැබිනට් මණ්ඩලය දැනුවත් නොකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය.

එමෙන් ම එම රහස් තොරතුරු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට ආරක්ෂක අංශ කටයුතු නොකළ බවට අමාත්‍ය රාජිත සේනාරත්න ද චෝදනා කළේය. මාස ගණනාවක් මුළුල්ලේ අගමැතිවරයා හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ජාතික ආරක්ෂක කවුන්සිලය වෙත කැඳවා නොතිබුණ බව ද අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේය.

ප්‍රහාර සිදුවන අවස්ථාවේ ජනාධිපතිවරයා පෞද්ගලික සංචාරයක් සඳහා රටින් බැහැරව සිටි අතර, අප්‍රේල් 23 වන දා දිවයිනට පැමිණීමෙන් පසුව ජනාධිපතිවරයා පැවසුවේ තමන්ට ද එම තොරතුරු දැනුම් දී නොතිබූ බවකි.

ප්‍රහාරයට පසු (අප්‍රේල් 23) ජාතිය අමතා අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ, "එම රාජ්‍ය ඔත්තු සේවාවට ලැබුණු තොරතුරු වගකිවයුතු ප‍්‍රධාන නිලධාරීන් විසින් මා වෙත ද ඉදිරිපත් නොකළ බව මා විසින් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මෙම තොරතුරු ලැබීම පිළිබඳ මා දැනුවත් කළා නම් ඒ පිළිබඳ වහා කි‍්‍රයාමාර්ග ගැනීමට පුළුවන්කම තිබුණා," යනුවෙනි.

ආරක්ෂක අමාත්‍ය පදවිය ද හොබවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ත්‍රිවිධ හමුදා අණ දෙන නිලධාරියා ද වේ.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු ප්‍රහාරය සිදුවූ දින බීබීසී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ, තමන්ට අනතුරු ඇඟවීම ලැබුණු නමුත්, එය මෙතරම් බරපතළ වේ යැයි නොසිතූ බවය.

මේ අතර, ශ්‍රී ලංකාව තුළ ප්‍රහාරයක් සිදු විය හැකි බවට අනතුරු අඟවමින් අප්‍රේල් 11 වන දා බුද්ධි අංශ විසින් නිකුත් කරන ලදැයි සඳහන් ලිපියක ඡායාරූපයක් සමාජ ජාල ඔස්සේ හුවමාරු විය.

"ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් මරාගෙන මැරෙන ප්‍රහාර සංවිධානය කිරීමට සැරසෙන බව සඳහන් කරමින් ශ්‍රී ලංකා බුද්ධි අංශ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. අදාළ වාර්තාව ලැබුණු සැණින් ක්‍රියාත්මක වී ආරක්ෂාව තර කළ යුතුව තිබිණි," යැයි ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් සහ කසුන් පුස්සෙවෙල ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් වේ.

"ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු අයිඑස් (IS) සංවිධානයට එකතු වී, පුහුණුව ලබා නැවත දිවයිනට පැමිණ ඇති බවට තොරතුරු ලැබී තිබුණු බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. නමුත් ඒ කිසිවෙකුට විරුද්ධව නීතිමය පියවර ගැනීමට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු සියලු පාර්ශව දැඩි ලෙස අපොහොසත් වී තිබේ."

නීතිඥ ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් වන්නේ, "විදෙස් ත්‍රස්තවාදී සංවිධානයකට අයත් පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අදාළ නීති සම්පාදනය වී නොමැති බව අගමැතිවරයා ප්‍රකාශ කිරීම වගකීම් රහිත ක්‍රියාවක්," බවය.

Image copyright Getty Images

ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පැහැදිලි නීති පවතින බව ද පෙත්සමේ දැක්වේ.

"අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 (1) වගන්තියට අනුව, සාමය කඩ කිරීමක යෙදෙන තැනැත්තෙකු, හෝ පැහැදිලිව දැකිය හැකි යම් වරදකට සම්බන්ධ වූ තැනැත්තෙකු, එසේ සම්බන්ධ බවට යම් තැනැත්තෙකුට විරුද්ධව සාධාරණ පැමිණිල්ලක් ලැබී තිබේ ද නැතහොත් ඒ බවට යම් තැනැත්තෙකුට විරුද්ධව විශ්වාස කටයුතු තොරතුරු ලැබී තිබේ ද, නැතහොත් ඒ බවට යම් තැනැත්තෙකු සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතී ද, එම තැනැත්තා වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට සාම නිලධාරියෙකුට හැකියාව ඇත."

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළක්වීමේ පනතෙහි 6 (1) (අ) වගන්තිය ද මෙම කාරණාවට අදාළ නීති සපයන බව පෙත්සමේ තවදුරටත් සඳහන් වේ.

රහස් තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාර වළක්වා ගැනීමට අපොහොසත් වීම මගින් ජනාධිපති, අගමැති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් සිය මූලික හිමිකම් උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් මින් පෙර ද මාධ්‍යවේදී කසුන් පුස්සවෙල ජාතික මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් යොමුකර තිබිණි.

"අපි මේ රටේ වැඩි ම බදු මුදල් ප්‍රමාණයක් වෙන් කරන්නේ ජාතික ආරක්ෂාවට. මැති ඇමතිවරුන් පමණක් ඔවුන්ගේ ආරක්ෂාව තර කර ගන්නවා. ඔවුන්ට වෙඩි නොවදින නිල රථ ගෙන්වනවා කෝටි ගණන් වියදම් කරගෙන. හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් ද ඔවුන්ගේ ආරක්ෂාව සපයා ගන්නවා. එතකොට මහ ජනතාව වෙනුවෙන් ඉන්නේ කවුද?" කසුන් පුස්සවෙල ප්‍රශ්න කළේය.

"ප්‍රහාරය ගැන දැනගෙන සිටියා වගේ ම, එයින් පසුවත් ජාතීන් අතර අසමගිය, බෙදීම් ඇති වෙන්න ඉඩ හැරලා තිබෙනවා. ශ්‍රී ලාංකීය ජාතිකත්වයක් ගොඩ නගන්න අවශ්‍ය කටයුතු කරනවා වෙනුවට අපිව ජාතීන් සහ ආගම්වලට බෙදා තිබෙනවා."

"එක ම පාලකයෝ ටික හැම ආණ්ඩුවකින් ම පත් වෙනවා. ඔවුන් අපිව උගසට තබමින්, අපේ ජීවිත නොවටිනා විදියට සලකා තිබෙනවා."

"මේ වගේ දෙයකදී ඔවුන්ට වැය වෙන්නේ උණ්ඩයක්, ඒ උණ්ඩයටත් ඔවුන්ට රුපියලක හෝ කොමිස් මුදලක් ලැබෙන්න පුළුවන්. නමුත් අපිට නැති වෙන්නේ මනුෂ්‍යත්වය, මිනිස් ජීවිත, මිනිසුන් අතර ආදරය. මේක තේරුම් අරගෙන මිනිස්සු පාට, පක්ෂවලට නොබෙදී, මේ තත්ත්වයට වගකිව යුතු දේශපාලනඥයන්ට විරුද්ධ වෙන්න ඕනේ," ඔහු තවදුරටත් පැවසීය.

අදාළ පෙත්සම් විභාගයට ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන්ට දැනුම් දෙනු ඇත.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ මංජුල බාලසූරිය, කනීල් මද්දුමගේ ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටිති.