මුස්ලිම් කාන්තාවන් මුහුණ වැසීම: "මහ පාරේ නඩු විසඳන්න සිංහල මිනිසුන්ට අයිතියක් නෑ"

BBC

මුහුණ ආවරණය කරගෙන යන මුස්ලිම් කාන්තාවන්ගේ "රෙදි ගැලවීමට" හෝ "මහ පාරේ නඩු විසඳීමට," සිංහල මිනිසුන්ට අයිතියක් නොමැති බව ආචාර්ය මාවරලේ භද්දිය හිමියෝ පවසති.

"මුස්ලිම් කාන්තාවක් හිස ආවරණය කරගෙන යාමට අපිට එරෙහි වෙන්න අයිතියක් නැහැ. නමුත් හදිසි නීතිය යටතේ සම්පූර්ණයෙන් ම මුහුණ වහගෙන යන්න බැහැ. එහෙම වුණත් ඒ රෙදි ගලවන්න අපිට අයිතියක් නැහැ. අපි ඒක භාර දෙන්න ඕන පොලිසියට, ත්‍රිවිධ හමුදාවට," උන් වහන්සේ පැවසූහ.

"මේ ප්‍රශ්නයට (ප්‍රහාරයන්ට) කිසි ම දායකත්වයක් නොදීපු මුස්ලිම්වරුන්ට එවැනි පීඩාවන් සිදු කිරීම බෞද්ධ භික්ෂුවක් හැටියට මම හෙළා දකිනවා," භද්දිය හිමියෝ ප්‍රකාශ කළහ.

මුස්ලිම් ජනතාවගේ වගකීම

විශ්වාසය තහවුරු කිරීම උදෙසා මුස්ලිම් ජාතිකයන් ද සුවිශේෂී කාර්යයක් සිදු කළ යුතුව ඇතැයි උන් වහන්සේ අවධාරණය කළහ.

මුස්ලිම් සමාජය බහුතර සිංහල සමාජයෙන් "ඉතා තීරණාත්මක අන්දමින්" ඈත් වෙමින් සිටින බව ද උන් වහන්සේ පැවසූහ.

"අපි පුංචි කාලේ මාතර ඉසදීන් නගරයට එනකොට අපිට මතකයි ඒ මුස්ලිම් නැන්දල, ආත්තම්මල යන්තම් සාරි පොටෙන් ඔළුව වහගෙන හිටියේ."

උන් වහන්සේ තවදුරටත් කියා සිටියේ "මුළු මුහුණ ම වහගෙන යන තත්ත්වයට වර්ධනය වීමත් සමග, මුහුණ දකින කොට ඇති වුණු සමීපකම, ලෙන්ගතුකම අද ලංකා සමාජයෙන් ගිලිහී ගොස්" ඇති බවය.

එමෙන්ම සිංහල, මුස්ලිම් ජන කොට්ඨාස දෙක අතර සැකය වැඩි වීමට ඇතැම් රාජ්‍ය මැදිහත්වීම් මත සිදු වූ ක්‍රියාවන් ද හේතු වී ඇති බව භද්දිය හිමියන්ගේ අදහසය.

උන්වහන්සේ පෙන්වාදෙන පරිදි සිංහල හා මුස්ලිම් ජනයා අතර සැකය වැඩිවීමට හලාල් සහතික සහිත ආහාර හඳුන්වාදීම ද ප්‍රබල හේතුවක් වී තිබේ. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 9ක් පමණ වන මුස්ලිම් ජනතාව හලාල් නොවන නිෂ්පාදන ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් හලාල් නිෂ්පාදන අවශ්‍ය නොවන ජනගහනයෙන් සියයට 91 ක් පමණ වන ජනතාවට ද හලාල් නිෂ්පාදන මිලදී ගැනීමට සිදු වීම හමුවේ පාරිභෝගිකයන්ට භාණ්ඩයේ සැබෑ වටිනාකමට වඩා අතිරේක මුදලක් ගෙවීමට සිදුවන අතර, එම මුදල් කාගේ අතට පත්වන්නේදැයි සාධාරණ සැකයක් සිංහල ජනතාව තුළ පවතින බව භද්දිය හිමියෝ සඳහන් කළහ.

''සාමාන්‍ය බහුතරය අතර සැකයක් තියෙනවා මේ හලාල් සහතික හරහා එකතු කරන සල්ලි ත්‍රස්තවාදීන් අතට පත් වෙනවා කියලා. ඒ සැකය නැති කරන්න මුස්ලිම් ජනයාට විතරක් බෑ. රාජ්‍ය මැදිහත් වීමකින් ඒ ගැන සොයා බලන්න ඕන."

මේ තත්වය යටතේ ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවතින සැකය දුරු කිරීමට මුස්ලිම් ජාතිකයන්ට ද පැහැර හැරිය නොහැකි වගකීමක් පවතින බව උන්වහන්සේ අවධාරණය කළහ.

පාස්කු ඉරිදා ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාරවලින් අනතුරුව මුස්ලිම් ජනතාවට මුහුණ දීමට සිදුව තිබෙන වාතාවරණය ගැන අදහස් දැක්වූ ආචාර්ය මාවරලේ භද්දිය හිමියෝ, "අපි හැම තැන ම බෝම්බ පත්තු කරන්න ආපු ෆාතිමාල හෝ සහරාන්ල දකින්න ගත්තොත් මේ රට ලේ විලක් වෙයි. මිනිස්සු මහ පාරේ නඩු විසඳන්න යනව නම්, මොකට ද රටකට පොලිසියක් හෝ අධිකරණයක්?," යනුවෙන් ද ප්‍රශ්න කළහ.

"මුස්ලිම් ජනයා පන්සල් ගිය පමණින් හෝ බෞද්ධ ජනයා පල්ලි ගිය පමණින්" සංහිඳියාව ගොඩනැගිය නොහැකි බව උන් වහන්සේගේ අදහසය.

පාස්කු ඉරිදා දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් පිළිබඳව විමසූ විට උන්වහන්සේ කියා සිටියේ එහි වගකීම භාර ගැනීම සඳහා කිසිවෙකු නොසිටීම," මුළු රට ම මේ මොහොතේ අත්විඳින ඛේදවාචකය" බව ය.

දිගු කාලීනව අඛණ්ඩව වර්ධනය වෙමින් පැවති කාරණා කිහිපයක් මෙම තත්ත්වය ඇති වීමට පාදක වී ඇති නමුත් ආසන්නතම හේතු හැටියට උන් වහන්සේ දකින්නේ ජනාධිපති සහ අගමැතිවරයා ඇතුළු සියලු දේශපාලනඥයන් මෙන් ම ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා ඇතුළු සියලු නිලධාරීන් කළ යුතු රාජකාරිය නිසි ආකාරයෙන් ඉටු නොකිරීමය.

ජනපති, අගමැති ගැටුම

Image copyright News.lk
Image caption "ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර පවතින ඝට්ටනය, මුළු රට ම අනාරක්ෂිත තත්ත්වයකට සහ කිසි ම පාලනයක් නැතිව පාවෙමින් ගමන් කරන තත්ත්වයකට අපේ රට අද වැටීමට ප්‍රධාන හේතු වෙලා තියෙනවා"

"ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර පවතින ඝට්ටනය, මුළු රට ම අනාරක්ෂිත තත්ත්වයකට සහ කිසි ම පාලනයක් නැතිව පාවෙමින් ගමන් කරන තත්ත්වයකට අපේ රට අද වැටීමට ප්‍රධාන හේතු වෙලා තියෙනවා. මහා සම්මතයෙන් ජනතාව රජයක් හෝ රජෙක් තෝරා ගන්නේ ප්‍රධාන වශයෙන් ආරක්ෂාව වෙනුවෙන්," භද්දිය හිමියෝ පැවසූහ.

"අවාසනාවකට අපේ රජය අපි ජීවිතේ මුහුණ දුන්න රජයන් අතරින් ඛේදනීය ම රජය. අවාසනාවන්ත ම රජය. අපේ ආරක්ෂාව සම්බන්ධව, පුරවැසියාගේ රැකවරණය සම්බන්ධව අභිලාෂයට පයින් ගහල, ඔවුන් පුද්ගලික අභිලාෂවල පසුගිය තුන් අවුරුද්ද පුරා ගමන් කරල තියෙනවා."

එමෙන් ම මුස්ලිම් තරුණයන් වඩාත් වේගයෙන් අන්තවාදය දෙසට නැඹුරු වීම සඳහා, මුස්ලිම් සමාජයට එරෙහිව සිංහල සමාජයෙන් එල්ල වූ "ඇතැම් වාග් ප්‍රහාර සහ කලහකාරී ප්‍රහාර එකක් හෝ දෙකක්" ද හේතු වූ බව උන් වහන්සේගේ විශ්වාසයයි.

පසුගිය දා සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයන් එල්ල වී ඇත්තේ සිංහල බෞද්ධ සමාජයෙන් එල්ල වූ හිරිහැරයකට, අයුක්තියකට හෝ අසාධාරණයකට පිළිතුරු ලෙස නොවන බව උන් වහන්සේගේ අදහසය.

කෙසේ නමුත් මේ වන විට "සියලු ම මුස්ලිම්වරුන් දෙස සැකයෙන් බලන" මට්ටමකට සමාජය පත් වී ඇති බවත් එය "අතිශයෙන් භයානක" තත්ත්වයක් බවත් ආචාර්ය මාවරලේ භද්දිය හිමියෝ ප්‍රකාශ කළහ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව රට තුළ ඇතිවූ තත්ත්වය නිසා මුස්ලිම් ජාතිකයන් පවත්වාගෙන යන ව්‍යාපාර වර්ජනය කිරීමේ රැල්ල පිළිබඳව කළ විමසීමකදී භද්දිය හිමියන් පැවසුවේ එම ව්‍යාපාර හරහා සිංහල බෞද්ධ ජනයාට රැකියා අවස්ථා රැසක් උදා වී ඇති අතර ඒවා වර්ජනය කිරීමට යෝජනා කරන පුද්ගලයන් ඔවුන්ගේ රැකියා ගැටලුව ද විසඳිය යුතු බවය.

'දේශපාලනයට ආරාධනාවක්'

''මිනිස්සු කියනවා ඡන්දය ඉල්ලන්න කියලා. රට භාර ගන්න ලු. ඒත් මම ඉදිමෙන්නේ ඇඟිල්ලේ තරමට. මම කිසි කලෙක කිසි ම පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ.'' යනුවෙන් පැවසූ උන් වහන්සේ පෙන්වා දෙන්නේ භික්ෂූන් වහන්සේට පක්ෂ දේශපාලනය නොගැලපෙන බවය.

ජාතික හෙළ උරුමය හරහා කළ අත්හදා බැලීම ඊට සාක්ෂියක් බව ද උන්වහන්සේ පැවසූහ.

කිසි ම පක්ෂයක් වෙනුවෙන් පෙනී නොසිටිය ද මුළු රටට ම බලපාන එක් නීතියක් වෙනුවෙන් පෙනී සිටින බව උන් වහන්සේ අවධාරණය කළහ.

''බෞද්ධයෝ කියන විදියට මුස්ලිම් අය ඉන්න ඕන කියන එක මොන හිරිකිත කතාවක් ද ? ඒක නෙමෙයි වෙන්න ඕන. ලංකාවේ තියෙනවා ව්‍යවස්ථාවක්. ලංකාවේ තියෙනවා නීතියක්. ඒක බෞද්ධ නීතියක්වත්, බෞද්ධ ව්‍යවස්ථාවක්වත් නෙමෙයිනේ. ඒකට අනුව කවුරුත් පාලනය වෙන්න ඕන. එක එක ජාතීන්ට, ආගම් අනුව නීතිය වෙනස් නොවීමයි වැදගත් වෙන්නේ. ඒ වගේ ම ආගමික ආශා අනුව මේ රටේ ආහාර සංස්කෘතිය වෙනස් වෙන්න බෑ. අධ්‍යාපනය වෙනස් වෙන්න බෑ.'' ආචාර්ය මාවරලේ භද්දිය හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ආචාර්ය මාවරලේ භද්දිය හිමියන්

තවත් කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර