පාස්කු ඉරිදා ප්‍රහාරය: වරද කාගේ ද? - පූජිත් ජයසුන්දරගේ විග්‍රහය

Image copyright Getty Images

දෙසිය පනහකට අධික ජීවිත බිලි ගනිමින් පාස්කු ඉරිදා එල්ල කළ ප්‍රහාර මාලාව පිළිබඳ බුද්ධි අංශ පූර්ව අනතුරු ඇඟවීම් සිදු කර ඇති බව නොරහසකි.

එම ප්‍රහාර වැළැක්වීමට සහ රටේ ආරක්ෂාව සහතික කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයා සහ ආරක්ෂක කටයුතු භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා වගකිව යුතු බවට බරපතළ චෝදනා එල්ල විය.

ප්‍රහාර එල්ල වී මසකට අධික කාලයක් ගතව ඇතත් එම ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ කාගේ දුර්වලතාව හේතුවෙන් ද යන්න තවමත් පැහැදිලි වී නැත.

2018 වසරේ ඔක්තෝබර් 26 දා ඇරඹි දේශපාලන අර්බුදයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ පාර්ශවය අතර පවතින මතභේද හමුවේ රටේ පාලනය කවුරුන් අත පවතින්නේ ද යන්න සහ වගවීම පිළිබඳව අපැහැදිලි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ඇතැම් විවේචකයෝ පවසති.

වගකීම කාගේද?

කෙසේ නමුත් ප්‍රහාර එල්ල වී දින අටකට පසුව (අප්‍රේල් 29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයක් අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවිණ.

නමුත් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට සහ අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බැවින් එම තීන්දුව නීත්‍යනුකූල නොවන බව පවසමින් පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පහත දැක්වෙන්නේ එම පෙත්සමේ අඩංගු මූලික කරුණු කිහිපයකි.

පූජිත් ජයසුන්දර පොලිස්පති ධුරයට පත්වීම සහ මෛත්‍රීපාල, රනිල් බල තුලනය

Image caption ප්‍රහාරයට ගොදුරු වූවන්ගෙන් කිහිප දෙනෙක්

ජනාධිපති නිර්දේශයෙන් වස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජිත් ජයසුන්දර පොලිස්පති ධුරය සඳහා පත් කරනු ලැබුවේ 2016 අප්‍රේල් 20 වන දාය.

පූජිත් ජයසුන්දර ඉදිරිපත් කළ පෙත්සමට අනුව:

  • 2018 අග භාගය වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර සබඳතා පිරිහී ඇති බව ඔහුට අවබෝධ වී ඇත.
  • වගකීම් සහගත සිවිල් සේවකයෙකු වශයෙන් ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට ඔහු පක්ෂග්‍රාහී වී නොමැත.
  • 2018 වසරේ ඔක්තෝබර් ආරම්භයේ සිට 2019 වසරේ පාස්කු ප්‍රහාරය එල්ල වූ අප්‍රේල් 21 වන දා තෙක් මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහු ආරක්ෂක කවුසිලයෙන් බැහැරව තබනු ලැබ ඇත.

මොකක්ද මේ ආරක්ෂක කවුන්සිලය?

ආරක්ෂක කවුන්සිලය ව්‍යවස්ථාපිත ආයතනයක් නොවන නමුත් ඒ තුළ ජාතික ආරක්ෂාවට වැදගත් වන කරුණු සාකච්ඡා වේ.

එහි සාමාජිකයන්:

  • ජනාධිපති
  • අගමැති
  • ආරක්ෂක රාජ්‍ය ඇමති
  • ජනාධිපති ලේකම්
  • අග්‍රාමාත්‍ය ලේකම්
  • ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී
  • ත්‍රිවිධ හමුදාපතිවරු
  • ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්
  • පොලිස්පති
  • විදේශ කටයුතු සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරු
  • ජාතික බුද්ධි අංශ ප්‍රධානී
  • හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ
  • නාවික, ගුවන් සහ යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානීන්

රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සෘජුව ම ජනාධිපතිවරයා වෙත කරුණු වාර්තා කළ බව අදාළ පෙත්සමේ සඳහන් වේ.

වරින් වර තමන් වෙත ඇතැම් බුද්ධි තොරතුරු ලබා දුන්න ද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් අවධානය යොමු කර කටයුතු කිරීමෙන් තමන් වළකා තැබුණු බවත් එහි සඳහන්ය.

එම තත්ත්වය තුළ සීමිත තොරතුරු මත පදනම්ව සහ තමන්ට පනවා තිබූ සීමාවන්ට යටත්ව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගත් බව පූජිත් ජයසුන්දර කියා සිටී.

පූර්ව අනතුරු ඇඟවීම්

Image copyright Getty Images
Image caption ප්‍රහාරකයන් විසින් කාත්තන්කුඩි ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබූ බවට සැක කෙරෙන 'කඳවුර'

අදාළ පෙත්සමට අනුව:

අප්‍රේල් 09:

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට ඔහු සහභාගි වී තිබේ. අන්තවාදී ඉස්ලාමීය කොටස් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීමේ අනතුරක් පිළිබඳ තොරතුරු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ විසින් අවධානයට ලක් කරනු ලැබ ඇත. කෙසේ වුවත්, එහි බරපතළභාවය සහ වහා ම ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා අවධාරණය නොකළේය.

එදින ම හෝ ඒ ආසන්නයේ ජාතික බුද්ධි අංශයේ ප්‍රධානී ඒ එන් සිසිර මෙන්ඩිස්ගෙන් පූජිත් ජයසුන්දර වෙත ලිපියක් ලැබී ඇත. රාජ්‍ය බුද්ධි අංශ සේවා අධ්‍යක්ෂවරයාගේ ලිපියක අඩංගු තොරතුරු ද ඇතුළත්ව සහරාන් හෂීම් සහ ඔහුගේ ආධාරකරුවන් විසින් එල්ල කරනු ලැබිය හැකි සැලසුම්සහගත ප්‍රහාරයක් පිළිබඳ කරුණු එහි අඩංගු වී ඇත. එම තොරතුරු ම අඩංගු ලිපියක් රාජ්‍ය බුද්ධි අංශ විසින් ද පූජිත් ජයසුන්දර වෙත එවනු ලැබ ඇත.

ලැබී තිබූ තොරතුරු සම්බන්ධයෙන් "රහස් විමර්ශන" සිදු කෙරෙන බව ඉන් එක් ලිපියකින් තමන් වෙත දන්වා තිබූ බවත් "නීතිය ක්‍රියාත්මක කරන ආයතන අදාළ තොරතුරු සම්බන්ධයෙන් අවධානයෙන් පසුවීමේ වැදගත්කම" අනෙක් ලිපියේ සඳහන් කර තිබූ බවත් පෙත්සමේ දැක්වේ.

තමන් අදාළ තොරතුරු වහා ම පහත දැක්වෙන පාර්ශව වෙත දැන්වූ බව පූජිත් ජයසුන්දර පවසයි.

අදාළ පාර්ශව:

  • බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ
  • අපරාධ, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්
  • ප්‍රභූ ආරක්ෂක අංශයේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක
  • ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර

අදාළ පෙත්සමට අනුව:

අප්‍රේල් 09/10:

සිදුවිය හැකි ප්‍රහාරයක් සම්බන්ධයෙන් දුරකතනය ඔස්සේ පළාත් නවයේ ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දැනුවත් කර ඇත.

අදාළ පෙත්සමට අනුව:

අප්‍රේල් 18/19/20:

ජාතික තව්හිද් ජමාත් සංවිධානය, සහරාන් හෂීම් සහ ඒ හා සම්බන්ධ තොරතුරු දැක්වෙන ලිපි තුනක් ලැබී ඇත. රාජ්‍ය බුද්ධි සේවා තවදුරටත් විමර්ශන සිදු කරන බව එම ලිපි මගින් අවධාරණය කර තිබූ බවත් තමන්ගෙන් කිසිදු උපදෙසක් හෝ ක්‍රියාමාර්ගයක් ඉල්ලා නොතිබුණු බවත් පෙත්සම්කාර පූජිත ජයසුන්දර පවසයි. හුදෙක් දැන ගැනීම සඳහා පමණක් එම තොරතුරු ලබා දී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

අදාළ පෙත්සමට අනුව:

අප්‍රේල් 20:

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දුගෙන් දුරකතන ඇමතුමක් පූජිත ජයසුන්දරට ලැබී ඇත. එය ලබා දී ඇත්තේ නුදුරේ ම සිදුවිය හැකි ප්‍රහාරයක් ගැන රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් දෙන ලද බුද්ධි තොරතුරක් සම්බන්ධයෙනි.

රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා සමග පූජිත් ජයසුන්දර ඒ සම්බන්ධයෙන් දෙවරක් අදහස් හුවමාරු කර ගෙන ඇත.

රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා අදාළ සියලු ම අවස්ථාවලදී සියලු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් වාර්තා කළේ, ජනාධිපතිවරයාට බව පූජිත් ජයසුන්දර සිය පෙත්සමේ සඳහන් කර තිබේ. රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා සහ ජනාධිපතිවරයා අදාළ යැයි හැඟුණු අවස්ථාවල හුදෙක් දැන ගැනීම පිණිස පමණක් හැර අනෙක් කිසිදු අවස්ථාවක තමන්ට බුද්ධි තොරතුරු පිළිබඳ දැනුම් නොදුන් බව ඔහු කියා සිටී.

ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් වෙත ලබා දුන් තොරතුරුවලට අමතරව ආරක්ෂක කවුන්සිලයේදී ඒ පිළිබඳව සාකච්ඡා වූයේ ද ඒ සම්බන්ධයෙන් කුමන පියවරක් ගත්තේ ද යන්න තමන් නොදන්නා බව පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වේ.

Image caption සහරාන් හෂීම්

පෙත්සමේ වගඋත්තරකරුවන් කවුරුන්ද?

  • නීතිපතිවරයා
  • වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න
  • කරු ජයසූරිය - ව්‍යවස්ථාදායක සභාවේ සභාපති
  • රනිල් වික්‍රමසිංහ - ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික
  • මහින්ද රාජපක්ෂ - ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික
  • තලතා අතුකෝරළ - ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික
  • ආර්. සම්බන්ධන් - ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික
  • ජාවෙඩ් යූසුෆ් - ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික
  • එන්. සෙල්වක්කුමාරන් - ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික
  • මහින්ද සමරසිංහ - ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික
  • බිමල් රත්නායක - ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික
  • ආචාර්ය ජයන්ත ධනපාල - ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික
  • නිලන්ත ජයවර්ධන - නියෝජ්‍ය පොලිස්පති
  • ඒ.එන්. සිසිර මෙන්ඩිස් - ජාතික බුද්ධි අංශ ප්‍රධානී
  • හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම්

ජනාධිපතිගේ ප්‍රතිචාරය

Image copyright Getty Images

පොලිස් දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අමාත්‍යංශය භාර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිගින් දිගට ම පවසන්නේ තමන් ඉහත කී කිසිදු බුද්ධි තොරතුරක් පිළිබඳ දැනුවත්ව නොසිටි බවය.

පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් 2019 පෙබරවාරි මාසයෙන් පසුව ජාතික ආරක්ෂක කවුන්සිලය රැස් නොවූ බවට ජාතික බුද්ධි ප්‍රධානියා කළ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබේ.

"ගෙවී ගිය වසරකට වැඩි කාලයක් ජාතික ආරක්ෂක මණ්ඩලය තුළ සිදු කෙරුණු සාකච්ඡා නිල නොවන ලෙස මාධ්‍ය මගින් පළවීමට පටන් ගැනීම හේතුවෙන් ජාතික ආරක්ෂක කවුන්සිලයට වඩා වෙනස් ව්‍යුහයකින් යුක්ත වූ ජාතික ආරක්ෂක කමිටුව පිහිටුවන්නට කටයුතු කෙරිණි. එම ජාතික ආරක්ෂක කමිටුව පසුගිය කාලය තුළ සති දෙකකට වරක් අඛණ්ඩව රැස් වී තිබූ අතර, ඇතැම් අවස්ථාවල ගරු ජනාධිපතිතුමා විසින් සතියකට වරක් ද එම රැස්වීම කැඳවීමට කටයුතු කළේය."

"එමෙන් ම 2019 අප්‍රේල් 08 වන දා පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ මාසික රැස්වීම ද ගරු ජනාධිපතිතුමා විසින් කැඳවා තිබිණි. පැය දෙකකට අධික කාලයක් පැවති එම සාකච්ඡාවේදී හෝ මෙවැනි ත්‍රස්ත සැලැස්මක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවට කිසිදු නිලධාරියකු ජනාධිපතිතුමා දැනුවත් කර නොමැත."

"එමෙන් ම අප්‍රේල් 21 සිදුවීම සිදුවිය හැකි බවට විදේශ මිත්‍ර රටකින් ලබා දී තිබූ කිසිදු තොරතුරක් පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා හෝ වෙනත් නිලධාරියකු විසින් ගරු ජනාධිපතිතුමා දැනුවත් කිරීමට පියවර ගෙන නොතිබිණි."

"එබැවින් මෙම සිදුවීම පිළිබඳ ගරු ජනාධිපතිතුමා දැනුවත් කර තිබූ බවට පළ වන දේශීය හා විදේශීය මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ජනාධිපතිතුමා දන්වා සිටී." යනුවෙන් එම නිවේදනයේ දැක්වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර