සිංහල, දෙමළ, ඉංග්‍රීසි හැර වෙනත් භාෂා ඉවත් කිරීමට නියෝග

පාස්කු ඉරු දින දේවස්ථාන සහ සංචාරක හෝටල් වෙත එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සහ අනතුරුව හටගත් මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ජන ප්‍රජාවන් අතර භේද අවම කිරීම සඳහා විවිධ පියවර යෝජනා විය.

ආගම සහ ජාතිය පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක් බිහි කළ යුතු බව ඉන් එක් යෝජනාවකි.

පසුගිය මැයි 16 වෙනිදා මුස්ලිම් නියෝජිතයින්ගේ මාධ්‍ය හමුවකට එක්වූ හිටපු අමාත්‍ය ඉමිටියාස් බාකීර් මාකාර් සහ ජනාධිපති නීතිඥ අලි සබ්රි දෙදෙනා ම පෙන්වා දුන්නේ, ආගමික හෝ ජාතීන් අතර වෙනස නැති කිරීම පාසල් අධ්‍යාපනයේ සිට ආරම්භ කළ යුතු බවය.

"පාසල් ආගම් සහ ජාති අනුව වෙන් කරන්න හොඳ නෑ. ඒ වෙනුවට සියලු දෙනා එකට ඉගෙන ගන්න ජාතික පාසල් බිහි කළ යුතුයි. බෙදිලා මේ වැඩේ කරන්න බැහැ," අලි සබ්රි පැවසීය.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැයි 22 වෙනිදා පැවති උත්සවයකදී පැවසුවේ, ආගම සහ ජාතිය පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක් ඉදිරි වසර දෙක තුළ රටෙහි ස්ථාපනය කළ යුතු බවය.

"උද්ගතව තිබෙන මේ තත්ත්වය හමුවේ සලකා බැලිය යුතු ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ අපේ පාසල් සිංහල, බෞද්ධ, දෙමළ, මුස්ලිම්, කතෝලික ආදී වශයෙන් තවදුරටත් ඉදිරියට ගෙන යනව ද, එසේත් නැතිනම් පොදු පාසල් ක්‍රමයක් ඇති කරමින් ඉදිරියට යනවා ද කියා බැලීමයි. මේ ප්‍රශ්නයට අපි විසඳුමක් සොයා ගත යුතුයි."

"ඉරිදා දහම් පාසල් හැර ආගමික පාසල් සියල්ල ම අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කිරීමට දැනටමත් අප තීරණය කර තිබෙනවා. මෙරට මද්‍රසා අධ්‍යාපනයට එවැනි ම මණ්ඩලයක් ඇති කිරීමට මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමැතිවරු එකඟ වී තිබෙනවා. එමෙන් ම මද්‍රසා අධ්‍යාපනය, අධ්‍යාපන අමාත්‍යංශය යටතේ සිදු කිරීමට ද පියවර ගෙන තිබෙනවා. ජාතික අධ්‍යාපන ආයතනයත් මේ සමග සම්බන්ධ කළ යුතු බවට ඉල්ලීමක් තිබෙනවා. මේ අනුව ඉස්ලාම් ආගම් ඉගැන්වීමේදී එම වැඩකටයුතු සිදුවන්නේ ලංකාවේ විෂය මාලාවලට අනුවයි. මේ සම්බන්ධව ගනු ලැබූ පළමු පියවර එයයි."

"පාසල් අධ්‍යාපනය පොදු ක්‍රමයක් යටතේ ඉදිරියට ගෙන යෑම අපේ තුන් වන පියවරයි. ආගමික නායකයෙක්, ශාස්තෲවරයෙක් වෙනුවෙන් පාසලක් නම් කළාට ප්‍රශ්නයක් නැහැ. නමුත් සිංහල, දෙමළ, බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි ලෙස නම් තබා ගත යුතු ද කියන ප්‍රශ්නය මතුව තිබෙනවා. ඇත්ත වශයෙන් ම එම පාසල් පොදු පාසල් ලෙස සලකා වසරක් හෝ දෙකක් අදාළ පරිවර්තනය වීමට ලබා දිය යුතුයි," රනිල් වික්‍රමසිංහ පැවසීය.

මේ අතර, ඉදිරියේදී අලුතෙන් ආරම්භ කරනු ලබන සියලු ම රජයේ පාසල්, සෑම ජන වර්ගයකට ම හා සෑම ආගමකට ම අයත් සිසු දරුවන්ට එකට සිට අධ්‍යාපනය ලැබීමට හැකි වන පරිදි මිශ්‍ර පාසල් වශයෙන් පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැයි 22 වෙනිදා මාධ්‍ය හමුවකදී පැවසීය.

ෂරියා විශ්වවිද්‍යාලය

Image caption මතභේදයට තුඩු දී ඇති මඩකලපුව විශ්වවිද්‍යාලය

මතභේදයට තුඩු දී ඇති මඩකලපුව "ෂරියා විශ්වවිද්‍යාලය" ද පසුගිය කාලයේ දැඩි කතාබහට ලක්වූ ආයතනයකි. ඒ සම්බන්ධයෙන් ද පියවරක් ගෙන ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැයි 22 වෙනිදා පැවති උත්සවයකදී පැවසීය.

"මෙරට ආරම්භ කරන විශ්වවිද්‍යාල හා පුද්ගලික උපාධි ප්‍රදානය කරන ආයතන සියල්ල එක ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කළ යුතු බව අප ගත් දෙවැනි පියවරයි. සුදුසුකම් මත ඕනෑ ම ශිෂ්‍ය ශිෂ්‍යාවකට එම ආයතන වෙත ඇතුළු වී අධ්‍යාපනය ලැබීමේ අයිතිය තිබිය යුතුයි. මේ අනුව ෂරියා විශ්වවිද්‍යාල වැනි ආයතන ලංකාවේ ඇති කිරීමට අප ඉඩ දෙන්නේ නැහැ. ඒ සඳහා විශ්වවිද්‍යාල පනතේ 9 (අ) කොටස සංශෝධනය කර ඊට අවශ්‍ය වන අනෙකුත් වගන්ති ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙනවා. උසස් අධ්‍යාපන ඇමැතිතුමා සමග සහ නීතිපතිතුමා සමග මේ ගැන සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව ඉදිරි සති දෙක තුන තුළදී පළමුව මද්‍රසා අධ්‍යාපන කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම කෙටුම්පත ඉදිරිපත් කරන බව නීති සම්පාදක දෙපාර්තමේන්තුව හා නීතිපතිතුමා ප්‍රකාශ කර තිබෙනවා."

අරාබි හෝ වෙනත් භාෂාවලින් ඇති නාම පුවරු ඉවත් කරන ලෙසට නියෝග

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහන් පරිදි අනුව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවලින් ඇති වීදි නාම පුවරු ඉවත් කරන ලෙස සියලු ම පළාත් පාලන ආයතනවලට සහ රජයේ ආයතනවලට චක්‍ර ලේඛනයක් නිකුත් කර තිබේ.

නැගෙනහිර පළාතේ ඇතැම් වීදිවල නාම පුවරු අරාබි භාෂාවෙන් නම් කර තිබීමත් චීන භාෂාවෙන් ඇතැම් ව්‍යාපෘතිවල නාම පුවරු සටහන් කර තැබීම පිළිබඳවත් පසුගිය කාලයේ දැඩි විවේචන එල්ල විය.

"අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සිංහල සහ දෙමළ භාෂාවලින් සහ සම්බන්ධීකරණ භාෂාවක් ලෙස ඉංග්‍රීසිවලින් විතරයි නාම පුවරු දාන්න පුළුවන්. මේක ඇතැම් ස්ථානවල ක්‍රියාත්මකව තිබුණේ නැහැ. ඒ නිසා අපි සියලු පාර්ශව නැවත දැනුවත් කළා මේ ගැන," අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

මෙම නීතිය රජයට මෙන් ම පුද්ගලික අංශයට ද බලපාන බව පැවසූ අමාත්‍ය වජිර අබේවර්ධන යම් භාෂාවකින් නමක් සඳහන් කිරීමට අවශ්‍ය නම් ඊට විශේෂ අවසරයක් ලබා ගත යුතු බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතමින් අමාත්‍යවරයා පැවසුවේ, "වෙනත් කිසි ම භාෂාවක් ඔබේ කිසි ම කොට්ඨාසයක් තුළ ප්‍රදර්ශනය නොකළ යුතුයි. මේක රාජ්‍ය අංශය වෙන්න පුළුවන්, පුද්ගලික අංශය වෙන්න පුළුවන්. අරාබි භාෂාව කොහේ හරි ලියල තියෙනව නම් ඒ අරාබි භාෂාව ගලවන්න කියලා සියලු රාජ්‍ය නිලධාරීන්ටත් පළාත් පාලන නිලධාරීන්ටත් චක්‍රලේඛනය යවනවා," යනුවෙනි.

පොලිසියේ මෙන් ම හමුදාවේ සහය ද මේ සඳහා අවශ්‍ය නම් ලබා ගත හැකි බව අමාත්‍යවරයා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරමින් පැවසීය.

Image caption කාත්තන්කුඩි නගරයේ ඇති පුවරුවක්

ඊට අමතරව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන චීන ව්‍යාපෘතිවල නාම පුවරු ඇතැම් අවස්ථාවල චීන භාෂාවෙන් පමණක් හෝ චීන හා සිංහල භාෂාවලින් පමණක් පළ කර තිබීම ගැන ජාතික ඒකාබද්ධතා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පසුගිය කාලයේ දැඩි විරෝධය පළ කර තිබිණි. ඔහු පැවසුවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අනුව සියලු නාම පුවරු සිංහල සහ දෙමළ භාෂාවලින් සකස් විය යුතු බවය.

බීබීසී සිංහල සේවය කළ විමසුමකදී රාජ්‍ය භාෂා කොමසාරිස් සනෝජි රුවිනිකා පෙරේරා පැවසුවේ, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අනුව සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂා ලෙස පිළිගැනෙන අතර සම්බන්ධීකරණ භාෂාව ලෙස ඉංග්‍රීසි භාවිත කරන බවය.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය

ශ්‍රී ලංකාවේ භාෂා සම්බන්ධයෙන් වන මුලික නීතිය 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV වන පරිච්ජේදයෙහි දක්වා ඇත. එහි ඇති විධිවිධාන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් (1987) සහ 16 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් (1988) සංශෝධනය වී තිබේ. තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වන පරිච්ජේදයෙහි 12 (2) ව්‍යවස්ථාවේ භාෂා අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස දක්වා ඇත.

සිංහල හා දෙමළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවන් වන අතර ඒවා ජාතික භාෂාවන් ද වේ. ඉංග්‍රීසි සන්ධාන භාෂාව වේ. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනවලට අමතරව භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ පරිපාලනමය ප්‍රතිපාදන සපයා තිබේ.

කැබිනට් තීන්දු

පසුගිය මැයි 21 වෙනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද රාජ්‍ය භාෂා සම්බන්ධයෙන් තීරණයකට අනුමැතිය ලැබිණි.

ඒ, රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ බලතල ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම සඳහාය.

රාජ්‍ය භාෂා දිනයක්

මේ අතර, 'ශ්‍රී ලාංකිකයින්ගේ භාෂා අයිතිය සුරැකීම පිණිස' රාජ්‍ය භාෂා දිනයක් ප්‍රකාශයට පත් කිරීමටත් රාජ්‍ය භාෂා සතියක් ක්‍රියාත්මක කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබිණි.

ඒ අනුව, ජූනි මස 3 වන දා රාජ්‍ය භාෂා දිනය ලෙස නම් කර තිබේ.