ජනාධිපතිවරණය: කරුගේ ස්ථාවරය හෙළිදරව් කරයි !

මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය තුළින් ඉල්ලීමක් ඉදිරිපත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බව කථානායක කරු ජයසුරිය පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේදැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

"මගේ නම බොහෝ අවස්ථාවල සඳහන් වෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් ඒ සඳහා ආරාධනා කර තිබෙනවා"

කෙසේ වුවද, ජනාධිපති ධුර අපේක්ෂකත්වය පක්ෂයේ වෙනත් සාමාජිකයකු වෙත ලබා දීමේ සුදානමක් ඇත්නම් එය "උදුරා ගැනීමට අවශ්‍යතාවක් නොමැති" බව කථානායක කරු ජයසුරිය කියා සිටියේ ෆේස්බුක් ඔස්සේ සජීවී සංවාදයකට එක්වෙමිනි.

"රට වෙනුවෙන් යළි කැප කිරීමක් කරන්න සූදානම්. සියලු දෙනාගේ ආශීර්වාදය ලැබුනොත් ජනාධිපතිවරණයට තරග කිරීම ගැන සලකා බලනවා,"

ඒ සම්බන්ධයෙන් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආශීර්වාදය ලැබෙනු ඇතැයි විශ්වාස කරන්නේ දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ "මම ගිහින් එතුමා සමග ඒ ගැන සාකච්ඡා කර නැහැ. එහෙම සාකච්ඡා කරන්න, ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ" යනුවෙනි.

ජනාධිපතිවරණය සහ ඉදිරි වැඩපිළිවෙල

යම් කිසි හෙයකින් ජනාධිපතිවරණයට තරග කිරීමට අවස්ථාව හිමි වුවහොත් රට හමුවේ තබන ඉදිරි වැඩපිළිවෙල කුමක්දැයි විමසූ විට කථානායකවරයා කියා සිටියේ "ජාතික සමගිය ගොඩනැංවීමට" මුල් තැන ලබා දෙන බවය.

"ඒ වගේම රට තුළ ජාතික ප්‍රතිපත්තියක් ඇති කළ යුතුයි. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් එක් වී එකඟතාවකට පැමිණිය යුතුයි."

තරුණ පිබිදීම්, සිවිල් යුද්ධය වැනි ව්‍යසනවලට අමතරව "බල ලෝභීත්වය තුළ ඇති වූ දේශපාලන අසමගිය" නිදහසෙන් පසු ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබුණු බව කී කථානායකවරයා "විවිධ අවස්ථාවල ආගම් භේද පැන නැගිලා රට තුළ විශාල හානියක් සිදු වුණා" යනුවෙන් සඳහන් කළේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇති වූ මුස්ලිම් විරෝධී ප්‍රහාර පිටුපස "තනිකරම දේශපාලන පසුබිමක් පවතින" බවත් ඔහු කියා සිටියි.

කුමන පුද්ගලයෙකු ජනාධිපති ධුරයට පත් වුවත් රට ඉදිරියට යාමට නම් රට තුළ ජාතික සමගිය ඇති කළ යුතුව ඇති බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා ඇතත්, එහි වටිනාකම තේරුම් ගෙන නැත යන්න කථානායකවරයාගේ අදහස වෙයි.

"මේකේ වටිනාකම දැනට තේරුම් අරන් ඉන්නේ කූඩු ජාවාරම්කරුවන් පමණයි. මොකද ඒ අය මේක මධ්‍යස්ථානයක් කර ගෙන තිබෙනවා. ඒ අය ඒක තේරුම් ගත්තට අනෙක් අයට එය තේරුම් ගොස් නැහැ."

විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට නිසි වැඩපිළිවලක් ඇත්නම් එය අභියෝගයක් නොවනු ඇතැයි පවසන කථානායකවරයා, ඔක්තෝම්බර් 26 දේශපාලන අර්බුදයට පෙර ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක මධ්‍යස්ථානය වශයෙන් පිළිගෙන තිබූ බව සඳහන් කළේය.

ඉන් පසුව පාස්කු දින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමග ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවති එම ප්‍රතිරූපය සම්පූර්ණයෙන් බිඳ වැටුණු බව ඔහු කියා සිටියේය.

රටේ ආරක්ෂාව

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ "උනන්දුවක් නොපැවතුණු" බව කථානායකවරයාගේ අදහසය.

උදාහරණයක් වශයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක් වූ සංචාරක හෝටල් කරා පැමිණි ප්‍රහාරකයන් ඉතා පහසුවෙන් ඒ වෙත ඇතුළු වූ ආකාරය පෙන්වා දිය හැකි බව ඔහු කියා සිටී.

"නමුත් මඩකලපුවේ දේවස්ථානය අසල එක් බුද්ධිමත් පුද්ගලයෙක් ඒ බෑග් පරීක්ෂා කළා. ඒක තමයි සෑම තැනකම සිද්ධ වෙන්න ඕන"

එමෙන්ම ආගමික කටයුතු සඳහා පැමිණි "අසරණ මිනිස්සුන්ට" ඒ ආකාරයේ හානියක් සිදු කළේ ඇයිදැයි යන්න සිතා බැලිය යුතු බව කී කථානායකවරයා "අපට ඒක හිතන්නත් අමාරුයි. නමුත් බහුතර මුස්ලිම් ප්‍රජාව තේරුම් ගත්තා - මේ කළේ ඉතාම කෘර ක්‍රියාවක් කියල. ඒ නිසා තමයි ඊට සම්බන්ධ අයගේ මෘත ශරීර වළ දාන්නවත් පල්ලියේ භූමිය දුන්නේ නැත්තේ" යනුවෙන් සඳහන් කළේය.

මෙවැනි තත්ත්වයන් තුළ ආණ්ඩුව සහ විපක්ෂය එක්ව ක්‍රියා කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

"උදාහරණයකට ළමයි පාසල් යැවීම සම්බන්ධයෙන් ආණ්ඩුව සහ විපක්ෂය හිටියේ මත දෙකක. ඒ නිසා ඒක ප්‍රශ්නයක් වුණා. එහෙම නොවී එකට හිටියා නම්, මීට වඩා මහජන විශ්වාසය ඇති කරන්න පුළුවන්"

එමෙන්ම මුස්ලිම් ප්‍රජාවගේ පූර්ණ එකඟත්වය සහිතව ඇතැම් නීති වෙනස් කිරීමට කටයුතු කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

විධායක ජනාධිපති ධුරය සහ පාර්ලිමේන්තුව

විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බව සිය ස්ථාවරය බව කථානායකවරයා පවසයි.

පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ද ඔහුගේ විවේචනයට ලක් විය.

වැරදි ආකාරයට හැසිරෙන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පක්ෂ නායකයන්ට වගකීමක් පැවරෙන අතරම, ඒ සඳහා සුදුස්සන් තෝරා පත් කර ගැනීම මහජනතාවගේ ද වගකීම බව ඔහු පෙන්වා දෙයි.

දේශපාලන අර්බුදය අතරතුර පාර්ලිමේන්තුව තුළ කලහකාරී ලෙස හැසිරෙමින් පොලිසියට පහර දුන් මන්ත්‍රීවරු හය දෙනෙකු හඳුනා ගෙන ඇති බවත්, ඔවුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කටයුතු කර ඇති බවත් කථානායක කරු ජයසුරිය වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර