ශ්‍රී ලංකා ප්‍රහාර සහ දකුණු ආසියාවේ ඉස්ලාම් අන්තවාදයට පණ පොවන බලවේග

Image copyright Getty Images

පසුගිය පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයත් සමග ඉන්දීය උප මහද්වීපය තුළ අන්තවාදය වර්ධනය වෙමින් පවතින බවට මතවාද යළිත් මතුව තිබේ.

වාර්තා වී ආකාරයට, මධ්‍යම පාන්තික පවුල්වලට අයත් ඉහළ අධ්‍යාපනයක් සහිත යයි පැවසෙන තරුණයන් දේවස්ථාන සහ සුඛෝපභෝගී හෝටල් තුළට ගොස් මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාගෙන පුද්ගලයින් 250කට අධික පිරිසක් ඝාතනය කිරීමට යොමු කෙරුණ හේතු මොනවාද ?

මෙම ප්‍රහාරවල වගකීම අයිඑස් සංවිධානය භාර ගත්තේය. ජිහාඩ් සංවිධානය ද පසුගිය දිනවල ඉන්දියාවේ සහ පාකිස්තානයේ නව ශාඛා ප්‍රකාශයට පත් කළේය. එය දකුණු ආසියාව තුළ ඔවුන්ගේ තර්ජනය වැඩි කිරීමේ පැහැදිලි උත්සහයකි.

මෙම කලාපය සලාෆි ආගමික මතවාදවලට සහයෝගය දෙන කණ්ඩායම් රැසකට නිවහන වී තිබේ. 'සලාෆි' යනු සුන්නි ඉස්ලාම් ආගමික පාර්ශවයේ මූලධර්මවාදී යාන්ත්‍රණය ලෙස සැලකේ.

අප්‍රේල් 21 ප්‍රහාරවලින් පසුව තරුණයන් අතර අන්තවාදය පැතිරවීමේ අවදානම මත ඉස්ලාම් දේශකයින් 200 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කර ඇත.

අන්තවාදය හිස එසවීම

තරුණ ප්‍රජාව අතර සිය මතවාද ප්‍රචලිත කරමින් සිටින 'සලාෆි' ආගමික පාර්ශවයට, ඉන්දීය උප මහාද්වීපයට අයත් ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින් යන රටවල් ඔවුන්ගේ මතවාද වැපිරීමේ තවාන් බිම් බවට පත්වී තිබේ.

මෙම ප්‍රවණතාව පැහැදිලිව විදහා පාන ශ්‍රී ලංකාවේ නගර අතර කාත්තන්කුඩියට වඩා වෙනත් තැනක් නැත. පාස්කු ප්‍රහාරය පසුපස සිටින බවට වාර්තා වන ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ(NTJ ) නිජබිම එයයි.

එම කුඩා නගරය දීර්ඝ කාලයක් තිස්සේ මධ්‍යස්ථ මතධාරී සුන්නි මුස්ලිම්වරුන් සහ අන්තවාදී සලාෆිවරුන් අතර පවතින අන්තර් ආගමික ගැටුම් අත්දකිමින් සිටියි. එසේ ම, පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් මෙහෙයවූ ප්‍රබල අන්තවාදී උත්සහයන් ද පෝෂණය වූයේ එහිය.සහරාන් හෂීම් ව්‍යාප්ත කරමින් තිබුණ අන්තවාදී ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර අනතුරු ඇඟවීම් සිදු කරනු ලැබ තිබුණි.

2016 වසරේදී බංග්ලාදේශයේ අවන්හලක සිදුවූ ප්‍රහාරය වැනි කලින් කලට උප මහාද්වීපයේ එල්ල කෙරුණ ජිහාඩ් ප්‍රහාර හරහා 'සලාෆි' දේශකයින් පිළිබඳව සහ ඔවුන් තරුණ මුස්ලිම් ප්‍රජාවට කරන බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබුණි

Image copyright Getty Images
Image caption 2016දී බංග්ලාදේශයේ අවන්හලක සිදුවූ ප්‍රහාරයෙන් පසුව සකීර් නායික්ට එරෙහිව ඉන්දියාවේ විරෝධතා පැවැත්විණි.

සකීර් නායික් එවැනි අන්තවාදියෙකි. ඔහු සිත් ඇද ගන්නා දේශකයකු මෙන්ම ඉහළ අලෙවියක් සහිත ඉස්ලාම් ආගමික ග්‍රන්ථ රචනා කළ කතුවරයෙකි. මධ්‍යම පන්තික සහ නාගරික මුස්ලිම්වරුන් විශාල පිරිසක් සකීර් නායික් වටා එක් රැස්ව සිටියහ.

පැහැදිලි ඉංග්‍රීසි බසින් දේශනවල යෙදෙන සලාෆිවරයෙකු වන නායික්, ආගමික කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් කල විශ්ලේෂණ අනුව දකුණු ආසියාවේ තරුණ මුස්ලිම් ප්‍රජාව අතර ජනප්‍රිය තැනැත්තෙකි.

ඔහු පිළිබඳව ඉන්දීය සහ බංග්ලාදේශ බලධාරීන්ගේ දැඩි අවධානයක් යොමු වූයේ, 2016 වසරේදී බංග්ලාදේශයේ අවන්හලක එල්ල කෙරුණ ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවෙකු විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙනි. ඔහු පවසා තිබුණේ තමන් සකීර් නායික්ගේ දේශනවලින් උත්තේජනය ලැබූ බවය.

එම බංග්ලාදේශ් ප්‍රහාරයේ වගකීම IS සංවිධානය විසින් භාරගනු ලැබුණි.

මේවනවිට සකීර් නායික්ගේ අදහස්වල ළිහිල් වීමක් දක්නට ලැබෙන අතර ඔහුගේ අන්තවාදී දර්ශනයේත් වෙනසක් සිදුව ඇත.

එහෙත්, ඒ මගින් ඔහුගේ අනුගාමිකයින් ඔහුගේ අදහස් බිම් මට්ටමින් සහ අන්තර්ජාලය හරහා පැතිරවීම නතර වූයේ නැත. තවමත් යූටියුබ් වැනි සමාජ මාධ්‍ය හරහා දිනකට විශාල පිරිසක් ඔහුගේ වීඩියෝ නරඹති.

'ගූගල් ට්‍රෙන්ඩ්ස්' අනුව යූටියුබ්හි ප්‍රමුඛ ඉස්ලාම් දේශකයින් අතර වැඩි ම පිරිසක් සොයන ඉස්ලාමීය දේශකයන් වන්නේ, නායික් සහ තරීක් ජමීල් නමැති තවත් ඉස්ලාම් උගතෙකි.

තාරික් ජමීල් යනු දකුණු ආසියාවේ තරුණ මුස්ලිම් ප්‍රජාව අතර විශාල බලපෑමක් සහිත 'තබ්ලිගි ජමාත්' නමැති ප්‍රබල සංවිධානයේ දැවැන්තයෙකි.

'තබ්ලිගි ජමාත්' ව්‍යාපාරය අවධාරණය කරන්නේ, ඔවුන් නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බවය. ඔවුන් ඉන් ඔබ්බට ගොස් සන්නද්ධ කණ්ඩායම් හෝ ජිහාඩ්වාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට මෙතෙක් සාක්ෂි හමුවී නැත.

එහෙත්,මුස්ලිම් තරුණයන් අන්තගාමී තත්වයකට පත් කරමින්, අන්තිමේදී ඔවුන් සන්නද්ධ ක්‍රියාවන්ට යොමු කරනු ලැබීම සම්බන්ධයෙන් එම සංවිධානය වගකිය යුතු බව පැවසෙන මාධ්‍ය වාර්තා අවස්ථා ගණනාවක දී පළ වී ඇත.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළ ආකාරයට, අයිඑස් සංවිධානය සඳහා අග්නිදිග ආසියාවේ ආධුනිකයන් බඳවා ගැනීම් භාර ප්‍රධානියා හැටියට පෙනී සිටි පිලිපීන ජාතිකයකුගේ පවුලේ සාමාජිකයන් මෑතකදී පැවසුවේ, තබ්ලිගි ජමාත් සංවිධානයට සම්බන්ධ පල්ලියකට යාමෙන් පසු ඔහු අන්තවාදී අදහස් දරන්නට වූ බවය.

2005 වසරේ ජුලි මාසයේ හත්වෙනිදා, ලන්ඩන් නුවර සිදු කළ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ද එම සංවිධානයේ නම කියැවුණේ, ඊට සම්බන්ධ වරදකරුවන් තබ්ලිගි ජමාත් සංවිධානයේ රැස්වීම්වලට සහභාගි වූ බවට අනාවරණය වීම හේතුවෙනි.

ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාරයෙන් පසුව එහි බලපෑම භූගෝලීය සහ සංස්කෘතිකමය වශයෙන් ශ්‍රී ලංකාවට සමීප දකුණු ඉන්දියාවටත් දැනුණි.දකුණු ඉන්දියාවත් පැතිරයමින් පවතින සලාෆි මතවාදී ආරෝපණයේ බලපෑමට ගොදුරු වෙමින් ඇති කලාපයකි.

මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරනු ලැබීමේ සැලැස්මක් පැවති බවට පාපෝච්චාරණය කළ කේරළ ප්‍රාන්තයේ තරුණයෙක් පසුගිය අප්‍රියෙල් මස අගදී ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

එම තරුණයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී 'නායික්ගේ සහ හෂීම්ගේ දේශන අනුගමනය කළේයැයි' ඔහු ප්‍රකාශ කළ බව ඉන්දියාවේ ත්‍රස්ත මර්දන ඒකකය වන ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විසින් නිකුත් කරන ලද ප්‍රකාශනයක් මගින් පැවසුණි.

එම වාර්තාව 'හින්දුස්තාන් ටයිම්ස්' දිනපතා පුවත්පතේ ප්‍රධාන පුවතක් විය.

අදේශපාලනික ස්ථාවරය

Image caption සහරාන් හෂීම්

අදේශපාලනික ස්ථාවරය

මෙවැනි දේශන පවත්වන කණ්ඩායම් අතරින් වැඩි කොටසක් පවසන්නේ ඔවුන් අදේශපාලනික වන අතර ඉස්ලාමයෙහි පිවිතුරු ධර්මය පමණක් ඉගැන්වීමත් ප්‍රවර්ධනය කිරීමත් කරන බවය. තමන් ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් පෙනී නොසිටින බව ද ඔවුහු පවසති. එහෙත්, විවේචකයින් පවසන්නේ, එම සංවිධාන තරුණයන් අන්තවාදී කිරීමේ කාර්යභාරයක් සිදු කරන අතර අන්තිමේදී එම තරුණයන් ප්‍රචණ්ඩ මාවත තෝරා ගන්නා බවය.

.

ඇතැම් දේශකයෝ අල්-ඛයිදා සහ අයි එස් වැනි ජිහාඩ්වාදය අනුගමනය කරන කණ්ඩායම්වල දර්ශනය ව්‍යාප්ත කරති. ඔවුන් ගරු කරන්නේ, මධ්‍ය කාලීන යුගයේ විසූ මතභේදාත්මක ඉස්ලාම් දේශකයෙකු වූ ඉබන් ටේමියාහ්ටය. (Ibn Taymiyyah)

අල්-ඛයිදා සහ අයි එස් වැනි ජිහාඩ්වාදය අනුගමනය කරන කණ්ඩායම්, ජිහාඩ් නීතිවලට පක්ෂව සහ සාමාන්‍ය මුස්ලිම් වැසියන්ට එරෙහිව කරන ක්‍රියාවන් සාධාරණීකරණය කිරීම සඳහා ඉබන් ටේමියාහ්ගේ දේශන උපුටා දක්වති.

සලාෆි කණ්ඩායම් අල්-ඛයිදා සහ අයි එස් වැනි ජිහාඩ් කණ්ඩායම්වලට නව සාමාජිකයින් බඳවා ගන්නා අතරමැදි සංවිධානගත නාළිකා(conduit)ලෙසත් සැලකිය හැකිය.

පාස්කු ඉරිදා සිදුවූ ශ්‍රී ලංකා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ඉන්දීය කණ්ඩායම විසින් කරන ලද පරීක්ෂණයකින් එකක් වන්නේ, දකුණු ඉන්දියාවේ සලාෆි අනුගාමිකයින් ජිහාඩ්වාදීන් ලෙස බඳවා ගැනීම සම්බන්ධයෙන් හෂීම් ක්‍රියාකර ඇති ආකාරයයි.

එහෙත්, පිවිතුරු (ඉස්ලාමීය)අදහන්නන් ප්‍රචණ්ඩ අන්තවාදීන් බවට පරිවර්තනය වීම වටහා ගැනීම ආණ්ඩුවලට දුෂ්කර කාර්යයක් වී තිබේ.

මෙහිදී විශ්ලේෂකයන් විසින් ඉදිරිපත්හැ කරනු ලැබිය හැකි පැහැදිලි කිරීමක් වන්නේ 'ගතානුගතික ඉස්ලාමීය කණ්ඩායම්වලට සම්බන්ධ වන පුද්ගලයන් බොහෝ විට ඔවුන්ගේ අදේශපාලනික ස්ථාවරය අතින් අසන්තෘප්ත වන අතර අවසානයේදී ජිහාඩ්වාදී සංවිධානවලට එකතු වෙන' බවය.

2016 වසරේදී දකුණු ඉන්දීය ප්‍රාන්තයක් වන කේරළයේ මුස්ලිම් වැසියන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ මීගමුව වෙත පැමිණ තිබිණි. (මීගමුව පාස්කු ප්‍රහාරයට ලක්වූ ප්‍රදේශයකි) ඒ, ඉස්ලාම් ධර්මය මුහම්මද් නබි තුමන්ගේ කාලයේ පැවති ආකාරයට නැවත ගෙන යන බව පවසමින් ස්ථාපනය කර තිබූ 'සලාෆි' මධ්‍යස්ථානයකට එක් වීම සඳහාය.

එම කණ්ඩායම අයි එස් හිතවාදීන් බව හෙළි වීමෙන් ඔවුන් එම මධ්‍යස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති අතර, ඔවුන් පසුව ඇෆ්ඝනිස්තානයේ අයි එස් සංවිධානය සමග එක් වූ බව ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කළේය.

මග හැරුණු අවස්ථා

ශ්‍රී ලංකාවේ එක් මුස්ලිම් පාර්ශවයකගේ මූලධර්මවාදී ලක්ෂණ පිළිබඳව කරන ලද අනතුරු ඇඟවීම් නොසලකා හැරීම සම්බන්ධයෙන් අප්‍රේල් 21 වන දා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා රජයට දැඩි විවේචන එල්ල විය.

මේ අතර, ඉන්දීය බුද්ධි තොරතුරු ඒජන්සි මෙවැනි කණ්ඩායම් පිළිබඳව අවධානය යොමු කර තිබේ. සහරාන් හෂීම් සහ ඔහු ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජිහාඩ්වාදීන් සමග පැවැත්වූ සබඳතා පිළිබඳව ඉන්දීය ජාතික බුද්ධි තොරතුරු ඒජන්සිය විමර්ශන පවත්වයි.

.මෙම කලාපයේ අන්තවාදී මතවාද ව්‍යාප්ත වීමට බලපා ඇති තවත් තර්ජනයක් වන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී අදහස් ව්‍යාප්ත කිරීමේ ක්‍රියාකාරකම්ය. මාලදිවයින් සහ බංග්ලාදේශය වැනි රටවල මෙම ක්‍රියාකාරකම් මරණීය තර්ජන සහ මාරාන්තික ප්‍රහාර දක්වා වර්ධනය වී තිබේ.

මාලදිවයින්හි මෑතකදී "Murtad) Watch MV" නමැති සමාජ මාධ්‍ය චැනලයක් ඔස්සේ ඔවුන් "ඇදහිල්ලට විරුද්ධ පුද්ගලයන්" ලෙස නම් කළ පුද්ගලයින් පිළිබඳ තොරතුරු සහ ඡායාරූප පළ කෙරිණි .අන්තවාදී ඉස්ලාම් භක්තිකයින්ට අභියෝග කරමින් ලිපි පළ කළ යමීන් රෂීඩ් වැනි ලේඛකයින්ගේ ඝාතන පසුපස එම සමාජ මාධ්‍ය ජාලය සිටි බවට සැක කෙරේ.

එවැනි ම ආකාරයේ පහර දීම් බංග්ලාදේශයේ ද සිදුව තිබේ. එම ප්‍රහාරයන්ගේ වගකීම අයි එස් හෝ අල්-ඛයිදා සංවිධානය භාරගෙන තිබිණි.

ලෝකයේ සමහර ප්‍රදේශවල අන්තර්ජාලගත අන්තවාදය මර්දනය කිරීමට උත්සහ කර ඇති නමුත් ඉන්දීය අර්ධද්වීපය ආශ්‍රිතව ගැටලුව විසඳීම සඳහා ප්‍රතිපත්තිමය මට්ටමින් සැලකිය යුතු පියවරක් ගෙන නොමැති බව පෙනේ.

(බීබීසී මොනිටරිං අංශයේ සෙයිනුල් ආබිඩ්ගේ විශ්ලේෂණාත්මක ලිපියෙහි සිංහල පරිවර්තනයකි)