වඩුමඩු තහනම: ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කී දේ සහ කළ දේ

Image copyright Reuters

2015 වසරේ ජනවාරි මස 8 වන දා පැවති ජනාධිපතිවරණයෙන් ජය ගත් මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්ව මේ වන විට වසර 4ක් ඉක්මවා තිබේ.

ගෙවී ගිය වසර 4කට අධික කාලය තුළ ඔහු මතභේදාත්මක මෙන් ම දැඩි කතාබහට ලක් වූ ක්‍රියා මෙන් ම අදහස් ද පළ කළේය.

2015 වසරෙන් පසුව රට තුළ ඇති වූ ඇතැම් "ප්‍රජාතන්ත්‍රවාදී අංග" හේතුවෙන් ශ්‍රී ලාංකික වැසියෝ වෙනත් කිසිදු ජනාධිපතිවරයෙකුට එල්ල නොකළ තරම් වූ විවේචන ඔහුට එරෙහිව එල්ල කළහ.

2015 ජනාධිපතිවරණ ජයග්‍රහණය "සමාජ මාධ්‍යවලින් කරන ලද විප්ලවයක්," ලෙස එකල හැඳින්වුණු අතර, පසු කලෙක එම සමාජ මාධ්‍ය හරහා ම මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව දැඩි විවේචන එල්ල වන්නට විය.

මෑතකදී ජනාධිපතිවරයා දැඩි විවේචනයට ලක් වූ සිදුවීමක් වන්නේ, "වඩුමඩු තහනම" පිළිබඳ පුවතය.

ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් පිටුවක දක්වා තිබුණේ, "ඔහුට රාජ්‍ය පාලනය හිමි වුණේය, එහෙත් තමන්ට කිසිවක් කර කියාගත නොහැකි බව ඔහු ඔප්පු කළේය. ඔහු මඩු වලිගය ගත්තේය, නමුත් තැලුම් කෑ කෙනෙක් නොවීය. ඉදින් වඩු මඩු හිමියනි, ශෝක වීමට හේතුවක් නැත්තේ මය. ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම හැරුණුකොට කිසිවක් කළ නොහැකි බව ඉඳුරා ම ශපථ කර ඇත," යනුවෙනි.

ඔහු කී දේ සහ කළ දේ අතර යම් පරස්පරයක් ඇති බව එම අදහසෙහි ගැබ්ව තිබිණි.

Image copyright Facebook

මේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කී දේ සහ කළ දේ පිළිබඳ ප්‍රධාන සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් කෙරෙන විමසුමකි.

1. "යළි තරග කරන්නේ නැහැ"

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ, 2015 ජනවාරි මස 9 වන දාය. එදින ඔහු දිවුරුම් දීමෙන් අනතුරුව පැවසුවේ, තමන් යළි ජනාධිපති ධූරයට තරග නොකරන බවය.

එහෙත්, පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබාගත් ඔහු මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා පරිසරය සකස් කර ගන්නා බවක් දක්නට ලැබිණි.

මීළඟ ජනාධිපතිවරණයට තරග කරන ලෙස ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසකගෙන් ඇරයුම් ලැබුණු අතර ඒ සඳහා ඔහු ක්‍රියාත්මක වන බවක් පෙනී ගියේය.

මේ අතර, තමන් මීළඟ ජනාධිපතිවරණයට තරග නොකරන බව ජනාධිපතිවරයා පසුගිය සතියේ (ජූනි 04) පැවති කැබිනට් රැස්වීමේදී සඳහන් කළ බවට මාධ්‍ය වාර්තා පළ විය.

කෙසේ වෙතත්, ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ජූනි 06 වන දා විශේෂ සංදේශයක් භාර දෙනු ලැබිණි.

ඒ අනුව, ජනාධිපතිවරණයට තරග නොකරන බවට කළ දෙවන ප්‍රකාශය ද වෙනස් වනු ඇතැයි යන්න දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

2. ඇස්බැස්ටස් තහනම

පිළිකා රෝගයට ප්‍රබල හේතු කාරකයක් ලෙසට හඳුනාගෙන ඇති බව පවසමින් 2018 ජනවාරි 01 වන දා සිට ඇස්බැස්ටස් නිෂ්පාදනය සහ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ, 2015 වසරේ අගෝස්තු 29 වන දාය.

Image copyright Getty Images

"2018 ජනවාරි මාසයේ සිට ලංකාවට සෙවිලි තහඩු, ඇස්බැස්ටස් ගෙන ඒම අපි සම්පූර්ණයෙන් තහනම් කරනවා. ඒ වගේ ම 2018 ජනවාරි මාසයේ සිට ලංකාවේ ඇස්බැස්ටස් නිෂ්පාදනය අපි තහනම් කරනවා. නිෂ්පාදන කර්මාන්ත ශාලාවල හිමිකරුවන්ට අපි මේ වන විටත් දැනුම් දී තිබෙනවා, ඇස්බැස්ටස් සෙවිලි තහඩු පිළිකා රෝග ව්‍යාප්තිය සඳහා දැඩි ලෙස බලපාන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. මම සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සිටි කාලය තුළ ඇස්බැස්ටස් තහනම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිරීති ක්‍රියාත්මක කිරීමට විශාල උත්සහයක් කළා. නමුත් ඒ සඳහා මට අවශ්‍ය සහයෝගය ලැබුණෙ නැහැ. මේවා සම්බන්ධයෙන් කිසිවෙකුට අපිට බලපෑම් කරන්නත් බෑ. ඒ බලපෑම්වලට අපි යට වෙන්නෙත් නෑ," 2015 වසරේ අගෝස්තු 29 වන දා මහනුවරදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා පැවසීය.

එහෙත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධානත්වය දරන කැබිනට් මණ්ඩල රැස්වීමේදී එම තීරණය වෙනස් කළ බව 2017 වසරේ දෙසැම්බර් 20 වන දා අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේය.

ඔහු පැවසුවේ, "2018 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි ඇස්බැස්ටස් සිවිලි තහඩු නිෂ්පාදනය සහ ආනයනය තහනම් කිරීමට රජය ගෙන තිබූ තීරණය තාවකාලිකව අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ," බවය.

තාක්ෂණික වාර්තා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව සුදු ඇස්බැස්ටස් සඳහා පැන වූ තහනම ඉවත් කරන බවත් ශ්‍රී ලංකාවට ආනයනය කරන ඇස්බැස්ටස් අමුද්‍රව්‍යවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත් ඔහු පැවසීය.

3. ග්ලයිෆොසෙට් තහනම

වල් නාශකයක් ලෙස භාවිත කෙරෙන රසායනික ද්‍රව්‍යයක් වන ග්ලයිෆොසෙට් තහනම් කිරීමට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගත්තේය.

ඒ අනුව, 2015 මැයි 22 වන දා කොළඹදී පැවති රැස්වීමකදී ඔහු පැවසුවේ, "වකුගඩු රෝගයට හේතුකාරක වේ යැයි සැලකෙන ඉතා විෂ රසායනික ද්‍රව්‍යයක් වන ග්ලයිපොසෙට් වල් නාශකය අද (මැයි 22 වන දා) සිට ආනයනය සහ වෙළෙඳාම මුළුමනින් ම තහනම් කිරීමට රජය තීරණය කළ," බවය.

"රජය විදිහට අද අපි තීරණය කළා මේ රටේ වකුගඩු රෝගයට මූලික වශයෙන් විෂ රසායනික ද්‍රව්‍යයක් ලෙස සැලකෙන ඉතා ම විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් වන 'ග්ලෆොසෙට්' මෙරටට ආනයනය කිරීම හා විකිණීම අද ඉඳලා තහනම් කරන්න. පසුගිය ආණ්ඩු ගණනකට මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කළත් වැඩක් වුණේ නැහැ. සමහර සමාගම් අද උදෙත් මට කතා කරා. ගෙනත් තියන ටික විකුණා ගන්න දෙන්න කියලා ඉල්ලුවා. මම කිව්වා ඒකට ඉඩදෙන්න බැහැ කියලා. මිනිස්සු මරන්න දෙන්න බෑ," යනුවෙන් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

Image copyright LIZHI GAO

එහෙත්, තේ සහ රබර් වගාව සඳහා ග්ලයිෆොසෙට් භාවිත කිරීමට පනවා ඇති තහනම ඉවත් කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක 2018 මැයි 02 වන දා මාධ්‍ය හමුවක් අමතමින් නිවේදනය කළේය.

ශ්‍රී ලංකාවේ තේ සම්බන්ධයෙන් චීන වෙළෙඳපොළ තුළ සීමා පැනවීමේ අවදානමක් මතුව ඇති බැවින් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා පැවසීය.

4. මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීම

2015 ජනවාරි මස 08 වන දා පැවති ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ, යම් හෙයකින් තමන් ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූවා නම් තමන් ද ඝාතනය වන්නට ඉඩ තිබුණු බවය.

කෙසේ වෙතත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන් "ජනාධිපති ධූරය දක්වා ගෙන යාමට උපකාර කළ" බව කී රනිල් වික්‍රමසිංහ බලයෙන් පහ කොට තමන් ඝාතනය කරන්නට ඉඩ තිබූ බව කී පාර්ශවය නියෝජනය කළ මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධූරය පිරිනැමීය.

Image copyright Pmd

ඒ අනුව, ඔක්තෝබර් 26 වන දා සිට දින 51ක් පුරා ශ්‍රී ලංකාවේ දැඩි දේශපාලන අර්බුදයක් නිර්මාණය විය.

5. "මන්ත්‍රීවරුන් 225 ම අත්සන් කළත් රනිල්ට අගමැතිකම දෙන්නේ නෑ"

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමෙන් පසුව ඇති වූ දේශපාලන අර්බුදය හමුවේ මෛත්‍රීපාල සිරිසේනට එල්ල වූ පීඩනය නොතකමින් ඔහු එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමක් සමග පැවති රැස්වීමකදී 2018 දෙසැම්බර් 03 වන දා පැවසුවේ, "පාර්ලිමේන්තුවේ 225ම අත්සන් කර තමන්ට නිර්දේශ කළත් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම නොදෙන," බවය.

එහෙත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් පසු ඔහු දෙසැම්බර් 16 වන දා රනිල් වික්‍රමසිංහ නැවත අග්‍රාමාත්‍ය ධූරයට පත් කළේය.

Image copyright Www.news.lk

6. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම

2018 ඔක්තෝබර් 26 වන දා ඇරඹුණු දේශපාලන අර්බුදයත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

එහෙත්, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව එය විසුරුවා හැරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි අතර, එබැවින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන බවට සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් 2018 දෙසැම්බර් 13 වන දා ඒකමතිකව තීන්දු කළේය.

Image copyright Pmd

ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් දුන් පිළිතුර වූයේ, "මම නීතීඥයෙක් නොවන බව රටම දන්නවා. මම ඒ ගැසට් නිවේදනය (පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ) නිකුත් කළේ, මගේ තනි කැමැත්තට නෙවේ. මීට සම්බන්ධ වුණා ජනාධිපති නීතිඥවරු, මීට සම්බන්ධ වුණා රටේ ඉහළ ම නීති විශාරදයින්," යන්නය.

එහෙත් මෙමගින්, රටේ ප්‍රධාන පුරවැසියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බව හොඳින් ම පැහැදිලි වන බව දේශපාලන විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන නිතීඥ විශාකා සූරියබණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසුවාය.

7. ඉල්ලා අස්වීම්/ සේවයෙන් පහ කිරීම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කර ඇති ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් ද පරස්පර විරෝධී අදහස් මතු වී තිබේ.

ඉන් එකක් වන්නේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු බව සලකමින් එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු එම ධුරයෙන් ඉවත් කළ බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයයි.

එහෙත්, ජනාධිපතිවරයා කළ එම ප්‍රකාශය "අමූලික බොරුවක්," බවත්, තමන් එම ධූරයෙන් ඉල්ලා අස්වූවා මිස තමන්ව සේවයෙන් ඉවත් නොකළ බවත් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.

මේ අතර, ජාතික බුද්ධි ප්‍රධානියා වශයෙන් කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්, ජනාධිපතිවරයා විසින් එම තනතුරින් ඉවත් කරනු ලැබ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි.

නමුත් බුද්ධි ප්‍රධානියාගේ තනතුර හිස්වීම දේශීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉල්ලා අස්වීමක් ලෙසය.

Image caption විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්

පාස්කු ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාර වළක්වා ගත හැකිව තිබූ බව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ප්‍රකාශ කර තිබිණි.

ඉස්ලාම් අන්තවාදීන්ගෙන් ඇතිවිය හැකි තර්ජනය නිසි ලෙස තක්සේරු කිරීම සඳහා ආරක්ෂක විමර්ශන රැස්වීම් නිතිපතා නොපැවැත්වුණු බවත් ඔහු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ පැවසීය.

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ඉන්දියාවේ බුද්ධි අංශ කල් තියා අනතුරු ඇඟවීම් කර තිබියදීත් එය වළක්වා ගැනීමට නොහැකි වීම ගැන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට සහ රජයට දැඩි චෝදනා එල්ල විය.

මෙම වාතාවරණය හමුවේ ජනාධිපතිවරයා පූනි 7 වන දා පැවසුවේ, දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිදු නිලධාරියෙකු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ඉදිරිපත් නොවිය යුතු බවත්, ඔවුන් සියලු දෙනා පිළිබඳ වගකීම තමා භාරගන්නා බවත්ය.

තවත් කියවන්න:

8. වඩුමඩු තහනම

වඩුමඩු සහ ලී මෝල් තහනම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජූනි 06 වන දා කොළඹදී පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමින් පැවසුවේය.

ඔහු පැහැදිලිව ප්‍රකාශ කළේ, "මම දැන් වඩුමඩුවත් තහනම් කරන්න චක්‍රලේඛ නිකුත් කරන්න කිව්වා. වඩුමඩුවත් තහනම් කරනවා," යනුවෙනි.

"ලංකාවේ ලොකු සල්ලි කාරයෝ ලොකු ලී මෝල් දාලා තියෙනවා. වැඩිය සල්ලි නැති අය අතේ ගෙනියන ගස් කපන මැෂින් එක තියෙනවා, හංගගෙන ඉඳලා කොහේ හරි ගහක් කපලා රෑට අදිනවා. විනාඩි 5ක් යනකොට කැපිලා ඉවරයි. ඊටත් දුප්පත් අය ගමේ භාෂාවෙන් දන්නවා, වඩුමඩු දානවා. මම දැන් වඩුමඩුවත් තහනම් කරන්න චක්‍රලේඛ නිකුත් කරන්න කිව්වා. වඩුමඩුවත් තහනම් කරනවා. පිටරටින් ගේන ගස් කපන මැෂින් තහනම් කරනවා. ලී මෝල්වලටත් අවුරුදු 5ක කාලයක් දෙනව, ව්‍යාපාරිකයින්ට වෙනත් ජොබ් එකක් හොයා ගන්න."

කෙසේ වෙතත්, ජූනි 09 වන දා පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ, වඩුමඩු අලුතින් ලියාපදිංචි කිරීම නවත්වන බව පමණක් තමන් කී බවය.

"මම ඊයේ පෙරේදා කිව්වා ලංකාවේ වඩුමඩු අලුතින් ලියාපදිංචි කරන් නෑ තහනම් කිව්වා ම මට හෝ ගාලා දැන් ගහන්න පටන් අරන් තියෙනවා," යනුවෙන් ඔහු එහිදී පැවසීය.

කෙසේ වෙතත්, සියලු වඩුමඩු තහනම් කරන බව පැවසුව ද, අවසානයේ තීන්දු කෙරුණේ, සාම්ප්‍රදායික වඩු කර්මාන්තයට කිසිදු තහනමක් නොපැනවෙන බවය.

මේ සම්බන්ධයෙන් විවිධ අදහස් සමාජ මාධ්‍යවල පළ වී තිබිණි.

Image copyright Facebook