ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත්ගෙන් දිළිඳු පවුල් දෙකකට නිවාස

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ දඟ පන්දු යවන ක්‍රීඩකයෙකු වන රංගන හේරත් ශ්‍රී ලංකාවේ දිළිඳු පවුල් වෙනුවෙන් ද සිය මෙහෙවර ඉටු කිරීම සඳහා ඉදිරිපත් වී සිටී.

ඒ, සිය මූල්‍ය දායකත්වය යටතේ වන්නි ආරක්ෂක සේනා බල ප්‍රදේශයේ ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් දෙකක් වෙත ස්ථිර නිවාස ඉදිකර දීමට මුල පුරමිනි.

අදාළ නිවාස දෙක ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම සෙනසුරාදා (මැයි 25) රංගන හේරත්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නව නිවාස දෙක 21 වන සේනාංක බල ප්‍රදේශයේ මැදවච්චිය අගුනොච්චිය ලිපිනයේ පදිංචි එස් සංජීව සිරිසේන සහ 56 වන සේනාංක බල ප්‍රදේශයේ වව්නියාව දිස්ත්‍රික්කයේ පදිංචි කේ ඒ එස් සරත් තිලකරත්න වෙත ලබා දීමට නියමිතය.

වන්නි ආරක්ෂක ‍සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරාගේ මෙහෙයවීම යටතේ දෙවන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ හත් වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වය මත අදාළ නිවාස ඉදිකිරීමට නියමිතය.

රංගන හේරත්

රංගන හේරත් ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩි ම කඩුලු ලාභීන් අතර 10 වන ස්ථානයේ පසු වෙයි. ඊට අමතරව ලෝකයේ වැඩි ම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙළූ වමත් පන්දු යවන්නා ද ඔහුය.

Image copyright Getty Images

ටෙස්ට් තරග 93කට පමණක් ක්‍රීඩා කර ඇති රංගන හේරත් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 433කි.

1999 වසරේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වූ ඔහු 2018 වසරේදී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගත්තේය. ඔහු එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගත්තේ, 2015 වසරේදීය.

තවදුරටත් කියවන්න: