සෞදි අරාබිය: අභා ගුවන්තොටුපොළට තවත් ප්‍රහාරයක්

Image copyright Reuters
Image caption දෙවරක් ඉලක්කයට ලක් වූ අභා ගුවන්තොටුපොළ

දෙදිනකට පෙර ප්‍රහාරයට ලක් වූ සෞදි අරාබි ගුවන් තොටුපොළ වෙත යේමනයේ හුති කැරලිකරුවන් යළිත් ප්‍රහාරයක් එල්ල කර ඇති බව සෞදි බලධාරීහු පවසති.

අභා ගුවන්තොටුපොළ සහ ඒ ආසන්නයේ පිහිටි ඛමිස් මුශායිට් (Khamis Mushait) නගරය නියමුවන් රහිත ප්‍රහාරක (ඩ්‍රෝන) යානා පහක ඉලක්කය වී ඇතැයි සෞදි බලධාරීන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

දින දෙකකට පෙර එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් විසිහය දෙනෙක් තුවාල ලැබූහ.

ප්‍රහාරයෙන් තුවාල වූවන් වාර්තා වී නොමැති බව පවසන සෞදි බලධාරීන් ඉන් ගුවන්තොටුපළේ කටයුතුවලට බාධාවක් සිදුව නොමැති බව ද කියා සිටී.

ශ්‍රී ලාංකිකයන්ට පණිවුඩයක්

මේ අතර සෞදි අරාබිය තුළ අනතුරුදායක තත්ත්වයක් ඇති වන්නේ නම් වහාම තානාපති කාර්යාල මැදිහත් වී ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගනු ඇති බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය පවසයි.

විදේශ සම්බන්ධතා පිළිබඳ සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සිය කාර්යංශයට කඩිනම් ප්‍රතිපාදන සපයා ඇති බවය.

එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ද ඒ සඳහා සෘජු ලෙස මැදිහත් වනු ඇති බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයේ නිල වාර්තාවලට අනුව සෞදි අරාබියේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව එක්ලක්ෂ හැත්තෑ පන්දහසකට ආසන්නය.

2015 මාර්තු සිට සෞදි අරාබිය ප්‍රමුඛ මිත්‍ර හමුදා යේමනය වෙත බෝම්බ ප්‍රහාර එල්ල කරයි.

යේමනයේ බටහිර කලාපයේ වැඩි කොටසක පාලනය කැරලිකරුවන් අතට පත්වීම සහ ජනාධිපති මන්සූර් හාඩිට විදෙස් රටකට පැන යාමට බල කිරීමත් සමග යේමනයේ පවතින ව්‍යසනකාරී තත්ත්වය තවත් උග්‍ර අතට පත් විය.

කලාපයේ ෂියා මුස්ලිම් බලවතා වන ඉරානයේ සහය ලබන බවට විශ්වාස කෙරෙන කණ්ඩායමක වර්ධනය හමුවේ ජනාධිපති හාඩිගේ ආණ්ඩුව ප්‍රතිස්ථාපනය කිරීමේ බලාපොරොත්තුවෙන් සෞදි අරාබිය සහ තවත් බහුතර සුන්නි මුස්ලිම් රාජ්‍යයන් අටක් යේමනය තුළ ගුවන් ප්‍රහාර ආරම්භ කළහ.

"හුති කැරලිකරුවන් විසින් අභා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ ඛමිස් මුශායිට් නගරය වෙත දියත් කරන ලද නියමුවන් රහිත ගුවන් යානා පහක් සාර්ථක ලෙස විනාශ කිරීමට සහ මැඩපැවැත්වීමට සෞදි රාජකීය ගුවන් ආරක්ෂක හමුදාව සහ ගුවන් හමුදාවට හැකි වුනා" යනුවෙන් සෞදිය ප්‍රමුඛ සන්ධානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

බදාදා ප්‍රහාරයෙන් පසු හුති කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින අල් මසිරාහ් රූපවාහිනිය වාර්තා කළේ කැරලිකරුවන් විසින් අභා ගුවන්තොටුපොළ වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවය. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව සෞදි බලධාරීහු පැවසූහ.

සෞදි අරාබියේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ඛලෙඩ් බින් සල්මාන් පසුව කියා සිටියේ "ටෙහෙරානයේ නියෝගයකට අනුව" ප්‍රහාරය සිදුව ඇති බවය. ඉරානය එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර තුති කැරලිකරුවන් ද කියා සිටියේ ඊට සිය සංවිධානයේ සම්බන්ධයක් නොමැති බවය.

ඉහත කී ප්‍රහාරයට ප්‍රතිචාරයක් වශයෙන් සෞදිය ප්‍රමුඛ සන්ධානය කැරලිකරුවන් අත පවතින යේමනයේ සානා අගනුවර වෙත ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. දරුවන් සිව් දෙනෙකුව ඇතුළු හය දෙනෙකු ඉන් මරණයට පත්ව ඇතැයි වාර්තා විය.

Image caption මන්දපෝෂණයෙන් පෙළෙන යේමන දරුවෙක්

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන පරිදි යේමනයේ පවතින ගැටුම්වලින් මේ දක්වා මරණයට පත් සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව හැත්තෑ දහසකට ආසන්නය. එකොලොස් දහසක් තුවාල ලබා ඇත.

ඉහත කී පිරිසෙන 65% පමණ මරණයට පත්ව ඇත්තේ සෞදිය ප්‍රමුඛ සන්ධානයේ ගුවන් ප්‍රහාරවලට හසුවීමෙන් බව වාර්තාවල දැක්වේ.

වළකා ගත හැකි මන්දපෝෂණය සහලෙඩ රෝග වැනි සෞඛ්‍ය ගැටලු හේතුවෙන් තවත් දහස් සංඛ්‍යාත පිරිසක් මරණයට පත්ව ඇත.