පාස්කු ප්‍රහාර: ප්‍රශ්න කිරීම් හමුවේ කාත්තන්කුඩි හිටපු පොලිස් ස්ථානාධිපති ගොළු වෙයි

Image caption ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියබන්දු වෙදගෙදර

මඩකලපුව, කාත්තන්කුඩි පොලිස් වසම තුළ සිදු වූ බව කියන අන්තවාදී හා ත්‍රස්තවාදී ක්‍රියා සහ ඒවාට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නගන ලද ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු දීමට කාත්තන්කුඩි පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට නොහැකි වූ ආකාරයක් අඟහරුවාදා පැවති සාක්ෂි විමසීමේදී දක්නට ලැබිණි.

කාත්තන්කුඩිය හිටපු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියබන්දු වෙදගෙදර සාක්ෂි දුන් අවස්ථාවේදී ඇතැම් ප්‍රශ්න හමුවේ නිහඬව සිටි අතර සමහර සිදුවීම් වාර්තා වී නොමැති බව පැවසීය.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් 'අබ්දුල් රාසික්' යන පුද්ගලයා පිළිබඳව විමසූ අවස්ථාවේදී හා රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සහරාන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී මේ තත්ත්වය දක්නට ලැබිණි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන කමිටුව අඟහරුවදා (ජූනි 18) පස් වන දිනට රැස්වූ අවස්ථාවේදී කාත්තන්කුඩිය වත්මන් පොලිස් ස්ථානාධිපතිවරයා, හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා හා සුෆී මුස්ලිම්වරුන් වෙනුවෙන් සහ්ලාන් රබ්බානි මවුලවිතුමා සාක්ෂි ලබා දුන්හ.

කාත්තන්කුඩිය හිටපු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියබන්දු වෙදගෙදර සිය සාක්ෂියේදී සඳහන් කළේ, 2014.08.01 සිට 2017.07.28 දක්වා තමන් කාත්තන්කුඩිය පොලිස් ස්ථානයේ සේවය කළ බවය. එම කාලය තුළ අන්තවාදී ක්‍රියා පිළිබඳ පැමිණිලි නොලැබුණු අතර ඉස්ලාම් ආගමේ නිකායන් අතර මතවාදී ගැටුම් පැවති බව ඔහු පැවසීය.

කලින් සාක්ෂිකරුවන් ලබා දුන් තොරතුරු පදනම් කරගෙන අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ, 2015 වසරේ කාත්තන්කුඩි පාසලක රැස්වීමකදී "සහරාන්ලා සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියාවක්" ගැන විදුහල්පතිනිය පොලිසියට පැමිණිලි කළ අතර ඒ ගැන කරුණු පැහැදිලි කරන ලෙසය.

එම සිදුවීම තමන්ට මතක නැති බවත්, සිද්ධි බොහොමයක් ඇති බවත් එහිදී සාක්ෂිකරු පැවසීය.

මීරා බාලිකා ජාතික පාසලේ සිදුවීම බවට කමිටු සාමාජිකයන් සිහිපත් කළ ද ඊට පිළිතුරක් නොලැබුණු විට රාජිත සේනාරත්න කියා සිටියේ, "කාත්තන්කුඩියේ මෙච්චර දේවල් වෙලත් ඒවා බැරෑරුම්ව අරගෙන නොමැති," බවයි.

මීට පෙර කමිටුව හමුවේ සාක්ෂි දුන් බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පොලිසියට කළ චෝදනා ගැන ද මෙහිදී අවධානයට ලක් විය.

එහිදී පිළිතුරු දෙමින් කාත්තන්කුඩි හිටපු පොලිස් ස්ථානාධිපති ආරියබන්දු වෙදගෙදර ප්‍රතාශ කළේ, පොලිසිය තවුහීද් ජමාත් සංවිධානය සමග එක්ව ක්‍රියා කළ බව කියන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවය.

එමෙන් ම සහරාන් පාර්ශවය නිවාස 120ක් ගිනි තබද්දී පොලිසිය පියවරක් නොගත් බවට නැගුණු චෝදනාවට පිළිතුරු දෙමින් හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ එවැනි සිදුවීමක් වාර්තා නොවූ බවය.

ගැටුම් ඇතිවූ අවස්ථාවලදී කළ අත්අඩංගුවට ගැනීම් හා නීතිය ක්‍රියාත්මක කළ ආකාරය සාක්ෂිකරු මෙහිදී කමිටුව හමුවේ පැහැදිලි කළේය.

ඔහු සඳහන් කළේ, තමන්ට ස්ථාන මාරුවක් ලැබුණේ සහරාන් අත්අඩංගුවට ගැනීමට යාමේ සිද්ධියක් මත නොව වසර තුනක සේවා කාලය අවසන් වීම නිසා බවය.

මේ අතර ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ප්‍රශ්න ඉදිරිපත් කළේය.

  • සරත් ෆොන්සේකා: අබ්දුල් රාසික් කියල කෙනෙක් හිටිය ද?
  • සාක්ෂිකරු: මම දන්නේ නෑ.
  • සරත් ෆොන්සේකා: දැන් මේ අබ්දුල් රාසික් ගැන ඔබතුමා මුකුත් දන්නේ නැද්ද?
  • සාක්ෂිකරු: (නිහඬයි)
  • සරත් ෆොන්සේකා: එවැනි චරිතයක් ගැන අහල තිබුණෙ ම නැද්ද?
  • සාක්ෂිකරු: නෑ. වාර්තා වුණේ නෑ.

කාත්තන්කුඩි හෙල්මට් නීතිය

කාත්තන්කුඩි නගරයේ අරාබි අක්ෂර යොදාගෙන දැන්වීම් ප්‍රදර්ශනය කිරීම හා ''කත්තන්කුඩ්යට හෙල්මට් නීතිය වලංගුව නොතිබූ බවට'' නැගෙන අදහස් සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කෙරිණි.

Image caption කාත්තන්කුඩිය පොලිසියේ වත්මන් පොලිස් ස්ථානාධිපති එම් පී කස්තුරිආරච්චි

මෙම සාක්ෂිකරුට පෙර සාක්ෂි ලබා දුන් කාත්තන්කුඩිය පොලිසියේ වත්මන් පොලිස් ස්ථානාධිපති එම් පී කස්තුරිආරච්චි පැවසුවේ, තමන් රාජකාරි ආරම්භයට පෙර හෙල්මට් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ අතර තමන් කාත්තන්කුඩියේ තරුණයන්ට හෙල්මට් පැළඳීමට ඉගැන්වූ බවය.

එහෙත් හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ, හෙල්මට් නොමැතිව යතුරු පැදිවල යන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ අතර ඇතැම් විට අතුරු මාර්ගවල එවැනි තත්ත්වයක් දක්නට ලැබුණු බවය.

සහරාන්ගේ වෛරී ප්‍රකාශන ගැන ආරක්ෂක අංශ දැනුවත් කිරීම

Image caption සහ්ලාන් රබ්බානි මවුලවි

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සුෆී මුස්ලිම්වරුන් වෙනුවෙන් සහ්ලාන් රබ්බානි මවුලවිතුමා ද මෙහිදී සාක්ෂි ලබා දුන්නේය.

ඔහු එහිදී සඳහන් කළේ, කතෝලික ජනයා නත්තල් උත්සවය සැමරීමට එරෙහිව සහරාන් 2016 වසරේදී ප්‍රකාශයක් කළ බවය.

බෞද්ධ ජනයාට එරෙහිවත් සහරාන් අදහස් පළ කළා දැයි විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු පැවසුවේ තමන් දැනුවත්ව එවැන්නක් සිදුවී නොමැති බවය.

''මුස්ලිම් නොවන අය මරන්න ඕනා,'', ''ලංකාවේ ඉස්ලාම් කොඩිය ලෙලදෙන්න ඕනා,'' සහ ''ලංකාව මුස්ලිම්වරු අල්ල ගන්න ඕනා,'' වැනි සහරාන් කළ වෛරී ප්‍රකාශ ඇතුළත් සංයුක්ත තැටි කමිටුවට භාර දෙමින් ඔහු අවධාරණය කළේ, මේ සියලු තොරතුරු කල් තබා ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, පොලිස්පතිවරයාට, ත්‍රස්ත විමර්ශන ඒකකයට වැනි වගකිව යුත්තන්ට භාර දුන් බවය.

අගමැති කාර්යාලයෙන් හා නීතිපති දෙපාර්තමේන්තුවෙන් තමන් භාර දුන් ලිපිවලට පිළිතුරු ලැබුණ බව ද සාක්ෂිකරු පැවසීය.

මේ තොරතුරුද කියවන්න: