ඉන්දීය මැතිවරණය: මෝදිගේ ඉන්දියාව ශ්‍රී ලංකාවට බලපාන හැටි

Image copyright Reuters

ඉන්දියාව ලෝක ශිෂ්ඨාචාරයේ තොටිල්ල යයි ආචාර්ය ඒ. එල්. බෂාම් 'අසිරිමත් ඉන්දියාව' (The Wonder that was India) නම් සිය සුප්‍රකට කෘතියෙහි ලියා තබා වසර හැට පහක් ගත විය.

එම ඉන්දීය තොටිල්ල පැදවීමේ හස්තය තවත් වතාවක් අගමැති නරේන්ද්‍ර අගමැති මෝදි වෙත පැවරෙනු ඇති හැඩක් මූලික ප්‍රතිඵල අනුව පෙනී යයි.

India Election 2019
අවසන් ප්‍රතිඵලය
අවසන් යාවත්කාලීනවීම:
13:11 ඉන්දීය සම්මත වේලාව
350
bjp+
85
inc+
107
Others
මූලාශ්‍රය: ඉන්දීය මැතිවරණ කොමිසම
අවසන් යාවත්කාලීනවීම: 13:11 ඉන්දීය සම්මත වේලාව
මූලාශ්‍රය: ඉන්දීය මැතිවරණ කොමිසම

ඉන්දියාව ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යය ලෙස සැලකෙයි.

මෝදිගේ නව ඉන්දියාව ශ්‍රී ලංකාවේ සහ කලාපයේ වෙනත් රටවල් සම්බන්ධයෙන් අනුගමනය කිරීමට ඉඩ ඇති නව පිළිවෙත කුමක්ද? එය තීන්දු කෙරෙන්නේ කවර සාධක සැලකිල්ලට ගනිමින්ද?

ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය තීන්දු කෙරෙන්නේ භූගෝලීය සාධක අනුවය යන්න ප්‍රසිද්ධ කියමනකි.

කලාපීය බලවතකු වශයෙන්

"චීනය, ඉන්දු උපමහාද්වීපය පුරා එළමින් ඇති ආර්ථික දැල සම්බන්ධයෙන් නව දිල්ලිය ඇස ගසා ගෙන සිටින්නේය" යන්න බේජිං බලධාරීන්ට වුවද කිසිදාක රහසක් නොවූ ප්‍රසිද්ධ කාරණයකි.

"එය ශ්‍රී ලංකාවේ පමණක් නොව කලාපයෙහි නේපාලය, බංග්ලාදේශය සහ මාල දිවයින වැනි වෙනත් රටවලත් සිදු කෙරෙමින් පවතින චීන ආයෝජන සහ වෙනත් ක්‍රියාකාරකම් කෙරෙහි යොමු වෙමින් පවතින දැඩි කණස්සල්ල මුසු පසමිතුරු අවධානයකට වඩා ඉන් එපිට ගිය විරෝධාත්මක දේශපාලනයක් සහ ආර්ථික උපාය මාර්ගයක් සහිත ඉන්දියානු පිළිවෙතකට මග සලසා ඇත," යන්න බොහෝ දේශපාලන විචාරකයන්ගේ තේරුම් ගැනීම වෙයි.

Image copyright Getty Images
Image caption මෙවර ඉන්දීය මහ මැතිවරණය සඳහා කෝටි අනූවක ඡන්දදායකයෝ සුදුසුකම් ලැබ සිටියහ

මෑත මාසවල එම අදහස තහවුරු කෙරුණු එක් අවස්ථාවක් වුණේ මාලදිවයිනේ ජනාධිපතිවරණයේ දී චීන උපායමාර්ගයන් පරාජය කරමින් සිය කලාපීය දේශපාලන බල වූවමනාව මුදුන්පත් කර ගැනීමට ඉන්දියාව සමත් වූ ආකාරයයි.

එම සන්දර්භය තුළ වසර හතරක් තරම් අතීතයට ගොස් ශ්‍රී ලංකාව දෙස බලන විට, 2015 ලංකාවේ ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කොට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හැටියට මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒම පිටුපස ඉන්දියාව විසින් ඉටු කරන ලද කාර්යභාරයක් ඇති බවට දේශපාලන විශ්ලේෂකයන් විසින් ඉදිරිපත් කරනු ලබන මතාන්තර පහසුවෙන් බැහැර කළ හැකිද?

එය හුදෙක් එවකට ජනාධිපති ධූර අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අගමැති නරේන්ද්‍ර මෝදිගේ උඩුකය වැස්ම අනුකරණය කිරීම වෙනුවෙන් දෙන ලද "දේශපාලන ත්‍යාගයකට " පමණක් ලඝු කළ හැකිද? එසේ නැත්නම් හිටපු ජනාධිපති රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අයෝජන ව්‍යාපෘතීන්හිදී අපාලිත වේගයකින් චීනය දෙසට ධ්‍රුවීකරණය වීම සම්බන්ධයෙන් ඉගැන්වූ "දේශපාලන පාඩමක්"විය නොහැකිද ? යන්න කෙනෙකු විසින් මතු කිරීමට ඉඩ ඇති ප්‍රශ්නයකි.

2018 ඔක්තෝබර් ප්‍රතිචාරය

ලෝකයේ කිසිදු රාජ්‍යයක් 'තමන් සෙසු රටවල දේශපාලනය හෝ ආර්ථිකය කෙරෙහි අනිසි බලපෑමක් කරන' බවක් කිසිදාක පිළිගන්නේ නැත.

එහෙත් බලවත් රටවල් විසින් සිය කලාපය තුළත් ඉන් නොනැවතී ඔවුන්ට අවශ්‍ය නම් ඇතැම්විට ඉන් පිටතත් සිය බල පරාක්‍රමය පාවිච්චි කරමින් ලෝකය පුරා බලපෑම් කරනු ලැබීම ඔවුන්ගේ වූවමනාව සහ පුරුද්දය.

එම යථාර්ථය අනුව බලන විට ඉන්දියාව උප මහාද්වීපයේ ඇති කරන බලපෑම යනු අද වනවිට විශාල දේශපාලන සාහිත්‍යයක් පවා නිර්මාණය කිරීමට හේතුවෙන තරමින් මහා පරිමාණයෙන් සංවාදයට පාත්‍ර වූවකි.

Image copyright Getty Images
Image caption ගාන්ධි පවුලේ සාමාජිකයන් කොංග්‍රස් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ

2018 ඔක්තෝබර් මාසයේදී ජනාධිපති සිරිසේන විශ්මයජනක පියවරක් ගනිමින් හිටපු ජනාධිපති රාජපක්ෂ අගමැති පදවියේ පිහිටුවන ලද මොහොත මෝදිගේ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ දේශපාලන හැඩගැසීම් කෙරෙහි බලා සිටින ආකාරය ඉස්මතු කෙරෙන ආසන්න අවස්ථාවකි.

"අපේ අසල්වැසි ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු තබමු. ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී ජනතාවට අපගේ සංවර්ධන ආධාර දිගටම හිමිවනු ඇත. ශ්‍රී ලංකාවේ මෑත සිදුවූ දේශපාලන හැඩගැසීම් කෙරෙහි අපි අවධානයෙන් සිටිමු," යනුවෙන් එදා ඉන්දීය විදේශ අමාත්‍යංශය මගින් නිකුත් කරන ලද ප්‍රකාශනයක සඳහන් විය.

දිල්ලි බලධාරීන්ගේ එම ප්‍රකාශය මගින් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන හැඩගැසීම් සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන උනන්දුව ඉස්මතු කරයි.

කෙසේවුවද, එවැනි උනන්දුවීම් ජාත්‍යන්තරය තුළ මතුපිටට පැමිණ ප්‍රදර්ශනය වන්නේ මෑත වසරවල අසල්වැසි රටවල සිදු කෙරෙමින් පවතින චීන මැදිහත්වීම් ඉහළ යාමත් සමඟ එම රටවල ඉන්දියානු භූමිකාව අතින් වඩාත් බලවත් තරඟකරුවකු මුණ ගැසීමත් සමඟය.

ඉහළ යන ඉන්දු-චීන වෙළෙඳාම

එහෙත් ලෝකය දිනෙන් දින වඩාත් සංකීර්ණ වෙමින් පවතින වකවානුවක 'ආණ්ඩුවක් සහ ආණ්ඩුවක් අතර පවතින සාම්ප්‍රදායික ගනුදෙනු මගින් පමණක් දෙරටක් අතර අනාගත සම්බන්ධතා නිර්වචනය කිරීම යථාර්ථය හඳුනා ගැනීමක් නොවේ'.

Image copyright EPA
Image caption මෙවැනි ඡන්දදායකයන් කෝටි අනූවක්

"මේ අනුව ඉන්දියාවේ කුමන පක්ෂයක ආණ්ඩුවක් බලයට පත්වන්නේද යන්න නොව ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ තමන් විසින් අනුගමනය කරනු ලබන විදේශ ප්‍රතිපත්තිය බව" ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් පවසයි.

"2015 පසුව ඉන්දු - ශ්‍රී ලංකා වෙළෙඳ සම්බන්ධතාවල යහපත් වර්ධනයක් පෙන්නුම් කෙරෙනවා. ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාල පරිමාණයේ ආයෝජකයෙක්. ලෝක මට්ටමින් බලන විට ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රමාණය අතින් හතරවැනි ස්ථානය ලැබෙන්නේ ඉන්දියාවට. දෙරට අතර වෙළෙඳාමත් ඉහළ මට්ටමක පවතිනවා. මේ අනුව අද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩනැගෙමින් පවතින්නේ ප්‍රධාන වශයෙන් වෙළෙඳාම මුල්කර ගත් සම්බන්ධයක්," ආචාර්ය අතුලසිරි සමරකෝන් බීබීසී සිංහල සේවය කළ විමසීමක දී සඳහන් කළේය.

"අතීතයේ ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය ගැන කතා කිරීමේ දී බොහෝදෙනා කතා කළේ ඉන්දීය ආධිපත්‍යය කියන සැකයක් සිතේ තබාගෙනයි. ශ්‍රී ලංකාවට අදාළ ඉන්දියානු පිළිවෙතත් ඇතැමුන් තක්සේරු කළේ ඒ සැකය උඩ පිහිටාගෙනයි. ඒත් අද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලවතා සහ දුබලයා අතර පවතින සම්බන්ධයක්ය යන දෘෂ්ඨි කෝණයෙන් තවදුරටත් බලන්න බැහැ."

එවැනි තත්ත්වයක් යටතේ බලයේ සිටින්නේ කොංග්‍රස් පක්ෂයද? නැත්නම් භාරතීය ජනතා පක්ෂයද? යන්න අනුව ශ්‍රී ලංකාව සම්බන්ධ ඉන්දියානු පිළිවෙත තීන්දු නොවන අතර, එය ඉන්දියාව අනුගමනය කරන පොදු විදේශ පිළිවෙතට අනුගත කාරණයක් යන්න ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන්ගේ විග්‍රහය වෙයි.

තමන්ට හිතවත් ආණ්ඩු හදා ගැනීම

ශ්‍රී ලංකාව තුළ චීන ආයෝජන සඳහා විශාල දොරටුවක් විවෘතකර දීම නිසා කොළඹ පාලනය සම්බන්ධයෙන් ඉන්දියානු ආකල්පයේ වෙනසකට හේතු වී ඇද්දැයි විමසීමක් කළ විට ඊට පිළිතුරු දුන් ආචාර්ය සමරකෝන් එම අදහස බැහැර කරන ලද්දේ, "එය නිවැරදි නොවන පැරණි ජනප්‍රිය අදහසක්" හැටියට විග්‍රහ කරමිනි.

Image caption රාහුල් ගාන්ධි අගමැති කිරීමේ ප්‍රයත්නය

"ඉන්දියාව වුනත් චීන ආයෝජනවලට විරුද්ධ නැහැ. එක පැත්තකින් ඉන්දියාව සහ චීනය අතරත් වෙළෙඳ සබඳතා වර්ධනය වෙමිනුයි පවතින්නේ. අනිත් අතින් ශ්‍රී ලංකාවේ චීන ආයෝජනවලට බාධා කිරීමට ඉන්දියාවට වූවමනාවක් නැහැ. මෙතැනදී ඉන්දියාවට ප්‍රධාන වන්නේ ඔවුන්ගේ ආරක්ෂක මූලෝපායන්ට ශ්‍රී ලංකාව විරුද්ධ වෙනවාද යන්න පමණයි."

කෙසේවුවද බලවත් රාජ්‍යයන් අතර කලාපයේ පවතින බල තරඟය ප්‍රතික්‍ෂේප නොකරන ආචාර්ය අතුලසිරි සමරකෝන්, එහෙත් දක්නට ලැබෙන ඉන්දු- චීන තරඟය 'චීනය සහ ඇමෙරිකාව අතර පවතින බලය ප්‍රදර්ශනය කිරීමේ මට්ටමට නොගිය හුදෙක් වාණිජ සහ ආයෝජන ක්‍ෂේත්‍රයට පමණක් සීමා වූවක් වන බවත් සඳහන් කළේය.

මේ අනුව හම්බන්තොට වරාය චීනය විසින් බදු ගැනීම සහ මත්තල ගුවන් තොටුපළ සඳහා ආයෝජනය කිරීමට ඉන්දියාව ඉදිරිපත් වීම මගින් සංකේතවත් කෙරෙන්නේ බලවතුන් දෙදෙනාම ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට දක්වන මනාපය බව ඔහු පැවසීය.

මෙහිදී වැදගත් වන්නේ, "ඉන්දියාවේ බලයේ සිටින්නේ කුමන දේශපාලන පක්ෂයද? එසේත් නැත්නම් ශ්‍රී ලංකාවේ බලයේ සිටින්නේ කවර දේශපාලනඥයාද? යන්න නොව ශ්‍රී ලංකාව අනුගමනය කරන මැදහත් විදේශ පිළිවෙතය" බව ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඔහු කථිකාචාර්යවරයා අවධාරණය කරයි.

Image copyright AFP
Image caption භාරතීය ජනතා පක්ෂයේ ප්‍රචාරක රැළියක්

ශ්‍රී ලංකා දමිළ සහ ඉන්දියානු සම්භවයක් සහිත දමිළ සුළු ජාතික ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්න කෙරෙහි මෙන්ම පොදුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ද ඉන්දියාව අතීතයේ පටන්ම අවදානය යොමු කරන අතර, එම කරුණු මුල්කර ගනිමින් ඇතිකර ගන්නා ලද ගිවිසුම් පවතින බව සඳහන් කරන ආචාර්ය අතුලසිරි සමරකෝන්, ආර්ථික වශයෙන් නිදහස් වෙළෙඳපොළ පිළිවෙතක් සහ දේශපාලනමය වශයෙන් නිදහස් විදේශ පිළිවෙතකුත් අනුගමනය කරනු ලබන ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ බලයේ සිටිනු දැකීමට අගමැති මෝදි පමණක් නොව අනාගතයේ බලයට පත්වෙන ඉන්දියාවේ වෙනත් ඕනෑම පාලකයකු වුවද මනාප විය හැකි බවත් පෙන්වා දෙයි.

තවත් පුවත්;