කාත්තන්කුඩියට අරාබි බස සහ රටඉඳි ගෙන ආ රහස හෙළිවෙයි

Image copyright Getty Images

අරාබි භාෂාව භාවිතා කළ නොහැකි බවට සඳහන් වන නීතියක් ශ්‍රී ලංකාව තුළ නොමැති බව නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා පැවසීය.

තවදුරටත් ඔහු කියා සිටියේ අරාබි සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා කාත්තන්කුඩි ප්‍රදේශයේ නාම පුවරු මත අරාබි බස ද යොදා ගත් බවය.

"එය නීති විරෝධී නැහැ. එය ව්‍යවස්ථාවට පටහැනි නැහැ." ඔහු ප්‍රකාශ කළේය.

ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාර පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ බ්‍රහස්පතින්දා (ජුනි 13) සාක්ෂි ලබා දෙමිනි.

අරාබි බස සහිත නාම පුවරු නැරඹීම සඳහා අරාබි සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම අපේක්‍ෂා කළ හැකි දෙයක් දැයි කාරක සභාව මෙහිදී ප්‍රශ්න කළේය.

එහිදී ඔහු කියා සිටියේ සංචාරක ප්‍රවර්ධනය සඳහා විවිධ භාෂාවන් යොදා ගැනීම මේ වන විට ගෝලීය වශයෙන් සිදුවන දෙයක් බවය.

කාත්තන්කුඩි ප්‍රදේශයේ රටඉඳි ගස් වැවීමට හේතුව කුමක්දැයි කාරක සභාවේ සාමාජිකයෙකු විසින් ඉන් අනතුරුව විමසීමක් කරන ලදී.

එවිට ඔහු කියා සිටියේ එම ප්‍රදේශයේ පවතින උණුසුම් දේශගුණයට ඔරොත්තු දෙන ශාකයක් වූ හෙයින් එම තීරණය ගත් බවය.

එසේනම් තල් ගස් වගා නොකළේ මන්දැයි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් ප්‍රශ්න කරන ලදී.

"අපි රට ඉඳි ගස් තොර ගත්ත. තල් ගසුත් ප්‍රශ්නයක් නැහැ." නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවර හිස්බුල්ලා පිළිතුරු දුන්නේය.

මෙම රටඉඳි ගස් ඉවත් කරන ලෙස එක්තරා අධිකරණ විනිසුරුවරයෙකු නියෝග කිරීමෙන් අනතුරුව එම විනිසුරුවරයා එම පලාතෙන් මාරු කර යැවීමට තමන් ක්‍රියා කළ බවට එල්ලවන චෝදනාව සත්‍යයක් දැයි කාරක සභාව විමසීමක් කළේය.

ඊට පිළිතුරු දෙමින් හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා කියා සිටියේ එම කාරණය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින හෙයින් ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කිරීමන් ඊට අගතියක් විය හැකි බවය.

2015 මහ මැතිවරණයට පෙර සහරාන්ගේ සහයෝගය ලබා ගැනීම සඳහා ගිවිසුමකට අත්සන් තැබුවේ තමා පමණක් නොවන බව ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ අපේක්ෂකයන් ඇතුළු පළාතේ සියලුම මුස්ලිම් අපේක්‍ෂකයන් සහරාන් ගේ ගිවිසුමට අත්සන් කළ බව තවදුරටත් කියා සිටියේය.

හිටපු ආණ්ඩුකාරවරයා තවදුරටත් කියා සිටියේ තමන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා "සින්දු දැමීම නිසා" එම ගිවිසුම අවලංගු වූ අතර එතැන් පටන් සහරාන් තමන්ට එරෙහිව කටයුතු කළ බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර