ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන කරුණු පහක්

Image copyright PMO India
Image caption සංචාරය අතරතුර මෛත්‍රිපාල සිරිසේන ඉන්දීය අගමැතිවරයා වෙත සමාධි බුදුරුවක් තෑගි කළේය

ඉන්දීය මහමැතිවරණය විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය පළමු විදෙස් සංචාරය සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේය.

මාලදිවයිනේ සිට ඉරිදා (ජුනි 09) ශ්‍රී ලංකාවට ළඟා වූ අග්‍රාමාත්‍යවරයා සිය සංචාරය අතරතුර විවිධ පාර්ශ්ව හමු විය.

සංචාරය අතරතුර ඔහු හමු වූ පුද්ගලයන් කවුරුන්ද? සංචාරය කළ ස්ථාන මොනවාද? පහත දැක්වෙන්නේ ඒ පිළිබඳ කෙටි විමසුමකි.

01. ශ්‍රී ලංකාවේ කළ තෙවන සංචාරය

2014 වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් නරේන්ද්‍ර මෝදි එතැන් සිට මේ දක්වා තෙවරක් ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇත.

2015 වසරේදී ඔහු අගමැතිවරයා වශයෙන් පළමු වරට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, 2017 වසරේදී ඔහු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූයේ ජාත්‍යන්තර වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙනි.

විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට ළඟා වූ ඉන්දීය අගමැතිවරයා පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසිනි.

සිය සංචාරය සම්බන්ධයෙන් 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කරමින් අගමැති මෝදි පවසා තිබුණේ "ශ්‍රී ලංකාවට යළි පැමිණීම ගැන සතුටුයි. සිව් වසරක් තුළ මේ දර්ශනීය දිවයිනේ මා කළ තෙවන සංචාරය මෙයයි. අවශ්‍යම මොහොතක ඉන්දියාව කිසිඳු මොහොතක ඇයගේ මිතුරන් අමතක කරන්නේ නැහැ" යනුවෙනි.

02. පාස්කු ප්‍රහාරය

ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් විසින් පසුගිය අප්‍රේල් 21 වෙනිදා එනම් පාස්කු ඉරිදා එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත පළමු රාජ්‍ය නායකයා අගමැති නරේන්ද්‍ර මෝදිය.

ප්‍රහාරයට ලක් වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සංචාරයක නිරත වූ අගමැති මෝදි මරණයට පත් සහ තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් සිය බලවත් ශෝකය පළ කළේය.

"ශ්‍රී ලංකාව යළි නැගී සිටිනු ඇති බව මට විශ්වාසයි. බියගුළු ත්‍රස්ත ක්‍රියාවලට ශ්‍රී ලංකාවේ ජීවගුණය පරාජය කළ නොහැකියි. ශ්‍රී ලංකාවේ ජනතාව සමග අප එකට ඉන්නවා" යනුවෙන් ඔහු 'ට්විටර්' නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

03. හමුවීම් මොනවාද?

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය සංචාරය අතරතුර:

  • ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
  • අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
  • විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ
  • හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සංවිධානයේ මන්ත්‍රීවරු හමු විය.

ඉන්දීය අගමැතිවරයා පිළිගැනීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ විශේෂ උළෙලක් සංවිධානය කර තිබිණි.

"ත්‍රස්තවාදය පොදු තර්ජනයක් වන අතර, ඊට මුහුණ දීමේ දී සාධනීය සහ ඉලක්කගත පියවර ගත යුතු බවට මා හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එකඟ වුණා." යනුවෙන් අගමැති මෝදි නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Image copyright PMO India

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග "ඵලදායි සාකච්ඡා" පැවති බවත් ඉන්දීය අගමැතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ ජනතාව ඉලක්ක කර ගත් ව්‍යාපෘති ඇතුළුව ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඉන්දියාවේ පූර්ණ සහය හිමිවන බව එහිදී සහතික කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Image copyright PMO India

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමු වූ ඉන්දීය අගමැතිවරයා පවසා තිබුණේ ඔහු සමග "පුළුල් සාකච්ඡාවක්" පැවති බවය.

ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම, ආරක්ෂාව සහ ආර්ථික සංවර්ධනය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාව අතර සමීප සහයෝගිතාවක අවශ්‍යතාව පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී.

Image copyright PMO India

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සමග ද "ඉතා යහපත් මට්ටමේ" සාකච්ඡාවක් පැවති බව ඉන්දීය අගමැතිවරයා පවසයි.

04. ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය ප්‍රජාව

අගමැති මෝදි සහ ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය ප්‍රජාව අතර හමුවක් 'India House' හිදී සංවිධානය කර තිබිණි.

"අද වන විට ලෝකය තුළ ඉන්දියාවට තිබෙන ස්ථානය වඩාත් ශක්තිමත් වෙමින් පවතිනවා. ඉන් වැඩි කොටසක ගෞරවය හිමි විය යුත්තේ ඉන්දීය ඩයස්පෝරාවටයි" යනුවෙන් ඔහු එහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිල සංඛ්‍යා ලේඛන අනුව විදේශිකයන් අතරින් ශ්‍රී ලංකාවේ වැඩියෙන් ම රැකියාවල නිරත වන්නේ ඉන්දීය ජාතිකයන්ය.

05. ශ්‍රී ලංකා සංචාරය ගැන අගමැති මෝදිගේ ප්‍රතිචාරය

ශ්‍රී ලංකා සංචාරය කෙටි වූ නමුත් ඵලදායි එකක් වූ බව සිය සංචාරය නිම කරමින් ඉන්දීය අගමැතිවරයා පවසයි.

"අපේ හදවත් තුළ ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා" ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වේ.

"ඉන්දියාව හැමවිටම ඔබ සමග සිටින බවටත් ඔබේ ඉදිරි ගමන වෙනුවෙන් සහෝයෝගය ලබා දෙන බවටත් ශ්‍රී ලංකාවේ සිටින මාගේ සහෝදර සහෝදරියන්ට මම සහතික වෙනවා" යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් වේ.