රාජ්‍ය සේවිකාවන්ට සාරි අනිවාර්ය කිරීම: මේ දක්වා සිදුවූයේ කුමක් ද?

රාජකාරි වේලාව තුළ රාජ්‍ය අංශයේ කාන්තා නිලධාරීන් සාරියකින් හෝ ඔසරියකින් සැරසිය යුතු බවට දන්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය පිළිබඳව දැඩි මතවාදයක් මේ වන විට නිර්මාණය වී තිබේ.

පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාර පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී ද බ්‍රහස්පතින්දා (ජූනි 14) ඒ පිළිබඳව ප්‍රශ්න කෙරිණි.

"රජයට අයත් කාර්යාල පරිශ්‍රවල ආරක්ෂාව තහවුරු කිරීමේ" අදහසින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබිණි.

කෙසේ වෙතත්, මෙහිදී දක්නට ලැබුණු විශේෂත්වය වන්නේ, සාරි සහ ඔසරි අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් සිංහල කාන්තාවන්ගෙන් ද විරෝධයක් පළ වීමය.

සාරි සහ ඔසරි අනිවාර්ය කිරීම

රාජ්‍ය අංශයේ පිරිමි සහ කාන්තා නිලධාරීන්ගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විධිවිධාන ඇතුළත් චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරිගේ අත්සන සහිතව නිකුත් කරනු ලැබුවේ, මැයි 29 වන දාය.

එම චක්‍රලේඛය පහත දැක්වේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා

මේ අතර, ජූනි 02 වන දා ට්විටර් පණිවුඩයක් මගින් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ, "අමාත්‍යංශ ලේකම්වරයා පැවසූ පරිදි, ජනාධිපති කාර්යාලයේ අණ පරිදි නිකුත් කර තිබූ නිල ඇඳුම් සම්බන්ධ චක්‍රලේඛය අත්හිටවූ," බවය.

මානව හිමිකම් කොමිසමේ නිර්දේශය

රාජ්‍ය නිලධාරිනියන් සාරිය හෝ ඔසරිය පමණක් හැඳ රාජකාරියට පැමිණිය යුතු බව දන්වා නිකුත් කල චක්‍රලේඛය වහා ම අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුම් දෙනු ලැබ තිබුණේ, ජූනි 07 වන දාය.

මානව හිමිකම් කොමිසම සිය නිර්දේශ ඉදිරිපත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබුණේ, කාන්තාවන් එක් එක් අවස්ථාවලදී විවිධ ඇඳුම් භාවිත කරන අතර ජන වර්ග අනුව ද අඳින ඇඳුම්වල වෙනස්කම් පවතින හෙයින් අදාළ චක්‍රලේඛය මගින් ඔවුන්ගේ මානව හිමිකම් කඩවීමක් සිදුවන බවය.

එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ද මානව හිමිකම් කොමිසම සඳහන් කර තිබිණි.

අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනය

Image copyright facebook

රාජ්‍ය සේවකයින්ගේ නිල ඇඳුම් පිළිබඳ චක්‍රලේඛයට අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාවක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසූ බව ජූනි 08 වන දා අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

එම නිවේදනයෙන් කියැවුණේ, රජයේ කාර්යාලයීය නිල ඇඳුම් පිළිබඳ චක්‍රලේඛය සශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බවය.

රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර එම චක්‍රලේඛය සශෝධනය කිරීමට කටයුතු කරමින් සිටින බවත්, ඒ හේතුවෙන් ඊට අනුකූලව ක්‍රියාකිරිමේ අවශ්‍යතාවක් නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇති බව එම නිවේදනයේ දැක්විණි.

"චක්‍රලේඛය නිකුත් කළේ අමත්‍යවරයාගේ උපදෙස් අනුවයි" - අමාත්‍යංශ ලේකම්

අමාත්‍යංශ ලේකම්වරුන්ගේ රැස්වීමේදී සහ රජයේ නිලධාරීන්ගේ ලිඛිත ඉල්ලීම් සලකා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාගේ උපදෙස් මත අදාළ චක්‍රලේඛය නිකුත් කළ බව එම අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාර පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී බ්‍රහස්පතින්දා (ජූනි 13) පැවසීය.

"ගරු අමාත්‍යතුමාගේ උපදෙස් මත තමයි අපි මේක නිකුත් කළේ. අත්හිටුවන්න කියලා ආවේ නෑ. මේක සංශෝධනය කරන්නයි කිව්වේ. මොක ද ගරු අග්‍රාමාත්‍යතමාත් එක්ක සාකච්ඡා කළා, ඇමතිතුමත් එක්ක මේ පිළිබඳව."

මෙම චක්‍රලේඛය නිසා "ඇතැම් කාන්තාවන් රැකියාවට යාමට නොහැකිව නිවාඩු දමා සිටින බව ඔබට වාර්තා වී තිබේ ද?" යනුවෙන් එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් විමසීය.

ලේකම්වරයා ප්‍රකාශ කළේ, තමන්ට එවැනි කිසිවෙකුගෙන් පැමිණිලි ලැබී නොමැති බවය.

මේ අතර, රාජ්‍ය සේවකයින්ට ඇඳුම් හෝ වෙනත් නීති සැකසීමේදී ජාති, ආගම් වශයෙන් සලකා නීති සම්පාදනය නොකරන බවය.

"රාජ්‍ය සේවකයෙක් වශයෙන් රාජ්‍ය සේවකයෙකුට ඇඳුමක් හෝ වෙනත් නීතියක් අපි හදනවා ඇරෙන්න, ජාති ආගම් වශයෙන් සලකලා නීති හදන්නේ නැහැ." ලේකම්වරයා ප්‍රකාශ කළේය.

"මේ කාරණයේ දෙපැත්තක් තියෙනවා"

රජයේ කාන්තා නිලධාරීන් සඳහා සාරිය හෝ ඔසරිය ඇඳීම අනිවාර්ය කිරීමේ තීරණය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී එහි යහපත් මෙන් ම අයහපත් ලක්ෂණ ද දැකිය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පැවසීය.

Image copyright Vishaka Sooriyabandara/Facebook
Image caption ආචාර්ය විශාකා සූරියබණ්ඩාර

බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඇය පෙන්වා දුන්නේ, මේ සම්බන්ධයෙන් කරුණු දෙකක් පිළිබඳව අවධානය යොමු කළ යුතු බවය.

"එතනදි එක කාරණයක් තමයි රාජ්‍ය සේවකයින්ගේ ඇඳුම පිළිබඳ යම් සීමා පැනවීමෙන් පමණක් රටේ ජාතික ආරක්ෂාව තහවුරු වෙනවා ද? කියන එක. ජාතික ආරක්ෂාවට අදාළ ප්‍රධාන අංශ නිවැරදිව ක්‍රියාත්මක නොකර ඇඳුම්වලට සීමා පැනවීමෙන් පමණක් ජාතික ආරක්ෂාව තහවුරු වෙන්නේ නෑ. ඒ පැත්තෙන් බලනකොට මේක බලහත්කාරකමක් කියලා හිතෙනවා."

"අනිත් අතට ශ්‍රී ලංකාව කියන්නේ උෂ්ණාධික රටක්. සාරිය අඳින්න තවත් ඇඳුම් අඳින්න වෙනවා. සාරිය අඳින එකත්, සාරිය ඇඳගෙන ඉන්න එකත්, සාරිය ඇඳගෙන පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන එකත් කාන්තාවකට ලේසි දෙයක් නෙවේ. ඒ වගේ ම, සාරිය ඇඳගෙන ඉන්න කෙනෙක් හදිසි අවස්ථාවකදී අනාරක්ෂිත තත්ත්වයට පත්වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මොක ද, හදිසියකදී දුවන්න හෝ සාරිය ඇඳගෙන ඉන්න කෙනෙකුට අමාරුයි. ඇඳුම වැනි කාරණාවලදී වරණීය අයිතියක් තියෙන්න ඕන. තමන් කැමති දෙයක් අඳින්න හැකි විය යුතුයි," ආචාර්ය විශාකා සූරියබණ්ඩාර සඳහන් කළාය.

"සාරිය ඇඳීම සම්බන්ධයෙන් වියදම, පහසුව සහ ආරක්ෂාව කියන හැම පැත්තකින් ම ප්‍රශ්න තියෙනවා. ඒ අනුව ගත්තොත් ඒක ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි."

කෙසේ වෙතත්, බලහත්කාරයකින් තොරව යම් සීමා පැනවීමෙන් දීර්ඝ කාලීනව යහපත් ප්‍රතිඵල ළඟා කර ගත හැකි බව ද ඇය පෙන්වා දුන්නාය.

"ආගම නීතිය කරගත්ත මුස්ලිම් වැනි ජන කොටස්වල සංස්කෘතිකමය සංකේතය ඔවුන්ගේ ස්ත්‍රී පාර්ශවය. ඒ නිසා ඔවුන් ස්ත්‍රීන්ට සීමා පනවා තිබෙනවා. ඒ සීමා ඇතුළේ ඒ කාන්තාවන් හිර වෙලා ඉන්නේ අකැමැත්තෙන් වෙන්නත් පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී බලහත්කාරයකින් තොරව යම් සීමා පැනවීමට රජයකට පුළුවන්. ඒ සමාජය තුළ වෙනසක් ඇති කරන්න රජයට ඒ ආකාරයෙන් මැදිහත් වෙන්න පුළුවන්."

එය සිදුවන ආකාරය ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පැහැදිලි කළේ මෙසේය.

"ඒ වගේ ජන කොටසකට යම් සාධාරණ සීමා පැනවුවහොත් ඔවුන්ට තියෙනවා විකල්ප දෙකක්. එකක්, ඊට අනුගත වෙන එක. අනික ඉන් ඉවත් වීම. මේ සීමා පැනවීම හරහා මුස්ලිම් කාන්තාවන් සේවයට නොගොස් නිවාඩු දමා ඇති බව අහන්න ලැබුණා. ඒ කියන්නේ ඔවුන් ඉන් ඉවත් වෙලා. ඒත් ඒ අතහැරීම දිගින් දිගට ම කරන්න අමාරුයි. ඒ නිසා ඔවුන් කල් ගත වෙද්දි ක්‍රමයෙන් අර සීමාවලට අනුගත වෙනවා. ඒක යහපත් දෙයක්."

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථානුකූලව විවිධ ජන කොටස්වලට, ආගම්වලට අදාළ නීති පිළිඅරගෙන තිබීම හේතුවෙන් යම් සීමාවක් පනවන්නේ නම් ඒ පිළීබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීමක් කළ යුතු බව ද ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පෙන්වා දුන්නාය.

සමාජ මාධ්‍යවල පළ වූ අදහස්

රාජ්‍ය සේවිකාවන්ට සාරිය හෝ ඔසරිය ඇඳීම අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළ වී තිබිණි. එහිදී දක්නට ලැබුණු විශේෂත්වයක් වූයේ, සිංහල ජනතාව ද එම යෝජනාවට විරෝධය පළ කර තිබීමය.

ඇතැමෙකු සඳහන් කර තිබුණේ, සාරිය හෝ ඔසරිය ඇඳීම අනිවාර්ය කිරීම 'එක්තරා ආකාරයක අන්තවාදී ක්‍රියාවක් නොවේ ද?' යනුවෙනි.

Image copyright Kathyana Amarasinghe/Facebook

මේ අතර, දිනපතා පොදු ප්‍රවාහන සේවාව ඔස්සේ කාර්යාල වෙත යාමේදී සාරි හෝ ඔසරි ඇඳගෙන යාම දුෂ්කර බවට ද මත පළ වී තිබිණි.

දෙමාපියන්ට සාරි අනිවාර්ය කළ නීති

පාසල් දරැවන්ගේ මව්වරුන් පාසල් තුළට පැමිණෙද්දී සාරි ඇඳීම අනිවාර්ය කරමින් විදුහල්පතිවරුන් පනවා තිබූ නීති සම්බන්ධයෙන් 2016 වසරේදී දැඩි මතවාදයක් නිර්මාණය විය.

එහිදී, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නියෝග කළේ, එම නීති ඉවත් කරන ලෙසය.

රැකියාවල නිරත වන කාන්තාවන් එම රැකියා ස්ථානවලට අනන්‍ය වූ ඇඳුම් ඇඳිය යුතු හෙයින් පාසලට පැමිණීමේදී විධිමත් ඇඳුමකින් යුතුව පැමිණීම ප්‍රමාණවත් බවට ඔහු නිර්දේශ කළේය.

තවදුරටත් කියවන්න.