මේ 'වයිට්නින් ක්‍රීම්' භාවිත කරන්නේ බලාගෙනයි! - ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට අනතුරු ඇඟවීමක්

Image caption ඉහළ රසදිය ප්‍රමාණයක් අඩංගු නිෂ්පාදන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හඳුනා ගනු ලැබ ඇති ක්‍රීම් වර්ග

සම පැහැ ගැන්වීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන ඇතැම් ක්‍රීම් වර්ගවල [whitening Cream] සම්මත ප්‍රමාණයට වඩා පනස් එක්දහස් ගුණයක් රසදිය අඩංගු බව පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සමන්තා කරුණාරත්න පෙන්වා දෙන පරිදි කාර්මික තාක්ෂණ ආයතනයේදී [ITI] නියැදි 16ක් පරීක්ෂා කර ඇති අතර එම ක්‍රීම් වර්ගවල ඉතා ඉහළ රසදිය ප්‍රමාණයක් අඩංගු වී තිබේ. කාර්මික තාක්ෂණ ආයතනය, රජයේ ආයතනයකි.

නිසි පටිපාටියකින් තොරව එවැනි ක්‍රීම් වර්ග බොහොමයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත්තේ, පාකිස්තානයෙන් බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි.

2018 මැයි 03 වන දා නිකුත් කෙරුණු අංක 2069/37 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව සමේ අලේප කරන්නා වූ සියලු ම ක්‍රීම් සහ දියර වර්ගවල [Lotions] බැර ලෝහ අඩංගු කළ හැකි උපරිම සීමාවන් දක්වා ඇත.

ඒ අනුව රසදිය [Mercury] පැවතිය හැක්කේ කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් එකකි (1Kg -1mg). එහෙත් පරීක්ෂාවට ලක් කෙරුණු නියැදි 10/16ක අන්තර්ගත රසදිය ප්‍රමාණය මිලිග්‍රෑම් එකළොස් දහස ඉක්මවා තිබේ.

Image caption කිලෝ ග්‍රෑම් 1 අඩංගු රසදිය මිලි ග්‍රෑම් ප්‍රමාණය

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙළෙඳ නාම බවට පත්ව ඇති ඉතා ඉහළ රසදිය ප්‍රමාණයක් අඩංගු ක්‍රීම් සහ දියර පිළිබඳ විශ්ලේෂණයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සුවිශේෂී තත්ත්වයක් හඳුනාගෙන තිබේ. එනම් ඒවායේ නිෂ්පාදිත රට, කල් ඉකුත් වීමේ දිනය හෝ අන්තර්ගත රසායන ද්‍රව්‍ය පිළිබඳ කිසිදු සටහනක් නොමැති වීමය.

අදාළ ක්‍රීම් වර්ග නිෂ්පාදනය කරන ලද සමාගම්වලින් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරය ලබා ගැනීමට උත්සහ කළ ද දවටන මත නිෂ්පාදිත සමාගමේ විස්තර අඩංගු නොවන බැවින් ඔවුන් සම්බන්ධ කර ගැනීමට මගක් නොමැත.

සාක්ෂරතාව ඉතා ඉහළ මට්ටමක පවතින ශ්‍රී ලංකාව වැනි රටක භාණ්ඩ තෝරා ගැනීමේදී පාරිභෝගිකයන් ඒවායේ ගුණාත්මකභාවය සම්බන්ධ මූලික කරුණු කෙරෙහි අවධානය යොමු නොකිරීම කනගාටුදායක තත්ත්වයක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි.

"වැඩි වශයෙන්ම" රසදිය අඩංගු ක්‍රීම් වර්ග

Image caption "කිසි ම උප්පැන්නයක් නැති ලයිලා [Layla], නූහා [`Nuha], ගෝරි [Goree] සහ ගෝල්ඩන් පර්ල් [Golden Pearl] යන නිෂ්පාදනවලත් ඉතා ඉහළ රසදිය ප්‍රමාණයක් තිබුණා"

ශ්‍රී ලංකාවෙන් සොයා ගත් වැඩි ම රසදිය ප්‍රමාණයක් අන්තගත වන ක්‍රීම් වර්ග ගැන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සමන්තා කරුණාරත්න මෙලෙස විස්තර කළාය.

''අපේ පරීක්ෂණවලදී හෙළි වුණා මාලිකා [Malika] කියන නිෂ්පාදනයක් ගැන. ඒකෙ රසදිය තිබුණා 51,752ක්. මම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අන්තර්ජාලයෙන් පරික්ෂා කළා. එක වාර්තාවක තිබුණා ලෝකයේ හමුවුණු වැඩි ම නිෂ්පාදනයේ තිබුණෙත් රසදිය තිස් දාස් ගාණක් කියලා. කිසි ම උප්පැන්නයක් නැති ලයිලා [Layla], නූහා [`Nuha], ගෝරි [Goree] සහ ගෝල්ඩන් පර්ල් [Golden Pearl] යන නිෂ්පාදනවලත් ඉතා ඉහළ රසදිය ප්‍රමාණයක් තිබුණා,'' යනුවෙන් ඇය කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"සුදු වෙන්න ගිහින් සිද්ධ වුණේ සුදු මැලි වෙන්න"

සමේ ආලේප කරන ප්‍රමිතියෙන් තොර ක්‍රීම් සහ දියර වර්ග නිසා අසාත්මිකතා, දරුණු රෝගාබාධ මෙන් ම ජීවිත හානි පවා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇත.

සම පැහැපත් කර ගැනීමේ අරමුණින් භාවිත කරන ආලේපනවල ප්‍රමිතිය කෙරෙහි කාන්තාවන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර පෙන්වා දෙයි.

ඇය පවසන පරිදි රුව පැහැපත් කර ගැනීමේ අරමුණින් භාවිත කරන ආලේපන නිසා රසදිය ශරීරගත වන ආකාර දෙකකි.

  • සම හරහා
  • ස්වසන මාර්ගය ඔස්සේ

දරුවන්ගේ "මොළයට බලපෑම්"

Image caption චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර

යම් කාන්තාවක් රසදිය අඩංගු ආලේපන භාවිත කරන්නේ නම් එහි හානිය ඇයට පමණක් නොව සැමියා සහ දරුවන්ට ද එක සේ බලපාන බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර අවධාරණය කරයි.

මව්වරුන් රසදිය අඩංගු ආලේපන භාවිත කිරීම, විශේෂයෙන් කුඩා දරුවන්ගේ මොළයේ වර්ධනය අඩු වීමට හේතු වන බව බොහෝ දෙනා නොදන්නා කරුණක් බව ද ඇය පෙන්වා දෙයි.

විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දෙන පරිදි රසදිය ශරීරගත වීම නිසා ඇති විය හැකි සෞඛ්‍ය ගැටලු:

  • වකුගඩු රෝග
  • ස්නායු ආබාධ
  • නොරුස්සන ගතිය
  • සිහිමද ගතිය
  • සමේ දද සහ කැළැල් ඇති වීම
  • සම දුර්වර්ණ වීම
  • ප්‍රතිශක්තිකරණය අඩු වීම නිසා පහසුවෙන් බැක්ටීරියා හා අසාදනවලට ලක්වීම
  • කන් ඇසීම අඩුවීම
  • ඇස් පෙනීම අඩු වීම

පාසල්, විශ්වවිද්‍යාල සහ විවාහවන වයසේ තරුණියන්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර සම පැහැපත් කර ගැනීම සඳහා ක්‍රීම් වර්ග භාවිතය ඉතා ඉහළ මට්ටමක පවතී.

සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි පාසල් ශිෂ්‍යාවන් සහ විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යාවන් එවැනි ක්‍රීම් වර්ග භාවිතයට වැඩි නැඹුරුවක් දැක්වීම මෑත කාලයේ දක්නට ලැබෙන ප්‍රවණතාවකි.

එමෙන් ම විවාහ දිනය ආසන්න වන විට සම පැහැපත් කර ගැනීමේ අරමුණින් කාන්තාවෝ මෙවැනි ක්‍රීම් වර්ග භාවිතය කෙරෙහි යොමු වෙති. විවාහය වෙනුවෙන් එවැනි ක්‍රීම් වර්ග කෙරෙහි යොමු වන පුරුෂයන් ද නැතුවා නොවේ.

විවාහ දිනයට පෙර සම පැහැ ගැන්වීමේ ක්‍රීම් භාවිත කිරීම නිසා සෞඛ්‍ය ගැටලු මතු වූ කාන්තාවක බීබීසී සිංහල සේවය වෙත සිය අත්දැකීම පැවසුවේ මෙලෙසය.

"මම වෙඩින් එකට මාස දෙකකට විතර කලින් ෆේෂල් එකක් කර ගන්න ගියා. සුදු වෙන්න ගිහින් අන්තිමේදී මට සිද්ධ වුණේ සුදු මැලි වෙන්න."

ආලේපනය හේතුවෙන් ඇති වූ දරුණු ආසාත්මිකතාවක් නිසා තම මුහුණ "විරූපී" වූ ආකාරය ඇය සිහිපත් කළාය.

ඇය සිය නම හෙළි කිරීමට අකමැති වූ අතර භාවිත කරන ලද ක්‍රීම් වර්ගය සම්බන්ධයෙන් ඇයට කිසිදු අවබෝධයක් නොතිබිණි.

ඉහත කී තරුණියගේ විවාහ උත්සවය පවත්වා මේ වන විට වසරක කාලයක් ගතව තිබේ. මුහුණ පැහැපත් කර ගැනීමට අලේප කළ ක්‍රීම් නිසා මුහුණේ ඇති වූ කළු පැහැති ලප නැති කර ගැනීම සඳහා මේ වන තුරුත් ඇය ප්‍රතිකාර ලබන්නීය.

අවධානය යොමු කළ යුතු ආලේපන සහ දියර වර්ග

පාරිභෝගික සේවා අධිකාරිය පවසන පරිදි රසදිය මට්ටම කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු ආලේපන සහ දියර වර්ග:

  • මේකප් ක්‍රීම් සහ දියර වර්ග
  • මොයිස්චරයිසින් ක්‍රීම් සහ දියර වර්ග
  • රෝම ඉවත් කිරීමේ ආලේපන (වැක්ස්) සහ දියර වර්ග
  • හිරු රශ්මියෙන් සම පිළිස්සීම වළක්වන ක්‍රීම් (සන් ක්‍රීම්) සහ දියර වර්ග
  • සම පැහැපත් වීම සඳහා භාවිත කරන ක්‍රීම් සහ දියර වර්ග
  • සමෙහි අඳුරු පැහැය නොපෙන්වීම සඳහා භාවිත කරන [Vanishing] ක්‍රීම් සහ දියර වර්ග

ප්‍රමිතියෙන් යුත් ක්‍රීම් සහ දියර හඳුනා ගන්නා ආකාරය

රසදියවලට අමතරව ඊයම්, ආසනික් සහ කැඩ්මියම් යන බැර ලෝහ සමෙහි ආලේප කරන ක්‍රීම් හා දියර තුළ අඩංගු වේ. එම බැර ලෝහ සඳහා ද උපරිම සීමාවන් දක්වමින් ප්‍රමිති සකස් කර ඇත. බොහෝ විට ඉන් වඩාත් හානිකර බවට වාර්තා වී ඇත්තේ රසදිය බැවින් පිළිගත් වෙළෙඳ නාමයක් සහිත නිෂ්පාදන මිල දී ගැනීම ආරක්ෂාකාරී බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි.

නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය, අඩංගු රසායන ද්‍රව්‍ය සහ භාවිතයට උපදෙස් ලේබලයේ අඩංගු වී ඇත්දැයි පරික්ෂා කර බැලීම එහිදී වැදගත් වේ. පිළිගත් නිෂ්පාදනවල රසදිය අඩංගු නම් ලේබලයේ 'මර්කරි'' ලෙස හෝ මර්කරි අයඩෙඩ්, අමොනියටෙඩ් මර්කරි ආදී ලෙසින් සටහන් කර ඇති බව විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර පෙන්වා දෙන්නීය.

ශ්‍රී ලංකාවේ නීතිය

Image copyright Getty Images
Image caption පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එම් ෆවුසර්

යම් ක්‍රීම් හෝ දියර වර්ගයක උපරිම සීමාවට වඩා රසදිය අන්තර්ගත බවට අනාවරණය කර ගත්ත ද ඒවා ශ්‍රී ලංකාව පුරා විකිණීම තහනම් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නීතිමය හැකියාවක් නොමැත.

"අපිට නඩු පවරන්න පුළුවන්. ඒත් පුංචි බාධාවක් තියෙනවා. 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ පනත යටතේ මහේස්ත්‍රත්වරයාට බලතල තියෙන්නේ ඒ අධිකරණ බල සීමාව තුළ ඇති වෙළෙඳසල්වලින් එම භාණ්ඩ ඉවත් කරන්න පමණයි. ලංකාව පුරා ම විකුණන්න තියෙන්න පුළුවන්. ඒත් එහෙම නියෝගයක් දෙන්න බෑ.'' යනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සමන්තා කරුණාරත්න කියා සිටියේ ඒ සම්බන්ධයෙන් පවතින නීතිමය පසුබිම විස්තර කරමිනි.

"රැවටෙන අය සිටින තුරු රවටන අයගේ අඩුවක් නෑ"

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එම්. ෆවුසර් පවසන්නේ රසදිය අඩංගු ක්‍රීම් සහ ආලේපන ගැන දැනුවත් කිරීම සඳහා කාන්තාවන් ඉලක්ක කර ගනිමින් දැනුවත් කිරීමේ වැඩසටහන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ආරම්භ කර ඇති බවය.

"රැවටෙන අය සිටින තුරු රවටන අයගේ අඩුවක් නොවන බැවින්" ජනතාව තමන් මිල දී ගන්නා භාණ්ඩවල ප්‍රමිතිය ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

''ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් කරන්නේ බඩුවල මිල පාලනය කියලා. ඒක එක දෙයක් විතරයි. රටේ මුල් පුරවැසියාගේ සිට අවසාන කෙනා දක්වා අපි හැමෝම පාරිභෝගිකයෝ. ගැටලුව තියෙන්නේ බොහෝ පාරිභෝගිකයෝ තමන්ට වන අසාධාරණකම් වෙනුවෙන් නැගී සිටින්නේ නැති එක. ඒ නිසා ඔබේ ගැටලු 1970 කියන දුරකතන අංකයට කතා කරල කියන්න," යනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර