බොදු බල සේනා සංවිධානයේ ඥානසාර හිමි ජනාධිපති සමාව යටතේ නිදහස ලබයි

Image copyright Getty Images

අධිකරණයට අපහාස කළ බවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි බන්ධනාගාරයෙන් පිටව ගිය බව බලධාරීහු තහවුරු කරති.

ජනාධිපති සමාව යටතේ උන්වහන්සේ නිදහස් කරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් ලැබුණු බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය.

නිදහස ලැබීමෙන් අනතුරුව ආරක්ෂාව පිණිස එහිමියන් බන්ධනාගාරයේ පසුපස දොරෙන් පිටව ගිය බව බීබීසී සිංහල සේවය සමඟ කියා සිටි බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ, ඉන් අනතුරුව එහිමියන් ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියන් වැඩවසන විහාරස්ථානය වෙත පැමිණි බවත් පැවසීය.

බ්‍රහස්පතින්දා (මැයි 23) සවස් යාමයේ එහිමියන් සිය විහාරස්ථානය වෙත පැමිණීමට නියමිත බවත් කථිකාචාර්ය දිලන්ත විතානගේ සඳහන් කළේය.

අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු 08 වෙනිදා වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6 කින් ගෙවී යන සේ දඬුවම් නියම කෙරිණි.

නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා පත්‍රය ඉදිරිපත් කරනු ලැබ තිබුණේ හෝමාගම අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත්වරයෙකු මෙන්ම වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් අභියාචනාධිකරණයට කරන ලද පැමිණිල්ලකට අනුවය.

එම චෝදනාවලින් සඳහන් කර තිබුණේ, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුව 2016 වසරේ ජනවාරි මස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී, අධිකරණ භූමිය තුළ කලහකාරී ආකාරයෙන් හැසිරීම මගින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම සහ රජයේ නීතිඥවරුන්ට අපහාසයක් සිදු කර ඇති බවය.

වගඋත්තරකාර ඥානසාර හිමි සඳහන් කර තිබුනේ තමන් වහන්සේ එම චෝදනාවලට නිවැරදිකරු බවය.

ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඇතැම් බෞද්ධ භික්ෂූන් මෙන්ම දේශපාලනඥයන් අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි. ඥානසාර හිමි බන්ධනාගාරගත කිරීම දේශපාලන අරමුණක් මත සිදුවූවක් බවට ද චෝදනා එල්ල විය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර