අභියාචනාධිකරණය: ගෝඨාභය ගේ පෙත්සම් දෙකක් ප්‍රතික්ෂේප කෙරේ

Image copyright Getty Images

තමන්ට එරෙහිව පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය දුන් නියෝගයක් බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සහ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

මෙම නියෝගය නිකුත් කළේ අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසිනි.

හම්බන්තොට, මැදමුලන ඩීඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඉදිරියේ නඩු පවරනු ලැබ තිබේ.

ඉකුත් දිනවල මෙම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මූලික විරෝධතාවක් මතු කරමින් එම පෙත්සම් විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් ඉල්ලා සිටියහ.

Image caption ඩීඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය

අභියාචනාධිකරණය ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට නියම කළේ එම මූලික විරෝධතාව පිළිගනිමිනි.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ සිය පෙත්සම් මගින් අධිකරණය හමුවේ කියා තිබුණේ ඩීඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් තමා ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවය.

එම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලය පැවරී තිබෙන්නේ බරපතළ ආර්ථික වැරදි සහ මූල්‍ය අපරාධ පිලිබඳ නඩු විභාග කිරීමට පමණක් බවත් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන මෙම නඩුව එවැනි ගණයට අයත් නොවන එකක් බැවින් එය විභාග කිරීමට මෙම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නීතිඥවරුන් මූලික විරෝධතාවක් මතු කර තිබිණ.

කියවන්න:

එම මහාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාළ ගොනු, විශේෂ මහාධිකරණය වෙත භාර දෙනු ලැබුවද එය භාරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කළ බවද ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේය.

එලෙස තම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ගත් තීන්දුව නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුව විභාග කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද හිටපු ආරක්ෂක ලේකම්වරයා එහිදී වැඩිදුරටත් ඉල්ලා තිබිණ.

ප්‍රතිකාර ගැනීම පිණිස විදේශගතවීම සඳහා අධිකරණය මීට ඉහතදී ගෝඨාභය රාජපක්ෂට අවසර ලබා දුන් අතර, ඔහු මේ වනවිට සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටින බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ඔහු පාස්කු ඉරිදා ප්‍රහාරවලින් දින කිහිපයකට පසුව විදේශ මාධ්‍ය හමුවේ පවසා තිබුණි.

කෙසේ වුවත්, ශ්‍රී ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් තවමත් සිය ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කර නොමැති අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ඉතා ඉක්මනින්ම ප්‍රකාශයට පත්කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිහිපවරක්ම සඳහන් කළේය.

තවත් කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර