උපවාස: 'රට වෙනුවෙන් අධිෂ්ඨාන පූජාවක නිරත' බෞද්ධ හිමි නමක්

Image copyright Getty Images
Image caption සංරක්ෂිත ඡායාරූපයක්

"අපි ආගමික නායකයෝ. අපි යමක් කරද්දී දෙවරක් නෙමෙයි කිහිප වරක් හිතන්න ඕනෑ. හැඟීම්වලට, බැඳීම්වලට ඉඩ දෙන්න හොඳ නැහැ . ඒ වගේ ම තමයි අපි කරන කියන දේ අඬ බෙර ගහලා කරන්න ඕනෑ නැහැ . මම මහත්තයගෙන් ඉල්ලන්නේ මම මේ කරන දේ කාටවත් නොකිව්වට කමක් නැහැ කියල."

ඉහත කී අදහස පළ කරන ලද්දේ දින හතරක කාලයක් උපවාසයක නිරතව සිටි බෞද්ධ භික්ෂුවක විසිනි.

බීබීසී සිංහල සේවයට උන්වහන්සේ හමුවන විට කායික වශයෙන් තරමක් දුර්වල මට්ටමක පසු විය.

"ඔබ වහන්න්සේ අසනීපෙන් ද ?. බෙහෙතක් ගත්ත ද ? ... මේ ප්‍රශ්නාවලිය හමුවේ මුනිවත රැකි උන්වහන්සේ අදහස් පළ කිරීම ආරම්භ කළේ පූර්ව කොන්දේසියක් ඉදිරිපත් කරමිනි.

"මහත්තයට මම යමක් කියනවා හැබැයි මේක පත්තරේ ලියන්න එපා. ලියනවා නම් මගේ නමක් ගමක් සඳහන් කරන්න එපා. එහෙම පොරොන්දුවක් වෙනවා නම් මම කියන්නම්."

කොන්දේසියට එකඟ වූ බැවින් උන්වහන්සේ කතාවකට මුල පිරූහ.

"මහත්තයා මම ගැන දුක් වුණ නිසයි මම මේ කතාව කියන්නේ. නැත්නම් කියන්නේ නැහැ . මම රට වෙනුවෙන් උපවාසයක් පටන් ගත්තා සිකුරාදා. එදා ඉඳන් අද වෙනකන් දානේ වැළඳුවේ නැහැ. හැබැයි මම ගිලන්පස ටිකක් ගන්නවා. ඒ කියන්නේ තේ කහට ටිකක් විතරයි. ඒ දවසට දෙවතාවක් විතරයි."

"මම කරන්නේ මාරාන්තික උපවාසයක් නොවෙයි. මම කරන්නේ අධිෂ්ඨාන පූජාවක්. මට අපවත් වෙන්න ඕනෑ නැහැ. මාරාන්තික උපවාස කරනවා කියල හොරෙන් දානේ වළඳන්න හරි ගිලන් පස වළඳන්න හරි ඕනෑ නැහැ," යනුවෙන් උන්වහන්සේ පිළිතුරු දුන්හ.

"මේ වෙද්දී අපේ රට නැවත ලොකු අගාධයකට ඇද ගෙන යන මට්ටමකට වැටිලා තියනවා. මේ සියල්ල වෙන්නේ බලය තහවුරු කරගන්න ගිහින්. දේශපාලකයෝ වාගේ ම ආගමික නායකයන්ටත් මේ අවස්ථාවේ ලොකු වගකීමක් තියනවා රට නැවත ගොඩනගන්න. දේශපාලකයෝ ඒ වැඩේ කරන්නේ නැහැ."

"හැබැයි මම වගේ ධර්මයට අනුව පොඩියට හරි යමක් කරන ආගමික නායකයෝ මේ රටේ තවත් ඇති. මේ රටේ ජනතාවට නිදහසේ ඉන්න පුළුවන් වාතාවරණයක් ඇති කරන්න වගේ ම පාස්කු ඉරු දින ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයනට නිසි දඩුවම් ලබා දෙන්න රටේ පාලකයනට මෙන්ම නීති ක්‍ෂේත්‍රවල සිටින උදවියට ඇස් ඇරෙන්න කියල මගේ මේ අධිෂ්ධාන පූජාවෙන් මම ඉල්ලනවා."

Image copyright Getty Images

සිය උපවාසය පිළිබඳ කිසිවකුත් දැන නොගත යුතු බවට වන සිය මතය උන්වහන්සේ සාධාරණීකරණය කළේ මෙලෙසය.

"අපි යමක් දනට දුන්නොත් ඒක අඬ බෙර ගහලා දීලා වැඩක් නැහැ . ඒ වගේම තමයි මම මේ කරන්නේ පූජාවක්. ඒ ගැන ලෝකයා දැනගත්තා කියලා ලොකු වැඩක් වෙන්නේ නැහැ මට. මොකද මගේ බලාපොරොත්තුවක් නැහැ දේශපාලනය කරන්න. තනතුරුවලට යන්න. මගේ බලාපොරොත්තුවක් නැහැ වීරයෙක් වෙන්න. ගැඹූරින් හිතලා බලන්න මම කියන දේ ගැන."

ඉහත කී බෞද්ධ හිමි නම විසින් එසේ අදහස් පළ කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ගෙන ගිය මාරාන්තික උපවාස සහ ඉල්ලීම් සම්බන්ධයෙන් මාධ්‍ය සහ දේශපාලන වේදිකාවේ වැඩි ඉඩක් වෙන්ව තිබුණු පසුබිමකදීය.

රතන හාමුදුරුවන් විසින් ගෙන යන ලද උපවාසය පිළිබඳ ඉහත කී හිමිනමගෙන් අදහස් විමසුවේ එබැවිනි.

"ඒ ගැන මගෙන් අහන්න එපා. මොකද මම කැමති නැහැ කවුරුත් විවේචනය කරන්න. ඒ හාමුදුරුවෝ කරන්නේ ඒ හාමුදුරුවන්ගේ කැමැත්ත. මේක මගේ කැමැත්ත. අපි සියලු දෙනා අනුන්ගේ අඩුපාඩු හොයන්න ඉස්සරලා තමන්ගේ අඩුපාඩු මොනවාද කියලා හිතලා බලන්න ඕනෑ .ඒ නිසා මම මගේ අඩුපාඩු මොනවාද කියලා හිතනවා. එපමණයි."

දින හතරක කාලයක් උපවාසයක නිරත වූ අතුරලියේ රතන හිමියන් සඳුදා පස්වරුවේ එය අවසන් කළ අතර උපවාසය අතරතුර බෞද්ධ හිමිවරු පමණක් නොව කාදිනල් රංජිත් මැල්කම් හිමිපාණන් වැනි අන්‍ය ආගමික නායකයන් ද පැමිණ උන්වහන්සේගේ සුවදුක් විමසුවහ.

ඇතැම් දෙමළ සහ මුස්ලිම් ප්‍රජා නායකයෝ ද උන්වහන්සේට සහය පළ කළහ.

ඊට සමගාමීව ප්‍රදේශ රැසක එවැනිම උපවාස, විරෝධතා, බස් වර්ජන, වෙළෙඳ සල් වසා දැමීම වැනි ක්‍රියා දක්නට ලැබිණි.

Image caption සත් කෝරළය මහා දිසාවේ උප ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති මහාගල්කඩවල පුණ්‍යසාර හිමි

මේ අතර අතුරුලියේ රතන හිමි විසින් කරන ලද උපවාසය බෞද්ධ දර්ශනයට පටහැනි බව සත් කෝරළය මහා දිසාවේ උප ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති මහගල්කඩවල පුණ්‍යසාර හිමි ප්‍රකාශ කළහ.

එකී උපවාසය මගින් ශ්‍රී දළදා භූමිය තුළ වෛරය පැතිරවූ බව උන්වහන්සේගේ අදහසය.

"මම කියන්නේ රතන හාමුදුරුවෝ මේ රටේ අහිංසක මුස්ලිම් ජනතාවගේ කොන්ද කඩලා දැම්මා. ආත්ම ගරුත්වය විනාශ කළා. ඒ විතරක් නෙමෙයි බුදු හාමුදුරුවෝ ළඟට ගිහින් වෛරය පැතිරුවා. ශ්‍රී දළදා භුමිය කෙළසුවා කියලයි."

අතුරලියේ රතන හිමියන්ගේ උපවාසයට සහය පළ කරමින් බෞද්ධ ජනතාව සමග කතෝලික මෙන් ම හින්දු ජනතාව ද එකතුව විවිධ වැඩසටහන් දියත් කළහ.

Image copyright Ven. Athuraliye Rathana Thera
Image caption කාදිනල් හිමිපාණන් අතුරලියේ රතන හිමියන් බැහැදැකීමට ගිය අවස්ථාව

සමාජ ක්‍රියාධරයෙකු මෙන් ම මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නෙකු ලෙස ප්‍රසිද්ධ සරත් ඉද්දමල්ගොඩ පියතුමා ප්‍රකාශ කළේ, කාදිනල් හිමිපාණන් අතුරලියේ රතන හිමියන් බැහැදැකීම නොකළ යුත්තක් ලෙස තමන් දකින බවය.

"මේ ස්ථානයට යාමට පෙර කාදිනල් හිමිපාණන්ට තිබුණා මේ උපවාස කරන්නේ මොකට ද කියල හිතන්න. මේ රටේ නීතියක් තියනවා .නීතියෙන් කරන්න ඕනෑ දේ බලහත්කාරයෙන් කළා ම හරියනව ද? මේ තුන් දෙනා වැරදිකාරයෝ කියලා ඔප්පු කරන්න සාක්ෂි තියනවා නම් ඒ දේ කරන්න තිබුණා අධිකරණයකට ගිහිල්ලා, නැත්නම් පාර්ලිමේන්තුවේ."

"මේ සියලු දෙනා කළේ රටේ මුස්ලිම් විරෝධයක් නිර්මාණය කිරීමයි. පාස්කු දින ප්‍රහාරයෙන් පසු කටයුතු කළ ආකාරය පිළිබඳව ලොකු ගෞරවයක් කාදිනල් හිමිපාණන්ට රටේ මෙන් ම ලෝකයේත් තිබුණා. මම හිතන්නේ අද මේ වැඩෙන් ඒ සියල්ල හේදිලා ගියා කියලයි." සරත් ඉද්දමල්ගොඩ පියතුමා වැඩිදුරටත් සඳහන් කළහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර