"මෙතන වැඩ වෙන්නේ මාෆියාවක වගේ"

කුරුණෑගල - කොළඹ මාර්ගයේ රාත්‍රියේ ගමන් ගන්නා විට වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ අපි අනන්තවත් දැක ඇත්තෙමු.

සමහර ටිපර් රථ ගමන් කරන්නේ අධික වේගයෙනි. මාර්ග නීති ඔවුන්ට අදාළ නැතුවා සේය.

මෙම වැලි පුරවාගත් ටිපර් රථ මාර්ග අනතුරුවලට ලක් වී ජීවිත හානි වූ අවස්ථා ද වාර්තා විය.

මෙම ටිපර් රථ පැමිණෙන්නේ පොලොන්නරුව, කන්තලේ සහ මහියංගනය වැනි ප්‍රදේශවලිනි.

දිනකට වැලි පුරවා ගත් ටිපර් රථ 500කට අධික සංඛ්‍යාවක් මෙම ප්‍රදේශවලින් විවිධ පළාත් කරා ඇදෙන බව බලධාරීහු පවසති.

Image caption වැලි ගොඩට ගෙන එන බෝට්ටු

මනම්පිටිය වැලි කැණීමේ ව්‍යාපෘතිය:

නිලධාරීන් පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි කර්මාන්තයට අවශ්‍ය වැලි සැපයුමෙන් 50%ක් පමණ සපයනු ලබන්නේ, පොලොන්නරුව මනම්පිටියේ මහවැලි ගඟ ආශ්‍රිතව සිදුකෙරෙන වැලි කැණීමේ ව්‍යාපෘතිය මගිනි.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයට 60%ක කොටස් හිමි ආයතනයක් වන ජී එස් එම් බී තාක්ෂණික සේවා පුද්ගලික සමාගම විසින් මෙම ව්‍යාපෘතිය කළමනාකරණය කරනු ලබයි.

වැලිකන්ද, අරලගංවිල, නිදන්වල, ලංකාපුර සහ බෝවත්ත යන ස්ථානවල ද ඊට අනුබද්ධව වැලි කැණීම සිදුවේ.

දිනකට එම ආයතනයෙන් නිකුත් කරන වැලි ටිපර් සංඛ්‍යාව මෙසේය.

  • මනම්පිටිය - ටිපර් 300-500
  • වැලිකන්ද, අරලගංවිල, නිදන්වල, ලංකාපුර සහ බෝවත්ත - ටිපර් 100-150

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අමාත්‍යධූරය දරන මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයකි.

පසුගිය දා පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය පාලම අසල පිහිටි එම ව්‍යාපෘති බිමට යාමට අවස්ථාවක් බීබීසී සිංහල සේවයට උදාවිණි.

උප සංස්කෘතියක්:

Image caption නියමිත වේලාවෙන් පසු ක්‍රියාත්මක ලෝඩරයක්

එම ස්ථානයට ගිය අප හට දැනුණේ "වෙන ම ලෝකයකට" ගියා වැනි හැඟීමකි.

තරුණයන් පිරිසක් එක් තැනක කාඩ් ක්‍රීඩා කරති.

තවත් පිරිසක් තවත් තැනක සිගරට් බොමින් දේශපාලන සාකච්ඡාවක් පවත්වති.

ඔවුන් අප දිහා බැලුවේ ද සැකයෙනි.

"මේ ස්ථානයේ තියෙන්නේ අමුතු ම උප සංස්කෘතියක්. සමාජ විරෝධී වැඩත් සිද්ධ වෙනවා. ගංජා මත්ද්‍රව්‍යත් මෙහි සංසරණය වෙනවා," නම හෙළිදරව් කිරීමට අකමැති වූ ගම්වැසියෙක් කීය.

"මෙතන වැඩ වෙන්නේ මාෆියාවක වගේ," ඔහු වැඩිදුරටත් පැවසීය.

පරිසරවේදීන්ගේ මතය:

පරිසරවේදීන් පවසන්නේ මහවැලි වම් සහ දකුණු ඉවුරු කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන මෙම වැලි කැණීමේ ව්‍යාපෘතිය නිසා විශාල පරිසර හානියක් සිදුවෙමින් පවතින බවය.

වැලි කැණීම් සිදුකරන කලාපය අයත් වන්නේ වනජීවී දෙපාර්තමේන්තුවටය.

ඉවුරේ සිට මීටර් 25ක් ගඟ තුළට වන්නට වැලි කැණීමට අවසර දී ඇත.

ඒ සඳහා වැලි කැණීමේ බලපත්‍ර 92ක් නිකුත් කර ඇති අතර ඉන් එක් බලපතකින් මසකට ඉවත් කළ හැකි උපරිම වැලි ප්‍රමාණය කියුබ් 210 කි.

වැලි කැණීමේ මංකඩ 216ක් ක්‍රියාත්මක වන අතර වැලි ගොඩට ගෙන ඒම සඳහා බෝට්ටු 200කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇත.

සේවයේ යොදවා ඇති සේවකයින් සංඛ්‍යාව 2000කට ආසන්නය.

Image caption මහවැලි ගඟේ දකුණු ඉවුර

පරිසරවේදීන් පවසන්නේ, ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය ලෙසින් හැඳින්වෙන මෙම කලාපයේ වන සතුන්ගේ නිදහසට මෙම ව්‍යාපෘතිය බාධාවක් බවය.

"මේ හේතුවෙන් වන සතුන් ගම් වදිනවා," ඔවුහු පවසති.

"විල්ලු සහිත කලාපයක් ඒක. මහවැලි ගඟ සමතලා බිමක ගලාගෙන යන්නේ මෙම ප්‍රදේශයෙන්. එම නිසා වන සතුන් නිතර ගැවසෙනවා. නමුත් මෙම ක්‍රියාවලිය සතුන්ට විශාල බාධාවක්" පරිසරවේදීහු පෙන්වා දෙති.

වැලි, ටිපර් රථවලට පිරවීම සඳහා ලෝඩර් යන්ත්‍ර භාවිත කෙරේ.

සවස 6.00න් පසු ලෝඩර් යන්ත්‍ර ගංගා ඉවුරුවල භාවිත නොකරන ලෙස වනජීවී දෙපාර්තමේන්තුව නීති පනවා ඇත්තේ වන සතුන්ට සිදුවන අවහිරය වැළැක්වීමටය.

නමුත් එම නීතිය උල්ලංඝණය වන අයුරු බීබීසීයට දැකිය හැකි විය. එනම් රාත්‍රී 7.00ටත් අප දුටුවේ ටිපර් රථවලට වැලි පුරවන අයුරුය.

ව්‍යාපෘති කළමනාකරුගේ ප්‍රතිචාරය:

Image caption ව්‍යාපෘති කළමනාකරු - ඉන්ජිනේරු සුපුන් තාරුක

බීබීසී සිංහල සේවය මෙම චෝදනා පිළිබඳව එහි ව්‍යාපෘති කළමනාකරු වන ඉන්ජිනේරු සුපුන් තාරුකගෙන් අදහස් විමසීය. ඔහු පැවසුවේ කිසිදු දූෂණයක් සිදු නොවන බවත් පරිසර හානිය අවම කිරීමට ඔවුන් අවශ්‍ය පියවර ගෙන ඇති බවත්ය.

"අපි වනජීවී එකත් එක්ක එකතු වෙලා ඉවුරේ ගස් සිටුවනවා. අපට ලබා දීලා තිබෙන සීමාවෙන් පිටතට ගිහින් වැලි කැණීම් කරන්න දෙන්නෙ ම නැහැ," යනුවෙන් පැවසීය.

දේශපාලන බලය:

2015ට පසු පොලොන්නරුව වැලි ව්‍යාපාරය සමග දේශපාලනය පෙර නොවූ ලෙස බද්ධ වූ බව මනම්පිටිය ප්‍රදේශයේදී අප හා කතා කළ ටිපර් රථ රියැදුරන් කිහිප දෙනෙක් කීහ.

"දැන් වැලි ගොඩදාන මංකඩ පාලනය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් ටිපර් රථ සංගමයට ඕන විදියට. ඒගොල්ලොන්ට ගොඩදාන වැලිවලින් 50%ක් පෝලිමේ ඉන්නේ නැතිව ඉවත් කර ගන්න පුළුවන්. හැබැයි කියුබ් තුනේ ටිපර් එකකට රුපියල් 13,200ක් ගෙවන්න ඕනේ."

"දූෂණ සිදුවෙන්නේ මෙහෙමයි. ටිපර් රථ නැති අයත් ඇටෝර්නි බලපත්‍ර මගින් ටිපර් හිමිකරුවෝ බවට පත්වෙලා. ඒ අය චණ්ඩි වගේ කිහිප දෙනෙක්. ඒ අයට රුපියල් 8,000ක් 10,000ක් දීලා ආයතනයට ගෙවන මුදලත් ගෙවලා වැලි අරන් යනවා. ඒ ගොල්ලෝ ටෝකන් පෝලිමේ ඉන්නේ නැහැ."

"සාමාන්‍ය ටිපර් හිමියෙක්ට වැලි හම්බවෙන්නේ මාසෙකට එක පාරක් විතරයි," ඔවුහු කීහ.

මෙවැනි අවස්ථාවක මනම්පිටියෙන් පිටත් වන වැලි ටිපර් එකක මිල රුපියල් 23,200ක් වේ. කොළඹ සහ ගම්පහ පෙදෙස්වල මෙම කරුණ නිසා වැලි ටිපර් එකක මිල රුපියල් 50,000 - 55,000 දක්වා බව ඔවුහු පෙන්වා දුන්හ.

එසේ ම රජයේ විවිධ ව්‍යාපෘති සඳහා ද මනම්පිටියෙන් වැලි නිකුත් කෙරේ. සමහර ව්‍යාපාරිකයින් ඒ ඔස්සේ සතිය පුරා ම වැලි ලබා ගන්නා බව තවත් චෝදනාවකි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර