පාස්කු ඉරිදා ප්‍රහාර: ජනාධිපතිගෙන් සාක්ෂි ගන්න බැරිද?

ජනාධිපතිට පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාදාමයකට මැදිහත් විය හැකි ද?

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවට වාර්තාවක් සැපයීමේ අරමුණින් පිහිට වූ කාරක සභාවේ ප්‍රශ්න කිරීම් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවස්ථා කිහිපයක දී සිය විරෝධය ප්‍රකාශ කර සිටියේය.

ඒ අතර, ජනාධිපති ලේකම්වරයා විසින් තමා වෙත නීතිපතිවරයා එවන ලද ලිපියක් කතානායකවරයාට යොමු කරනු ලැබ තිබේ. අප්‍රේල් 21 වන දා සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ හෙළිවන ඇතැම් කරුණුවලින් බාධා එල්ල වන බව එහි සඳහන් වී තිබිණි.

එම ලිපිය ලද විගස කතානායකවරයා කමිටු සාමාජිකයන් කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර, ජාතික ආරක්ෂාවට අගතියක් වන කරුණු ගැන විශේෂ අවධානයක් යොමු කරන ලෙස උපදෙස් දී තිබේ.

නමුත්, ජූනි මස 7 වන දා මාධ්‍ය ඇමතූ ජනාධිපතිවරයා පැවසුවේ එකී ලිපිය තම නියෝගයක් බවත්, එය කතානායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළ යුතුව තිබූ බවය.

මෙයට පිළිතුරු ලබා දෙමින් පසුගිය දා කතානායකවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වුණේ, "ජනාධිපතිවරයා විසින් යොමු කරන සංදේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනුයේ සභාවට එහි ඇති කරුණුවල අදාළත්වය අනුවය. කාරක සභාවක කටයුත්තක් සම්බන්ධව ජනාධිපති ලේකම්වරයා එවන ලද ලිපියක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගී," යනුවෙනි.

එමෙන් ම, ස්ථාවර නියෝගයන්ට අනුව පොදු එකඟතාවකින් ආරම්භ කළ පාර්ලිමේන්තුව අනුමත කරන ලද ක්‍රියාදාමයන් නැවැත්වීමේ අභිමතය ඇත්තේ ද පාර්ලිමේන්තුවට පමණක් බව ද කතානායකවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

කෙසේ නමුත්, කාරක සභාවේ ක්‍රියාවලිය මාධ්‍යයට නිරාවරණය නොකර සිටීමට අදාළ කාරක සභාවට තීරණය කළ හැකිය. ඒ පිළිබඳව පක්ෂ නායකයන් රැස් කර සාකච්ඡා කර පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කිරීමට කතානායකවරයා ඉදිරියේදී ක්‍රියාකරනු ඇති බව මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්විණි.

Image copyright YOUTUBE

කිසිවිටකත් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගේ බලතල අභියෝගයට ලක් නොකරන නමුත් පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද කාරක සභාවක ක්‍රියාදාමය විවේචනයට ලක් වීම තුළින් ජනතාව තුළ ඇති විය හැකි වැරදි මතය නිවැරදි කිරීමේ අරමුණින් මාධ්‍ය නිවේදනය නිකුත් කළ බව කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තු කාරක සභාවට ඕනෑම පුද්ගලයෙකු කැඳවිය හැකි ද?

"පාර්ලිමේන්තු කාරක සභාවට බුද්ධි අංශ නිලධාරීන් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය කරවීම කිසිසේත් අනුමත කරන්නේ නැහැ. මේ වන තෙක් තේරීම් කාරක සභාවට කැඳවා තිබෙන්නේ සේවයේ නැති නිලධාරින්. නමුත් දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවල කිසි ම නිලධාරියෙක් තේරීම් කාරක සභාවට ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ සියලු දෙනා පිළිබඳ වගකීම මම භාර ගන්නවා," යැයි ජූනි 7 වන දා පොලිස් දෙපාර්තමේන්තුවේ පැවති රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා පැවසීය.

මෙයට පිළිතුරු ලබා දෙමින් කතානායකවරයා පවසා ඇත්තේ, වර්තමාන නීතිය අනුව යම් නිලධාරියෙකු පාර්ලිමේන්තුවේ කැඳවීමකට අවනත වීමට බැඳී සිටින බවය. එය කඩ කිරීමේ ප්‍රතිවිපාක ගැන ද කතානායකවරයා සිහිගැන්වීමක් සිදු කර තිබේ.

නීතිය

පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනතේ 10 වන වගන්තියේ පැවසෙන පරිදි, විධිමත් ලෙස බලය දෙනු ලැබූ පාර්ලිමේන්තු සභාවක් ඉදිරියට පැමිණෙන ලෙස සාක්ෂිකරුවන්ට නියම කිරීමට මෙන් ම, ඔවුන් සන්තකයේ ඇති ලියවිලි, වාර්තා ඉදිරිපත් කරන ලෙස ද දැන්වීමට පාර්ලිමේන්තුවට බලතල ඇත.

Image copyright Getty Images

අදාළ පනතේ 13 වන වගන්තිය අනුව, පාර්ලිමේන්තු කාරක සභාවේ අසන ප්‍රශ්නයකට පිළිතුරු දීම හෝ ලියවිලි ඉදිරිපත් කිරීමට යම් සාක්ෂිකරුවෙකු විරුද්ධත්වය ප්‍රකාශ කර සිටී නම්, ඒ පිළිබඳ තීරණය ගත යුත්තේ අවස්ථාවෝචිත පරිදි සභාපතිවරයා හෝ කතානායකවරයා හෝ කාරක සභාවේ සභාපතිවරයා හෝ මුලසුන දරන මන්ත්‍රීවරයාය.

පනතෙහි උපලේඛනය (ආ) කොටසෙන් කියවෙන පරිදි, ඉහත සඳහන් වගන්තිවල විධිවිධාන අනුව සාක්ෂිකරුවෙකු කාරක සභාවට සාක්ෂි ලබා දීම ප්‍රතික්ෂේප කර සිටීම පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලබන අවස්ථාවකදී හැර, පාර්ලිමේන්තුව විසින් විධිමත් ලෙස බලය දෙනු ලැබූ කාරක සභාවකට සිතා මතා නොපැමිණීම, ලියවිලි ඉදිරිපත් කර නොසිටීම දඬුවම් ලැබිය හැකි වරදකි.

මෙවන් අවස්ථාවක පාර්ලිමේන්තුව හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ පුද්ගලයාට දඬුවම් නියම කරනු ලබන බව පනතේ උපලේඛනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආරම්භයේ සිට කාරක සභා සැලකිය යුතු ප්‍රමාණයක සේවය ලබාගෙන තිබේ. "එහි අරමුණ වී ඇත්තේ පාර්ලිමේන්තුවට ඇති රාජකාරි ප්‍රමාණය අවම කිරීමය," යනුවෙන් පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ සඳහන් වේ.

කාරක සභා පත් කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 74 වන වගන්තියෙන් පිළිගනු ලැබ ඇති අතර එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව පාර්ලිමේන්තුවේ රැස්වීම් කටයුතු විධිමත් කිරීම සඳහාත් පාර්ලිමේන්තු රැස්වීම්වලදී විනය ආරක්ෂා කර ගැනීම සඳහාත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විධිවිධාන සැලසිය යුතු හෝ බලාත්මක කිරීම අවශ්‍ය වන ඕනෑ ම කාරණයක් සඳහාත් ස්ථාවර නියෝග සෑදීමේ බලය පාර්ලිමේන්තුවට එමගින් ලැබී තිබේ.

Image copyright Getty Images

මන්ත්‍රී විජේදාස රාජපක්ෂගෙන් ලිපියක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු කාරක සභාවේ ක්‍රියාවලිය ප්‍රසිද්ධ කිරීම මගින් ජාතික ආරක්ෂාව අනතුරට ලක් වන බව දන්වමින් කතානායක කරු ජයසූරියගේ අවධානය යොමු කර ලිපියක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ක්‍රියා කර තිබේ.

කරුණු 12කින් සමන්විත එම ලිපිය ජනපති, අගමැති හා විපක්ෂ නායකවරයා ඇතුළු 11 දෙනෙකුට සහ ජනමාධ්‍යවලට පිටපත් කර තිබේ.

2019 අප්‍රේල් 21 වන දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පහක් විභාග වෙමින් පවතින බැවින් 'Sub-Judice' රීතිය අනුව පාර්ලිමේන්තුව විසින් හෝ එහි කාරක සභාවක් විසින් සාකච්ඡා කිරීමට ලක්කරනු ලැබිය නොහැකි බව ඔහුගේ ලිපියේ දස වන ඡේදයේ දැක්වේ.

1955 අංක 32 දරන රාජ්‍ය රහස් පනත (Official Secrets Act) 1955 ප්‍රකාරව, සියලු කරුණු අභිබවා වර්තමාන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරමින් රාජ්‍ය බුද්ධි අංශ රහස්‍ය තොරතුරු හෙළිදරව් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අනාරක්ෂිත සහ බරපතළ තත්ත්වයක් ඇති වී, එහි අනිටු විපාකවල පූර්ණ වගකීම කතානායකවරයා දැරිය යුතු බවත්, දෙවනුව ආණ්ඩුව භාර ගත යුතු බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

Image copyright Getty Images

මේ පිළිබඳව මේ වන විට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවක් මගින් ද කරුණු විමර්ශනය කරමින් ඇති බව ද මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා ජනරජයේ සේනාධිනායකයා මෙන් ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රාජ්‍ය බුද්ධි තොරතුරු පාර්ලිමේන්තුව තුළ හෝ වෙනත් කුමන ස්ථානයකදී හෝ හෙළිදරව් කිරීමට ඉඩ දීමෙන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(1) (අ) සහ 38(2) (අ)(i) ව්‍යවස්ථාවන්හි ප්‍රතිපාදනයන් චේතනාත්මකව උල්ලංඝණය කර ඇති බව ද මන්ත්‍රීවරයා මෙම ලිපියේ අවසාන ඡේදයේ සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා කාරක සභාවක් ඉදිරියට කැඳවිය හැකිද?

"ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තු කාරක සභාවක් ඉදිරියට පමුණුවා ප්‍රශ්න කරන්න බැහැ. එය බල තුලනය සම්පූර්ණයෙන් අවුල් කරන ක්‍රියාවක්. ඒ වගේ ම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු කාරක සභාවලට දැඩි බලපෑම් එල්ල කරන්න බැහැ." යැයි නීතිවේදීනි ජී එම් රණසිංහ බීබීසී සිංහල සේවයට පැවසුවාය.

"ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය වෙන වෙන ම ක්‍රියා කළ යුතුයි. මේ තුන විවිධාකාරයෙන් සම්බන්ධ වුවත්, ඒ සියල්ලට යම් සීමා තිබෙනවා. රටක් පවතින්න නම් බල බෙදීමේ න්‍යාය ක්‍රියාත්මක විය යුතුයි." ඇය තවදුරටත් කියා සිටියාය.

1978 ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකුට නොහැකි වන්නේ "ගැහැණියක පිරිමියෙකු කිරීමට හෝ පිරිමියෙකු ගැහැණියක කිරීමට පමණයි" යනුවෙන් හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන වරක් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යම් දුරකට විධායක බලතලවල වෙනසක් සිදුවූ බව නීති විශාරදයෝ පවසති.

Image copyright Getty Images

දේශපාලන විද්‍යාවේ බලතල බෙදීමේ න්‍යාය යනු කුමක්ද?

බලතල බෙදීම යනු දේශපාලන විද්‍යාවේ පැරණිතම සිද්ධාන්තයක් වන අතර, මේ පිළිබඳ ප්‍රථමයෙන් අදහස් දක්වා ඇත්තේ ග්‍රීක ජාතික දාර්ශනිකයෙකු වන ඇරිස්ටෝටල්ය.

16 වන සියවසෙන් පසු හැරින්ටන්, ජෝන් ලොක් වැනි දේශපාලන සහ නීති චින්තකයින් බලතල බෙදීමේ අවශ්‍යතාව ගැන කරුණු ඉදිරිපත් කළ අතර, වර්තමානයේ අනුගමනය කරන බලතල බෙදීමේ න්‍යාය විධිමත් ආකාරයෙන් ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ ප්‍රංශ ජාතික දේශපාලන විද්‍යාඥයකු වූ 'චාල්ස් මොන්ටෙස්ක්‍යු' විසිනි.

ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද The Sprit of Laws (නීතියේ සාරය) යන කෘතිය තුළින් බලතල බෙදීමේ න්‍යාය මනාව විස්තර කර ඇත.

බල බෙදීමේ න්‍යායෙන් හැඳින්වෙන්නේ රාජ්‍ය බලය - ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ වශයෙන් බෙදී යාමය.

ව්‍යවස්ථාදායක බලය වශයෙන් නීති සම්පාදනය කිරීමත්, විධායකය නීති ක්‍රියාත්මක කිරීමත්, අධිකරණය නීති විවරණය කිරීමේ බලය සහ දඬුවම් නියම කිරීමේ බලය හිමි වීම යන්න මෙයින් අදහස් කෙරේ.

Image copyright Parliament.lk

ඒ අනුව ආණ්ඩුවේ කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීම සඳහාත්, අත්ත‍නෝමතික පාලනයකින් ආණ්ඩුව ගලවා ගැනීම සඳහාත්, ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහාත්, ආණ්ඩුවේ කාර්යයන් ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ වශයෙන් බෙදා ක්‍රියාවට නැංවිය යුතු බව චාල්ස් මොන්ටෙස්ක්‍යුගේ බල බෙදීමේ න්‍යායෙන් පෙන්වා දෙයි.

දේශපාලන බලය එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට ඒකරාශී වීම තුළින් ජනතා නිදහසට එල්ල විය හැකි තර්ජන වැළැක්වීමට යෙදිය හැකි කාර්යක්ෂම ක්‍රමය බලතල බෙදී පැවතීම බව මොන්ටෙස්ක්‍යුගේ නීතියේ සාරය නම් ග්‍රන්ථයේ සඳහන් වී තිබේ.

ශ්‍රී ලංකා ව්‍යවස්ථාවෙන් ද පාර්ලිමේන්තුව, විධායක සහ අධිකරණයට හිමි බලතල වෙන් වශයෙන් දක්වා තිබේ. ඒ අතර, එම බලතල අතර පවතින සම්බන්ධය ගැන ද පැහැදිලි කර තිබේ.

Image caption කතානායකවරයාගේ මාධ්‍යය නිවේදනය

තවත් තොරතුරු: