මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීම: "නිදහසින් පසු මුස්ලිම් ඇමතිවරුන් නැති කැබිනට් මණ්ඩලයක්"

Image copyright facebook
Image caption ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමතිවරුන් කීපදෙනෙක්

මුස්ලිම් දේශපාලන නායකයන් ඔවුන් දැරූ අමාත්‍ය පදවිවලින් ඉල්ලා අස්වීම, පාස්කු ඉරිදා ප්‍රහාරවලින් අනතුරුව ඉස්ලාම් 'වහාබ්' අන්තවාදය තම සමාජයෙන් තුරන් කර දැමීමට පොදු මුස්ලිම් ප්‍රජාව දරමින් ඇති උත්සාහය සහ ඔවුන්ගෙන් ලැබෙන සහයෝගයේ වැදගත්කම ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන් විසින් තේරුම් ගනු නොලැබීමේ තවත් දිගුවක් ලෙස බොහෝ විද්වත්හු විග්‍රහ කරති.

පාස්කු ඉරිදා ඉස්ලාම් අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරවලින් අනතුරුව ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන් එවැනි තේරුම් ගැනීමක් කරා යොමුවීම වෙනුවට, 'ලුම්පෙන්' කොටස් යොදා ගනිමින් මුස්ලිම් විරෝධී සමාජ මානසිකත්වයක් නිර්මාණය කර ගනිමින් සිය දේශපාලන ඉලක්ක කරා ලංවීමේ සැලැස්මක් තුළ ක්‍රියා කරමින් ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ සම්මානිත මහාචාර්ය ඒ එම් නවරත්න බණ්ඩාර පවසයි.

බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවක දී අදහස් දැක්වූ මහාචාර්යවරයා, මුස්ලිම් දේශපාලන නායකයන් ඔවුන් දැරූ පදවිවලින් ඉල්ලා අස්වීම එම අමනෝඥ දේශපාලනයේ තවත් අනිටු දිගුවක් හැටියට විග්‍රහ කළේය.

'වහාබ්' අන්තවාදය මුස්ලිම් ප්‍රජාවටත් තර්ජනයක්. එම අන්තවාදයෙන් තමන්ගේ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක මුස්ලිම් ප්‍රජාව නිරත වෙමින් සිටියා. පාස්කු ඉරිදා ප්‍රහාර වලට පෙර පටන්ම මුස්ලිම් ජන සමාජය තුළ අන්තවාදීන්ට එරෙහි එවැනි උත්සහයක් පැවති බව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින අයට පෙනෙන්නට තිබුණා. ඒත් මුස්ලිම් ජන සමාජය තුළ පැවති එම උත්සාහය තේරුම් ගැනීමට සිංහල නායකයන් අපොහොසත් වුණා." මහාචාර්ය ඒ එම් නවරත්න බණ්ඩාර පවසයි.

ගෝලීය ඉස්ලාම් ත්‍රස්තවාදී යුදබිමට ඇදී යාමේ අනතුරින් ශ්‍රී ලංකාව මුදා ගැනීම පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ මතු වූ අභියෝගය බවත්, එම අන්තවාදී සමාජ මනෝවිද්‍යාත්මක පදනම තම ප්‍රජාව අතරින් තුරන් කිරීමට දේශීය මුස්ලිම් සමාජය දරන උත්සහයට සහාය දීම ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වයේ වගකීම වූ බවත් සඳහන් කරන මහාචාර්ය නවරත්න බණ්ඩාර, එහෙත් ඒ වෙනුවට සිදු කරන ලද්දේ සියුම් මුස්ලිම් භීතිකාවක් මවමින් සිංහල සමාජය තුළ ජාතිවාදය පණ ගැන්වීම බවත් පෙන්වා දෙයි.

මුස්ලිම් විරෝධී ප්‍රහාර
Getty
'ලුම්පෙන්' ජන රංචු පාරට දමා මුස්ලිම් විරෝධී සමාජ මානසිකත්වයක් හදනවා
මහාචාර්ය ඒ.එම් නවරත්න බණ්ඩාර
BBC සිංහල

ජන රංචු සංදර්ශන

"පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසුව දිග හැරෙමින් පවතින ජවනිකා මගින් පෙන්නුම් කෙරෙන්නේ දේශපාලකයන් සිය බලලෝභී අරමුණු කෙරෙහි සැලකිල්ල දක්වන ආකාරය මිස වෙනත් දෙයක් නොවෙයි."

"1915 සිංහල -මුස්ලිම් කෝලාහලය, 1958 සිංහල-දෙමළ ගැටුම් සහ 1983 කළු ජූලිය වැනි අවස්ථාවල දී මෙන්ම දැනුත් සිංහල සමාජය තුළ ජාතිවාදී හැඟීම් ව්‍යාප්ත වෙමින් පවතිනවා. මිනිස්සු ක්‍රියාත්මක වෙන්නේ පදනමක් නොමැති වාර්තා සහ කණට වැටෙන කටකතා අනුව. බෙලි ගෙඩියක් තල් අත්තක් උඩට වැටුණාම බියපත් හාවෙක් ලෝකය පෙරළෙනවා යයි කෑ ගසමින් දුවන්න ගත්තාම අනිකුත් සතුනුත් ඉවක් බවක් නැතිව දුවන්න ගත්තා. අද ශ්‍රී ලංකාවෙත් සිදුවෙමින් පවතින්නේ එවැනි තත්වයක් නොවේද?" මහාචාර්ය ඒ එම් නවරත්න බණ්ඩාර ප්‍රශ්න කරයි.

"අද දෙමළ ජන කණ්ඩායමුත් මුස්ලිම් විරෝධී වෙලා. ආගමික වශයෙනුත් ඒ වගේ වෙනස්කම් මතුපිටට ඇවිත් තියෙනවා දකින්න පුළුවන්. මම මේක හඳුන්වන්නේ "රංචු මානසිකත්වයක්" හැටියට. මිනිස්සු අවිඥානිකව ඒ "රංචු මානසිකත්වයට" ඇදිල යනවා. පසුගිය දවස්වල වයඹ සහ වෙනත් ස්ථානවල මුස්ලිම් විරෝධී ප්‍රහාරවලදී දී ඒ රංචු ගැසීම අපට දකින්න ලැබුණා. ඒ රංචු තමයි පාරට බැස්සුවේ "

Image copyright facebook
Image caption මුස්ලිම් නායකයන් කිහිප දෙනෙකුට ඉවත්වෙන ලෙස බල කරමින් උපවාසයේ නිරත අතුරලියේ රතන හිමි

පසුගිය කාලයේ ඇතැම් බලවේග විසින් මුදල් සහ වෙනත් වරදාන දෙමින් එම "රංචු සහ කණ්ඩායම්" නඩත්තු කරමින් තිබුණ බවට දැන් සාක්ෂි ලැබී ඇති බව මහාචාර්ය ඒ එම් නවරත්න බණ්ඩාර පවසයි.

එවැනි පසුබිමක් යටතේ "ජාතියක් හැටියට තමන්ට එරෙහිව පොදු අභියෝගයක් එල්ල වී ඇති" බවක් මුස්ලිම් නායකයන් විසින් තේරුම් ගනු ලැබීම, එම ප්‍රජාවට අයත් දේශපාලන නායකයන් පක්ෂ භේදයෙන් තොරව සමස්තයක් හැටියට ඔවුන්ගේ පදවිවලින් ඉවත්වීමට හේතුවන්නට ඇතැයි නිගමනය කළ හැකි බවත් මහාචාර්යවරයා කියා සිටියි.

"මුස්ලිම් ප්‍රජාව කියන්නේ ආගමික සහ සංස්කෘතික වශයෙන් එකට බැඳුණ ප්‍රජාවක්. ඔවුන්ගේ ආගමික බැඳීම ඉතාම ශක්තිමත්. අප විසින් එය තේරුම්ගත යුතුව තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පස්සේ අපේ සමාජය තුළ වපුරමින් තිබුණේ මුස්ලිම් විරෝධී ආකල්ප. ඒ තත්වයට ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව මුහුණ දෙමින් සිටියා. අපේ දේශපාලන නායකයන් ඒ තත්ත්වය තේරුම් ගත්තේ නැහැ. එවැනි වාතාවරණයක් තුළ තමන්ගේ ජාතියට පොදු තර්ජනයක් තියෙනවාය කියන හැඟීම ඇති වුනාම එම ප්‍රජාවට අයත් සියලුදෙනාටම එය ප්‍රශ්නයක් වෙනවා. මේ ඉල්ලා අස්වීම එවැනි ප්‍රතිචාරයක් වෙන්න ඉඩකඩ තියෙනවා" මුස්ලිම් අමාත්‍යවරුන් පදවිවලින් ඉවත්වීම පිළිබඳව දීර්ඝ විවරණය යෙදෙමින් මහාචාර්ය ඒ එම් නවරත්න බණ්ඩාර සඳහන් කළේය.

මුස්ලිම් අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද විවිධ අදහස් පළ වී තිබුණි.

ට්විටර් ජාලය ඔස්සේ අදහස් දක්වන චතුරි දිසානායක පවසා තිබුණේ සිය නායකයන්ගේ හැසිරීම ගැන මුස්ලිම් ජනතාවට ආඩම්බර විය හැකි බවය.

Image copyright SLHRC
Image caption මුස්ලිම් ජනයා ආරක්ෂා කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගෙන නැතැයි ශ්‍රී. ල. මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම පවසයි

සෝම හිමි අපවත්වීම පාවිච්චි කළ ආකාරයට

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව දිග හැරෙමින් පවතින අරාජික සහ අවස්ථාවාදී දේශපාලන ක්‍රියාකාරකම් හමුවේ ශ්‍රී ලංකාව මේවනවිට 1983 කළු ජූලියෙන් අනතුරුව මුහුණ දුන් මට්ටමේ මහා විනාශකාරී තත්වයක් කරා අවතීර්ණ වෙමින් ඇතැයි රාවය ආරම්භක කර්තෘ වික්ටර් අයිවන් පවසයි.

බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්, දේශපාලන පක්ෂ භේදයකින් තොරව මුස්ලිම් ජාතික ඇමතිවරුන් පදවිවලින් ඉවත්වීම මගින් තත්වය වඩාත් නරක අතට හැරී ඇතැයි කියා සිටියේය.

"පාස්කු ඉරිදා ප්‍රහාරයට පසුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලකයන්ට යම් ආකාරයක රාජ්‍ය තාන්ත්‍රික ප්‍රඥාවක් තිබුණා නම් මේ රටේ රාජ්‍යයේ ඇති වී තිබුණ කුණුවීම කොතරම්ද කියල ඔවුන්ට තේරුම් ගන්නට තිබුණා. පාස්කු ප්‍රහාරය ගැන සියලු තොරතුරු ලැබී තිබුණත් දේශපාලකයන් සහ ආරක්ෂක බලධාරීන් නිදා ගෙනයි ඉඳල තියෙන්නේ. ඒ වරද හඳුනා ගනිමින් වැරැද්ද නිවැරදි කරනවා වෙනුවට දැන් කරන්නේ මුස්ලිම් ජනතාව අතර විශාල භීතියක් නිර්මාණය කරන වැඩ සටහනක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ වැඩ සටහන හරියටම සමාන වෙනවා - ගංගොඩවිල සෝම හාමුදුරුවන් අපවත් වූ මොහොතේ එය ඝාතනයක්ය කියමින් එමගින් දේශපාලන වාසි ලබා ගත් අවස්ථාව සමග. ඉන්පසු මැතිවරණයේ දී සෝම හිමි මරණය යොදා ගනිමින් භික්ෂූන් නව දෙනෙක් පාර්ලිමේන්තු ආසන දිනා ගත්තා." වික්ටර් අයිවන් පවසයි.

ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන කළු ජූලියට ඉඩ දී දවස් පහක් නිහඬවම බලා සිටි බවත් , ඉන්පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් (හයවෙනි සංශෝධනය) මගින් දෙමළ මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවෙන් පිටමං කිරීමට කටයුතු කළ ආකාරයත් සිහිපත් කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්, ඉන් අනතුරුව ජයවර්ධන ජනාධිපතිවරයාට ගනුදෙනු කිරීමට සිදුවුණේ ත්‍රස්තවාදය සමග බවත් පෙන්වා දුන්නේය.

අදාළ වාර්තා;

ප්‍රජාතන්ත්‍රීය මුස්ලිම් ජනතා නායකයන් අහිමි කර ගන්නා තත්වයක් යටතේ වත්මන් පාලකයන්ටත් ඉදිරි කාලයෙහි ගනුදෙනු සිදු කිරීමට සිදුවනු ඇත්තේ මුස්ලිම් අන්තවාදය සමග විය හැකි බවත් ඔහු අනුමාන කරයි.

මුස්ලිම් විරෝධී ප්‍රහාර
Getty
මුස්ලිම් විරෝධී වැඩසටහන අවසන් වෙන්නේ රට ගිනි තැබීමෙන් සහ ගිනි තබන්නන් ද ඒ ගින්නෙන් දැවී අළු වී යාමෙන්
වික්ටර් අයිවන්
BBC සිංහල

"සෝම හාමුදුරුවන්ගේ මරණය සාමාන්‍ය අපවත් වීමක් නොව ක්‍රිස්තියානි කුමන්ත්‍රනකාරී ක්‍රියාවක ප්‍රතිපලයක් යයි අර්ථ දැක්වෙන ප්‍රවාදයක් ගොඩ නගමින් එදා බෞද්ධයන් අතර කිතුනු ජනතාව සම්බන්ධයෙන් එදිරිවාදී පිළිකුල් සහගත ආකල්පයක් සහ බියක් මුදා හැරියා. එම ව්‍යාජ සංදර්ශනයට සමාන සංදර්ශනයක් තමයි- පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සෙත් පවත්වමින් සිටින්නේ. එමගින් අන්තවාදීන්ගේ ක්‍රියාවක් සමස්ත මුස්ලිම් ප්‍රජාව මත පැටවීමේ වැඩ සටහනක් තමයි- ගෙන යමින් සිටින්නේ"

මෙම මුස්ලිම් විරෝධී වැඩ සටහන අවසන් විය හැක්කේ රට ගිනි තැබීමෙන් සහ එම ගිනි තියන්නන් ද ඒ ගින්නෙන්ම දැවී අළු වී යාමෙන් වියහැකි බවටත් දේශපාලන විශ්ලේෂක වික්ටර් අයිවන් අනතුරු අඟවයි.

"මුස්ලිම් දේශපාලනඥයන්ගේ ඉල්ලා අස්වීම මගින් බලධාරීන්ට පණිවුඩ කීපයක් දෙනවා. එකක්, අපි තනතුරුවලින් ඉවත් වෙන්නම් අවශ්‍ය පරීක්ෂණ සිදු කරන්න කියන එක. දෙවැන්න; සමහරු නීතිය අතට ගනිමින් ආණ්ඩුවේ තනතුරුවල නිරත වෙන්නන් ඉවත් කළ යුතු බවට කරන තර්ජනය සැලකිල්ලට ගැනීම. ඊළඟට, අපට මේ විධියට පීඩා කරනවා නම්, අපි ඉවත් වෙන්නම්- ඔයගොල්ලන් කරගෙන යන්න කියන පණිවුඩය ආණ්ඩුවට සහ විපක්ෂයට දීම"

කෙසේවුවද, මේ වාතාවරණය යටතේ නුදුරු අනාගතයෙහි ශ්‍රී ලංකාවට දරුණු ආර්ථික ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවිය හැකි බවටත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් බලධාරීන්ගේ අවධානය යොමු කරයි.

ජාතිවාදී ගිනිදළු මැද

මුස්ලිම් ඇමතිවරුන් පදවිවලින් ඉවත්වීම මගින් දෙනු ලබන සංකේතාත්මක පණිවුඩය "දේශපාලන භේදයකින් තොරව ඔවුන් අතර පවතින සගිය, එකමුතුභාවය" යයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ පවසයි.

Image caption ජන රංචු මුස්ලිම් විරෝධී ක්‍රියා සිදුකළ ස්ථාන දැක්වෙන සිතියමක්

"ශ්‍රී ලංකාවේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ගයන්හි දී මුස්ලිම් දේශපාලන සංවිධාන සහ නියෝජිතයන් විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව සඥාවක් තමයි මේ දීලා තියෙන්නේ. ඒවගේම සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේග ක්‍රියා කරන ආකාරය අනුව සමස්ත මුස්ලිම් ජනතාව අන්තවාදය දෙසට තල්ලු කිරීමේ අනතුරකුත් දැන් උද්ගත වෙලා තියෙනවා" ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ පෙන්වා දෙයි.

"සහරාන් කල්ලියේ ක්‍රියාවන් සමස්ත මුස්ලිම් ප්‍රජාව මත පැටවීමේ උත්සාහය සහ පසුගියදා මුස්ලිම් ජනයා ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණ ප්‍රහාරත් සමග ජාතිවාදී ගිනිදළු දැල්වෙන්න පටන් අරන් තියෙනවා. එවැනි පරිසරයක් තුළ මුස්ලිම් නායකයන් ගත් පියවර මගින් ජාතියට ප්‍රබල පණිවුඩයක් දෙනවා" ඔහු කියා සිටියි.

ජාතිවාදී දේශපාලන පක්ෂ සහ සංවිධාන මුස්ලිම් විරෝධී මතවාදය පෝෂණය කරමින් සිටියදී , ශ්‍රී ලංකාවේ දමිළ සහ මුස්ලිම් ජනයා ඔවුන්ගෙන් ඈත් වෙමින් සිටින අතර, එය රටේ සංහිඳියාව සඳහා උපයෝගී කර ගත හැකි තත්වයක් වන බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහගේ අදහස වෙයි.

මුස්ලිම් විරෝධී ප්‍රහාර
Getty
'අපට මේ විදිහට පීඩා කරනවා නම්, අපි ඉවත් වෙන්නම්: ඔයගොල්ලන් කරගෙන යන්න' කියන පණිවුඩය ආණ්ඩුවට වගේම විපක්ෂයටත් දෙනවා
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ
BBC සිංහල

මේ තත්වය යටතේ ඉදිරි ජනාධිපතිවරණයේ දී සිංහල බෞද්ධ බලවේග ඒකරාශී වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන නමුත්, අනිත් අතින් සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සහ සුළු ජාතික දේශපාලන පක්ෂ සහ සංවිධාන එක්තැන් වීමක් ද සිදුවිය හැකි බවට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා අනාවැකි පළ කරයි.

ඓතිහාසික තීන්දුවක්

මුස්ලිම් මහජන නියෝජිතයන්ගේ ඉල්ලා අස්වීම් තේමාවන් දෙකක් යටතේ විශ්ලේෂණය කළ හැකියයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සාමාජික නීතිඥ ජාවෙඩ් යූසුෆ් පවසයි.

සෞදි අරාබියේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයකු ද වන නීතිඥ ජාවෙඩ් යූසුෆ් බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින්, ආණ්ඩුකාරවරුන් දෙදෙනාගේ ඉවත්වීම් ඔවුන් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙමින් පවතින චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන මට්ටමින් විභාග කිරීමට ඉඩප්‍රස්ථාව ලබා දීමක් ලෙසත්, ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ ඉවත් වීම සමස්ත මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල වෙමින් පවතින පීඩාව නිසා ගත් පියවරක් ලෙසත් විග්‍රහ කළ හැකි බව සඳහන් කළේය.

Image copyright Getty Images
Image caption පාස්කු ප්‍රහාරයෙන් මරා දැමුණ ජනතාව වෙනුවෙන් පුද පූජාවන්ට සහභාගී වෙන මුස්ලිම් ජනතාව

කෙසේවුවද, එවැනි ඉවත්වීමක් මින් පෙර වාර්තා වී නොමැති හෙයින් මෙය ඓතිහාසික අවස්ථාවක් වන බව නීතිඥ ජාවෙඩ් යූසුෆ්ගේ අදහස වෙයි.

"මුස්ලිම් ජනයාට එරෙහිව පසුගිය කාලය තුළ එල්ල වෙමින් තිබුණ වෛරී ප්‍රකාශන නිසාත්, මුස්ලිම් ජනයාගේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් මතු වී ඇති නිසාත්, එසේම මේ කාරණයේ දී ආණ්ඩුවේ මැදිහත්වීම කිසිසේත්ම සතුටුදායක නැති නිසාත් ඊට විරෝධය පළ කිරීමක් හැටියටයි එම පියවර ගෙන තිබෙන්නේ"

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හයවෙනි සංශෝධනය මගින් දමිළ මහජන නියෝජිතයන් අහිමි කර ගැනීම තත්වයක් මෙම වාතාවරණය තුළ මතු වේදැයි බීබීසිය ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් නීතිඥ ජාවෙඩ් යූසුෆ්, ඇමති පදවිවලින් ඉවත් වුනත් ඔවුන් පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇති හෙයින් එවැනි තත්වයක් උද්ගත නොවනු ඇතැයි බලාපොරොත්තු පළ කළේය.

නීතිඥ ජාවෙඩ් යූසුෆ්
Getty
ආණ්ඩුව ලෙඩේට දෙන්නේ වැරදි බෙහෙත්. අන්තිමේ දී වෙන්නේ ලෙඩා මියයාම
නීතිඥ ජාවෙඩ් යූසුෆ්
BBC සිංහල

"1983 දී වැරදි ආකාරයට කටයුතු කරමින් දමිළ මහජන නියෝජනය අහිමි කර ගත්තා. 83 ජුලි මාසයේ දෙමළ ජනතාවට පහර දීල, ඊළඟට ඔවුන්ගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නැති කරපු නිසා තමයි - දමිළ ජනයා වැරදි පැත්තක ගියේ. දැන් එම වරද වෙනත් ආකාරයකට සිදු කර ගනිමින් සිටිනවා. උදාහරණයක් විධියට 'මද්‍රාසා' මුස්ලිම් පාසල් පාලනය සම්බන්ධයෙන් ඉදිරිපත් වෙමින් පවතින අදහස දක්වන්න පුළුවන්. 'මද්‍රාසා' පාසල් සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය තුළත් කතිකාවක් තියෙනවා. ඒත් සහරාන් 'මද්‍රාසා' මුස්ලිම් පාසල් අධ්‍යාපනය නිසා අන්තවාදයට ගිය කෙනෙක් නොවෙයි. ඔවුන් ආභාෂය ලබන්නේ අන්තර්ජාලයේ අන්තවාදී වෙබ් අඩවිවලට පිවිසීමෙන්." ජාවෙඩ් යූසුෆ් පවසයි.

"අප්‍රියෙල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව අන්තවාදයට එරෙහිව මුස්ලිම් ජනතාව දුන් සහයෝගය අමතක කරමින් අසූ තුනේදී වගේ වැරදි ප්‍රතිකාර කරමින් සිටිනවා."

එවැනි ක්‍රියාමාර්ගයක් මගින් ඇතිවිය හැකි අන්තරාය කුමක්දැයි විමසීමක් කළ විට ඊට පිළිතුරු දුන් සමාජ ක්‍රියාකාරික නීතිඥ ජාවෙඩ් යූසුෆ්, ඇතිවිය හැකි බලපෑම කුමක්දැයි දැන්ම කිව නොහැකි නමුත් එමගින් ඇති කෙරෙන බලපෑමක් ඇති බව සඳහන් කළේය.

Image caption පාස්කු ප්‍රහාරවලින් පසු ත්‍රස්තවාදයට එරෙහිව පළ වූ මුස්ලිම් සහයෝගය

"මුස්ලිම් දේශපාලකයන්ගේ ක්‍රියාවන් පමණක් නොවෙයි. ජාතිවාදය අවුස්සමින් බලය දිනා ගන්න උත්සාහ කරන නායකයන් සහ දේශපාලන පක්ෂත් තියෙනවා. ඒ නිසා ආණ්ඩුවේ ප්‍රධානීන් නායකත්වය ගනිමින් අපේ ප්‍රජාතන්ත්‍රීය සම්ප්‍රදායෙන් පීලි පනින්නේ නැතිව එසේම කිසිදු ජන කොටසකට හානි නොවන ආකාරයට පාලන ක්‍රමය පෙරට ගෙන යායුතු වෙනවා"

මෙම වගකීම පැවරෙන්නේ රාජ්‍ය නායකත්වයට බවත් ඔහු පෙන්වා දෙයි.

රටක් වශයෙන් පෙරට යාමට නම්, සිංහල දමිළ හෝ මුස්ලිම් ආදී ජනවාර්ගික භේදයන්ගෙන් තොරව හැම ජන කොටසකටම යුක්තිය ඉටුවිය යුතු බවත් නීතිඥ ජාවෙඩ් යූසුෆ් අවධාරණය කරයි.

කෙසේවුවද, අද පවතින වාතාවරණය තුළ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව අන්තවාදයට තල්ලු නොවනු ඇතැයි ඔහු බලාපොරොත්තු පළ කරයි.

මුස්ලිම් ඇමතිවරුන් පදවිවලින් ඉවත්වීම පාස්කු ඉරිදා ප්‍රහාරයටත් වඩා බරපතල භයානක සිදුවීමක් හැටියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය කැබිනට් හමුවේ දී ප්‍රකාශ කර ඇතැයි ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන කීපයක් මගින් වාර්තා කරනු ලැබ ඇත.

මේ අතර ප්‍රකාශයක් කරන අගමැති රනිල් වික්‍රමසිංහ, මුස්ලිම් ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ඉල්ලා අස්වීමත් සමග නිදහසින් පසු එකම මුස්ලිම් ඇමතිවරයකු නොමැති කැබිනට් මණ්ඩලයක් දැන් ශ්‍රී ලංකාවේ පවතින බවත් එය රට අයහපත් තත්වයක් බවත් පෙන්වා දුන්නේය.

කියවන්න;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර