රිෂාඩ් බදියුද්දීන්: මේ කවුද? මොනවද වෙන්නේ?

Image copyright Rishad bathiyudeen/Facebook

අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් යනු කවරෙක්ද? ඔහුට එල්ල වන චෝදනා මොනවා ද? ඔහුට එරෙහි වන්නෝ කවරහු ද? චෝදනාවලට මුහුණ දීමට ඔහු සුදානම් ද?

ඔහුට එරෙහි එරෙහි විශ්වාසභංග යෝජනාව ජූනි මස 18 සහ 19 යන දිනවල විවාදයට ගැනීමට තීරණය කළ බව කතානායක කරු ජයසුරිය බ්‍රහස්පතින්දා (මැයි 23) දැනුම් දුන්නේය.

විශ්වාසභංග යෝජනාවේ අඩංගු ප්‍රධාන චෝදනා:

  1. 2019 අප්‍රේල් 21 වන දා කිතුනු දේවස්ථාන සහ හෝටල් ඇතුළු ස්ථාන 9 කට එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් නිදහස් කරන මෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාපතිවරයාට බලපෑම් කරනු ලැබූ බවට හමුදාපතිවරයා විසින් 2019 මැයි 5 වන දින සිළුමිණ පුවත්පතට කරනු ලැබූ ප්‍රකාශය.
  2. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරනු ලැබූ ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් සතුව තිබූ කර්මාන්ත ශාලාවට සම්මතයට පටහැනිව කර්මාන්ත සහ වාණිජ අමාත්‍යාංශයෙන් හිස් පතොරම් කොපු සැපයීම.
  3. බෝම්බ නිෂ්පාදනය කිරීමට කටයුතු කළ බවට සැක කරන එකී කම්හලේ සේවකයන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් නොකර 2019.05.06 දින ඔවුන්ට ඇප ලැබීමට සැලැස්වීමෙන් දේශපාලන බලපෑමක් කර ඇති බවට සාධාරණ සැකයක් මතු වේ.
  4. රිෂාඩ් බදියුද්දීන් අමාත්‍යවරයා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ භාණ්ඩාගාරික වන එස්. කේ. පී. අලහුඩීන් ත්‍රස්ත ප්‍රයත්නයන් පිළිබඳ යථා තොරතුරු ගැන දැන සිට එය බලධාරීන්ට හෙළි නොකර සිටීමෙන් ත්‍රස්තවාදය වැළැක්වීම පනතේ විධිවිධාන ප්‍රකාරව නීතිමය කටයුතු කළ හැකිව තිබියදී එසේ නොකිරීම.
  5. අමාත්‍යවරයාගේ ප්‍රබල හිතවතෙකු වන අල්හාජ් මොහොමඩ් ඊබ්‍රාහිම් යුසුෆ් ඊබ්‍රාහිම්ගේ පුතුන් දෙදෙනෙකු මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් ලෙස කටයුතු කිරීම.
  6. සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ද වන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි අබ්දුල් හනුත් ත්‍රස්තවාදී සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීම.
  7. අමාත්‍යවරයාගේ උපදේශකයෙකු වශයෙන් පෙනී සිටින මවුලවිවරයෙකු ත්‍රස්තවාදී සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීම.
  8. අමාත්‍යවරයාගේ සහෝදරයෙකු වන රිෆ්කාන් බදියුද්දීන් යුද්ධ හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු මන්නාරම පොලීසියට භාර දීමෙන් පසු උසාවියට ඉදිරිපත් නොකර බලපෑම් මත නිදහස් කිරීම.
  9. පාස්කු ඉරු දින ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයන්ට අමාත්‍යවරයා අනිසි බලපෑම් කරන බවට ආරක්ෂක හමුදා සහ පොලීසියේ නිලධාරීන් පවසන තොරතුරු මත සමාජයේ ප්‍රබල මතයක් මතු වී තිබීම.
  10. අමාත්‍යවරයාගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කිරීමට පොලීසිය මෙතෙක් අසමත් වීමෙන් එතුමා විසින් අමාත්‍ය ධූරය දැරීම විමර්ශනවලට බාධාවක් බව පෙනී යයි.

නමුත් බදියුද්දීන් අමාත්‍යවරයා පවසන්නේ තමා ඕනෑ ම චෝදනාවකට මුහුණ දීමට සුදානම් අතර එම චෝදනා නිවැරදි නොවන බව ඔප්පු කිරීමට සුදානම් බවය.

කවුද මේ රිෂාඩ් බදියුද්දීන්?

  • 2010 වසරේ සිට කර්මාන්ත සහ වාණිජ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්, සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ (All Ceylon Makkal Congress) නායකයා වේ.
  • වන්නි දිස්ත්‍රික්කයෙන් 2001 වසරේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ප්‍රථමයෙන් පාර්ලිමේන්තුවට පිවිසියේය.
  • ඔහු විසින් 2005 වසරේදී සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂය පිහිටුවා ගන්නා ලද අතර මේ වන විට පාර්ලිමේන්තු ආසන පහක් ඔවුන් සතුය.
  • විල්පත්තු රක්ෂිතය අවට මුස්ලිම්වරුන් පදිංචි කළ බවට ඇතැම් පරිසරවේදීහු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්ට චෝදනා එල්ල කරති. නමුත් අමාත්‍යවරයා පවසන්නේ යුද ගැටුම් හේතුවෙන් පලා ගිය ජනතාව යුද්ධය අවසානයේ යළි සිය ගම්බිම්වල පදිංචි වූ බවය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ 2019 අප්‍රේල් පාස්කු ඉරු දින ප්‍රහාරයන්ට සම්බන්ධ කණ්ඩායම සමග සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා කරමිනි.

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 63 දෙනෙකු අත්සන් තබා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල සහ නිශාන්ත මුතුහෙට්ටිගමගේ ඊට අත්සන් තබා ඇත.

එසේ ම එක්සත් ජාතික පක්ෂයේ අතුරලියේ රතන හිමි, ආනන්ද අලුත්ගමගේ සහ අශෝක ප්‍රියන්ත මෙන් ම ද්‍රවිඩ ජාතික සංවිධානයේ එස්. විලයාන්දරන් ද ඊට අත්සන් තබා තිබිණි.

අදාළ සියලු චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් කැබිනට් මණ්ඩලය හමුවේ විශේෂ ප්‍රකාශයක් කළ බව අමාත්‍ය නවීන් දිසානායක පසුගිය දා මාධ්‍ය හමුවේ සඳහන් කළේය. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා සිටින්නේ නම් පදවියෙන් ඉල්ලා අස්වීමට සූදානම් යයි ඔහු පැවසූ බව ද මාධ්‍ය වාර්තාවල දැක්විණ.

මෙම විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පෙරමුණ පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් බදාදා (මැයි 22) කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවසීය.

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් සැදුම්ලත් තේරීම් කාරක සභාවක් මගින් ඇමතිවරයාට එරෙහිව ඇති චෝදනා විමර්ශනය කිරීමට එක්සත් ජාතික පෙරමුණ අදහස් කර තිබේ.

එම කාරක සභාවට 12 දෙනෙකු ඇතුළත් විය යුතුය.

නමුත් මෙම කාරක සභාවට සහභාගී නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දන්වා තිබේ.

රිෂාඩ් බදියුද්දීන් අමාත්‍යවරයා සිදුකර ඇතැයි සැලකෙන හොරකම් සහ දූෂණ පිළිබඳ තොරතුරු සියල්ල විශ්වාසභංගයේදී හෙළි කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක බ්‍රහස්පතින්දා (මැයි 23) කොළඹදී පැවසීය.

මේ අතර, බදියුද්දීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය නොදී තම මන්ත්‍රීවරුන් ගමට නොපැමිණිය යුතු බවට දැක්වෙන පෝස්ටර් රටේ විවිධ ප්‍රදේශවල ප්‍රදර්ශනය කෙරෙන බව සමාජ මාධ්‍යවල දැකිය හැක.

මේ තොරතුරුත් කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර