'ජාතිවාදය පැරදවීමට' ජවිපෙ ඉදිරිපත් කළ යෝජනාවලියේ ප්‍රධාන කරුණු

Image copyright JVP/Facebook

ජාතික සමගිය තහවුරු කිරීම මගින් ජාතික ආරක්ෂාව තර කිරීම සඳහා වන විශේෂ යෝජනා මාලාවක් ජනතා විමුක්ති පෙරමුණ විසින් එළිදක්වා ඇත.

ජනතා විමුක්ති පෙරමුණ එය හඳුන්වා ඇත්තේ, "ආගමික උමතු අන්තවාදයත්, ජාතිවාදයත් පරදවන ජාතික ආරක්ෂාව හා මහජන ආරක්ෂාවත්, ජාතික සමගියත් තහවුරු කරන ජ.වි.පෙ. විශේෂ යෝජනා මාලාව" යනුවෙනි.

එම යෝජනා මාලාවේ ඇතුළත් විශේෂ කරුණු මොනවා ද?

ශ්‍රී ලංකාවේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන ප්‍රධාන නිගමන තුනකි.

  • ත්‍රස්තවාදී අන්තවාදී සංවිධාන බිහි වීමට ඍජුව හෝ වක්‍රව ඇමෙරිකාව හේතු වී ඇති බව.
  • එක් එක් ජාතිවාදයන් සහ අන්තවාදයන් විසින් අනෙක් පාර්ශවයේ ජාතිවාදයන් සහ අන්තවාදයන් පෝෂණය කරනු ලබන බව.
  • ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව තහවුරු කළ හැක්කේ, ජාතික සමගිය ඇති කිරීමෙන් පමණක් බව.

ජාතික සමගිය ඇති කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාවලිය ක්ෂේත්‍ර අටක් අදාළ කර ගනිමින් ඉදිරිපත් කර තිබේ.

1. පොදු ප්‍රතිසංස්කරණ යෝජනා

  • ශ්‍රී ලංකාව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී සියලු ම ජාතිකත්වයන්ට අයත් සියලු පුරවැසියන්ට සමාන පුරවැසි අයිතිය සහිත ජනරජයක් බව පිළිගත යුතුය.
  • ශ්‍රී ලංකාව තුළ ඕනෑ ම ආගමක් ඇදහීමට මෙන් ම, කැමති පුද්ගලයකුට තමා කැමති ආගමක් ඇදහීමට ඇති අයිතිය සම්පූර්ණයෙන් පිළිගත යුතුය; ආරක්ෂා කළ යුතුය.
  • ජාතික, ආගමික, ලිංග භේදයකින් තොරව ශ්‍රී ලංකාවේ සියලුම පුද්ගලයන් අපරාධ හා සිවිල් නීතිය තුළ සමාන විය යුතුය; සමානව පාලනය විය යුතුය. දැනට ජාතික, ආගමික හා ලිංගික වශයෙන් වෙනස්කම් ඇති සිවිල් නීති පොදු නීති යටතට ගත යුතුය. ආගමික අයිතිය පෞද්ගලික වන නමුත් නීති රාජ්‍යයට අයිති වේ. ආගමික සංස්ථාවලට අදාළව පවතින නීති හෝ සම්ප්‍රදායයන් පොදු නීතිය අභියෝගයට ලක් නොකරන ඒවා විය යුතු අතර පොදු නීතිය ම සැම විට ම බලාත්මක විය යුතුය.
  • ජාති, ආගම් හා ප්‍රදේශ පදනමින් දේශපාලන පක්ෂ ආරම්භ කර පවත්වාගෙන යාම, ලියාපදිංචි කිරීම නතර කිරීමට නීති සකස් කළ යුතුය.‍
  • ජාතිවාදී ආගම්වාදී ගැටුම්වලින් පීඩාවට පත් බොහෝ රටවල ක්‍රියාවට නගා ඇති පරිදි, ජනතාව අතර ගොඩනැගී ඇති සැකය, වෛරය හා අවිශ්වාසය දුරු කිරීම සඳහා සත්‍යය හා ප්‍රතිසංධාන කමිටුවක් වහා පත් කළ යුතුය.
  • ජාතික, ආගමික, කුල හෝ ලිංගිකමය වෙනස්කම් නිසා ඇති කෙරෙන හිංසා හා බලපෑම් වැළැක්වීමට 'වෙනස්කම් වැළැක්වීමේ කොමිසමක්' ස්ථාපනය කළ යුතුය.
  • වෛරී ප්‍රකාශ සිදු කිරීම හා ප්‍රචාරය කිරීම වැළැක්වීමේ 'වෛරී ප්‍රකාශ පාලනය කිරීමේ පනතක්' හඳුන්වා දිය යුතුය.

2. මහජන ආරක්ෂාව

  • මහජන ආරක්ෂාව හා රටේ පොදු ආරක්ෂාව තහවුරු කිරීමේදී, විදේශ රටවල් හෝ ආරක්ෂක සංවිධාන සමග ගිවිසුම්වලට එළඹීමේදී, රටේ ස්වෛරීත්වයට හා ස්වාධීනත්වයට හානිකර ඒවාට අත්සන් නොකළ යුතුය.
  • රටේ පොදු තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් පද්ධතිය පාලනය සහ අධීක්ෂණය සම්පූර්ණයෙන් ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන මගින් පමණක් සිදු කළ යුතුය.
  • විදේශීය ත්‍රස්තවාදීන් හා විදේශීය ත්‍රස්ත සංවිධානවල කටයුතු කළ පුද්ගලයන් ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීමේ පනතක් සම්පාදනය කළ යුතුය.
  • දේශපාලන හෝ ආගමික හෝ ශුභසාධනමය හෝ පෞද්ගලික මට්ටමින් ගොඩනගන සංවිධාන පාර්ලිමේන්තුවේ සංස්ථාපනය කිරීම සීමා කිරීම හා අධීක්ෂණය කිරීමට අවශ්‍ය වෙනස්කම් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට ඇතුළත් කිරීම.
  • එවැනි සංවිධාන ස්ථාපනය කිරීමේදී ඒවා සැලකිය යුතු කාල පරාසයක් ක්‍රියාකාරී ලෙස කටයුතු කළ ඒවා විය යුතුය. එම සංවිධාන එක් ආගමකට හෝ ජාතියකට සේවා සපයන ආයතන නොවිය යුතුය.
  • රාජ්‍ය බුද්ධි අංශ හෝ විවිධ ආරක්ෂක අංශවලින් ආගම්වාදී, ජාතිවාදී, අන්තවාදී සංවිධාන ගොඩනැගීම, පවත්වාගෙන යාම, ආධාර, උපකාර හා රැකවරණය ලබා දීම පිළිබඳව දැනට ඉදිරිපත් වී ඇති චෝදනා විභාග කිරීමට පූර්ණ බලැති කොමිසමක් පත් කළ යුතුය.
  • දේශපාලන හෝ වෙනත් බලපෑම් නිසා රාජ්‍ය නිලධාරීන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා නීතිරීති රෙගුලාසිවලට පටහැනිව රටේ ආරක්ෂාවට, මහජන සාමයට හා සංහිඳියාවට බාධා වන අයුරින් කටයුතු කිරීමට බලපෑම් එල්ල වන නිශ්චිත අවස්ථාවන්හිදී ඒවා ඉටු නොකර සිටීමටත්, ඒවා ඉහළ අධිකරණයකට පැමිණිලි කිරීමට හා අවශ්‍ය අවස්ථාවන්හිදී ජනතාවට දැන්වීමටත් නිලධාරීන්ට අයිතිය ලැබෙන නීති සම්පාදනය කළ යුතුය.

3. නීති ප්‍රතිසංස්කරණය

  • රටේ සියලු ම පුරවැසියන්ට බලපාන පරිදි එක් පොදු නීති පද්ධතියක් ඇති කළ යුතුය.
  • ළමා හා කාන්තා සමානත්මතාවයේ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පදනමින්;
  1. විවාහ වීමේ වයස පොදුවේ අවුරුදු 18ක් ලෙස සැලකීම
  2. බහු විවාහ සඳහා ඇති නීතිමය ඉඩකඩ අහෝසි කිරීම
  3. විවාහ දේපළ පැවරීමේදී කාන්තාවට අසමාන ලෙස සැලකීමේ නීති අහෝසි කිරීම
  • විවාහයේදී ජාතිය, ආගම, නම, කුලය මත කිසිදු බලපෑමක් ඇති නොකිරීම හා ඒවා සිය කැමැත්තෙන් තොරව වෙනස් කිරීමට බලපෑම් කිරීම තහනම් කිරීම.
  • ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ ශ්‍රී ලංකාව තුළ සම්මත නීති හැර වෙනත් කිසිදු නීතියක් ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමට හෝ බලාත්මක කිරීමට කටයුතු නොකිරීම.

4. ආගමික ආයතන ප්‍රතිසංස්කරණ හා පරිපාලනය

  • සියලු ආගම් සඳහා, රජය පිළිගත් ඒ ඒ ආගම්වල ප්‍රධානීන්ගෙන් හා ආගමික උගතුන්ගෙන් සමන්විත ආගමික මණ්ඩල ස්ථාපනය කළ යුතුය.
  • එම ආගමික මණ්ඩලවල ප්‍රධාන නියෝජිතයන්ගෙන් සමන්විත අන්තර් ආගමික ලේකම් කාර්යාලයක් සහ සභාවක් රාජ්‍ය නායකයාගේ ආගමික කටයුතු භාර ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවිය යුතුය.
  • සියලු ආගම් සඳහා එක් අමාත්‍යංශයක් පිහිටුවීම.
  • ආගමික ස්ථාන ඉදිකිරීමේදී හා විශාල මට්ටමින් පුළුල් කිරීමේදී අන්තර් ආගමික සභාවේ අනුමැතියෙන් අදාළ පළාත් පාලන ආයතනයේ හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ අනුමැතියෙන් පමණක් සිදු කිරීම.
  • සියලු ආගම් අතර ගොඩනැගී ඇති අවිශ්වාසයන් හා සැකය ඉවත් කර ගැනීම වෙනුවෙන් එම ආගම්වල පූජ්‍ය පක්ෂය හා අනුගාමිකයන් එක්ව පුළුල් හා අඛණ්ඩ සංගායනාවන් ජාතිකව හා ප්‍රාදේශීයව පැවැත්වීම.
  • ආගමික ආයතන නියාමනය කිරීම සඳහා දැනට ඇති පනත් නිසියාකාරව නියාමනය කළ හැකි පරිදි සංශෝධනය කිරීම.

5. අධ්‍යාපනය

  • ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතන, පෙර පාසල්, පාසල්, උසස් අධ්‍යාපන ආයතන, සම්පූර්ණයෙන් ම ජාති, ආගම් පදනමින් ආරම්භ කිරීම හා පවත්වාගෙන යාම අහෝසි කිරීම.
  • සියලු ම පෙර පාසල් හා පාසල්වලට දරුවන් තෝරා ගැනීමේ නීතිරීති සියලු ම ජාති, ආගමික කණ්ඩායම්වල දරුවන්ට විවෘත වන පරිදි සකස් කිරීම.
  • රජයේ සියලු පාසල්වල පොදු ජාතික විෂය මාලාවක් ඉගැන්වීම සහ සියලු පාසල්හි සිංහල හා දෙමළ මාධ්‍යයන් දෙකෙන්ම අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය පියවර ගැනීම හා සම්පත් ලබා දීම.
  • ආරම්භයක් වශයෙන් සියලු පාසල්වල ප්‍රාථමික අංශ සියලු ජාතික, ආගමික කණ්ඩායම්වලට අයත් මිශ්‍ර පාසල් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කිරීම.
  • පෞද්ගලික හා ජාත්‍යන්තර නමින් පවත්වාගෙන යන සියලු පාසල්හි ශ්‍රී ලංකාවේ දරුවන්ට ඉගැන්වීමේදී පොදු ජාතික විෂය මාලාව හෝ රටේ සංස්කෘතික සමාජයීය රටාවන් පිළිබඳ අවබෝධයක් ලැබෙන පරිදි විෂය මාලා සකස් කිරීම.
  • සියලු ම පාසල්වල ප්‍රධාන ආගම්වලට අයත් ආගමික හරයන් හා සංස්කෘතිය පිළිබඳව දරුවන්ට උගන්වන විෂය මාලා හඳුන්වා දීම.
  • රටේ සියලු ම පාසල් පවත්වාගෙන යාමේදී පොදු පාසල් දින දර්ශනයක් ඇති කිරීම සඳහා පියවර ගැනීම.
  • පාසල් හා විෂය නිර්දේශ පෙළපොත් සිංහල, දෙමළ, මුස්ලිම් සෑම දරුවෙකුටම රට පිළිබඳ ආදරයක් හා උරුමයක් ඇති වන පරිදිත්, ජාතික සමගිය හා සංහිඳියාව නිර්මාණය කිරීමේ අරමුණින් යුතුවත්, ශාස්ත්‍රීය හා විද්‍යාත්මක පදනමක් මත සමාලෝචනය කිරීම.
  • වයස අවුරුදු දහ අටට(18) අඩු කිසිම දරුවකු පොදු පාසල් අධ්‍යාපනය වෙනුවට, සාමාන්‍ය පොදු විෂය මාලාවන් උගන්වනු නොලබන හා ආගමික ඉගැන්වීම් පමණක් සිදු කරනු ලබන අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාමට නොහැකි වන පරිදි නීති සකස් කර ක්‍රියාවට නැගීම.
  • ආගමික පූජකයන් පුහුණු කිරීම ආගමික කටයුතු පිළිබඳ ලේකම් කාර්යාලය හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ හා අදාළ පළාත් පාලන ආයතනයේ අධීක්ෂණය මත පමණක් සිදු කළ හැකි පරිදි නියමිත ක්‍රියාවලියක් ආරම්භ කිරීම.

6. ශ්‍රී ලාංකේය අනන්‍යතාවක් ඇති කිරීම සඳහා වන රාජ්‍ය ආයතන හා පොදු ප්‍රතිසංස්කරණ

  • රාජ්‍ය ආයතන තුළ ශ්‍රී ලාංකේය අනන්‍යතාව තහවුරු වන පරිදි කටයුතු කිරීම.
  • ආණ්ඩුව හා පළාත් පාලන ආයතන මගින් අනුමැතියකින් තොරව හා විශේෂ ආගමික අවශ්‍යතාවකින් තොරව පොදු මංමාවත් හා ස්ථානවල විවිධ ආගමික සංකේත ඉදිකිරීමට ඉඩ නොදීම.
  • ජනතාවට තමන් කැමති තැනක පදිංචි වීමට ඇති මූලික අයිතිය පිළිගත යුතුය.
  • පෞද්ගලික ආයතන හා වෙළෙඳ ආයතනවල (ආගමික ස්ථාන හැර) ආගම හෝ ජාතිය ප්‍රකාශ කරන නාමයන් රහිත වීම.
  • අනන්‍යතාව අපැහැදිලි ඇඳුම් පැළඳුම් භාවිතය වෙනස් කිරීමට පියවර ගැනීම.
  • සංඥා පුවරුවල සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා පමණක් සඳහන් කිරීම.
  • රාජ්‍ය භාෂා පනත කාර්යක්ෂමව සිංහල, දෙමළ භාෂාවන්ගෙන් ක්‍රියාත්මක කිරීම.
  • ශ්‍රී ලංකාවේ වෙසෙන සෑම ජන කොටසකට ම ශ්‍රී ලංකාව සමාන ලෙස අයිති බව දරු දැරියන්ට බාල වියේ සිටම ඒත්තු ගැන්වීම.

7. ජනමාධ්‍ය

  • ජනමාධ්‍ය භාවිතයේදී පුද්ගලයන්ගේ ජාතිය සහ ආගම ඉස්මතු කෙරෙන වාර්තාකරණයන් නැවැත්වීමට කටයුතු කිරීම.
  • විද්‍යුත් මුද්‍රිත හා සමාජ මාධ්‍ය යොදාගෙන ජාතීන් අතර සැකය හා අවිශ්වාසය ඇති කිරීම වැළැක්වීමට වහා පියවර ගැනීම.
  • විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය යොදා ගනිමින් ජනතාව අතර මිථ්‍යාවන් පැතිරවීම වැළැක්වීමට පියවර ගැනීම.
  • රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා එක් ආගමකට පමණක් සීමා නොකිරීම.
  • ජාතික සමගිය හා මහජන සාමය පෝෂණය වන අයුරින් මාධ්‍යකරණයේ යෙදීමට නිර්ණායක පද්ධතියක් සකස් කිරීම.
  • ජනමාධ්‍ය ඔස්සේ ආගමික හිංසා පිළිබඳ පුවත්, අපහාස කිරීමේ වෛරීසහගත ප්‍රකාශ ප්‍රචාරය වීම වැළැක්වීමට හා අධීක්ෂණය කිරීමට ක්‍රමවේදයක් සැකසීම.

8. ආගමික වියතුන් සතු විශේෂ කාර්යභාරය

  • ජනතාවගේ ආගමික නොවන එදිනෙදා කටයුතුවලට ආගමික ආයතන විසින් සිදු කරනු ලබන පාලනය හා අනවශ්‍ය මැදිහත් වීම් අවම කිරීමට රීති සංග්‍රහයක් සකස් කිරීම.
  • මුස්ලිම් ජනතාව වෙළෙඳ සහ ආගමික කටයුතුවලට පමණක් සීමා නොකර ක්‍රීඩා, කලා ආදී පොදු කටයුතුවලට යොමු කරවීම.
  • වාර්ගික හෝ ආගමික අනන්‍යතාව ප්‍රදර්ශනය කළ යුතු හා ඒවා අවම කරගත හැකි අවස්ථා පිළිබඳව එකඟත්වයකට පැමිණීම.
  • ජාතික හා ජාත්‍යන්තර අන්තවාදී ප්‍රවණතා පිළිබඳ විමර්ශනයක් හා අධීකෂණයක් සහිතව ඒවා වැළැක්වීමට පියවර ගැනීම.
  • ඉස්ලාම් විරෝධී මතයේ බලපෑම් අවම කිරීමට පොදු කලා ක්ෂේත්‍රයට මුස්ලිම් කලාකරුවන්ගේ දායකත්වය වැඩි කිරීම.
  • මුස්ලිම් කාන්තාවන්ට පනවා ඇති සීමා ලිහිල් කරමින් ඔවුන්ට සාමාන්‍ය කාන්තාවන් සමග පොදු සමාජ ජීවිතයකට පිවිසීමට ඉඩකඩ සැලසීම.
Image copyright jvp/facebook
Image caption ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා මහා සංඝරත්නයට පිළිගැන්වීම

මෙම යෝජනා මාලාව පිළිබඳව සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළ වී තිබූ අතර ඉන් කිහිපයක් පහත දැක්වේ.

Image copyright Facebook
Image copyright Facebook

කියවන්න;