ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ඉල්ලා බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි පූජකවරුන් උපවාසයක

අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයක් ලෙසට උසස් කරන ලෙස ඉල්ලා කල්මුණේ ශ්‍රී සුභද්‍රාරාම විහාරාධිකාරී පූජ්‍ය රන්මුතුගල සංඝරත්න හිමි සහ හින්දු සහ ක්‍රිස්තියානි පූජකවරුන් කිහිප දෙනෙක් උපවාසයක නිරත වෙති.

ඔවුන් උපවාසයේ නිරතව සිටින්නේ, කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටය.

කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 1986 වසරේදී ස්ථාපනය කර තිබේ.

එම උප කාර්යාලය 1993.07.28 වන දින අමාත්‍ය මණ්ඩල රැස්විමේදී ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයක් බවට පරිවර්තනය කිරිමට තීරණය කර ඇති අතර එය එලෙස ඉටු කරන ලෙසට එවකට ස්වදේශ කටයුතු හා පළාත් රාජ්‍ය ලේකම් එස්. ඒ. ඕබඩගේ විසින් කල්මුණේ ප්‍රාදේශීය ලේකම්වරයාට ලිඛිතව දැනුම් දෙනු ලැබ ඇතත් එය මෙතෙක් ඉටු නොවීම නිසා මෙම උපවාසය ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කල්මුණේ දෙමළ ජනතා සංවිධානයේ සංවිධායක එම්. රොෂාන් පැවසුවේ, "1986 වසරේ තමයි කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පටන් ගත්තේ. 1993 එය උසස් කරන්න අනුමැතිය හමුවුණත් එය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒක නිසා මෙම උප කාර්යාලයට මුදල් සහ ඉඩම් බලතල ලැබෙන්නේ නැහැ."

"මහ ජනතාවට රාජකාරි කිරීමේදී ඒක විශාල බාධාවක් වෙලා තියෙනවා. සංවර්ධන කටයුතුවලට දෙමළ ප්‍රදේශවලට මුදල් ලැබෙන්නේ නැහැ. අඩු ම වශයෙන් පාරක්වත් හදන්න බැරි වෙලා තියෙනවා."

"තමන්ගේ ඉඩම්වල ගැටලු නිරාකරණය කරන්න දෙමළ ජනතාවට නොහැකි වෙලා තියෙනවා. ද්‍රවිඩ ජාතික සංධානය පසුගිය 2015 මහා මැතිවරණයේදී මේ ගැටලුව නිරාකරණය කරන්න පොරොන්දු වුණා. නමුත් අද වෙනකම් මේ පිළිබඳව බැලුවේ නැහැ. ඒක තමයි ආගමික නායකයින් එකතු වෙලා මේ උපවාසය ආරම්භ කරේ. අපි මේ සටන අත් හරින්නේ සටන දිනලා පමණයි."

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ද මෙම උපවාසය පැවැත්වෙන ස්ථානයට පැමිණ තිබිණි.

"කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩි වශයෙන් ඉන්නේ මුස්ලිම් නිලධාරින්. ඒ නිසා මෙම ගම්මානවල ජනතාවට විශාල අසාධාරණයක් වෙනවා. ඉඩම් බෙදා දීමේදී සනීපාරක්ෂක කටයුතු කිරීමේදී මෙම ජනතාවට විශාල අසාධාරණයක් සිදුවන බව ඔවුන් සඳහන් කරනවා.1980 අග භාගයේ පටන් මෙම ජනතාව මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා. 2014 වසරේ පසුගිය රජය කාලයේ මෙම කාර්යය ඉටු කිරීම සඳහා සියලු කාර්යයන් කරමින් පැවතුණා."

"අද සුළුතර පිරිසකට යටත් වුණ ආණ්ඩුව මේ කටයුත්ත ඉෂ්ඨ කරන් නැති බවට ජනතාව තුළ විශාල චෝදනාවක් තියෙනවා.මේ අයිතිවාසිකම වෙනුවෙන් හින්දු පූජකතුමන්ලා සංඝරතන හාමුදුරුවෝ ඇතුළු සාමන්‍ය ජනතාව අඛණ්ඩ උපවාසයක යෙදිලා ඉන්නවා. මේ ප්‍රශ්නය විසඳීම සදහා උන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් කැපවීමක් කරලා තියෙනවා," අතුරලියේ රතන හිමි පැවසීය.

"පහුගිය කාලයේ තිබුණ චෝදනාවක් තමයි නැගෙනහිර පළාතේ ඉඩම් බෙදාදිමේදී සිදුවුණ අසාධාරණයන්. මඩකලපුව ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට විශ්වවිද්‍යාලයක් දාන්න අක්කර 35 ක් දීලා තියෙනවා. එම ස්ථානය පටන් ගත්තේ වෘත්තීය පුහුණුවක් දාන ස්ථානයක් හැටියට. නමුත් දැන් ඒක පීඨ 10කින් යුක්ත විශ්වවිද්‍යාලයක් දාන්න හදලා තියෙනවා."

මේ පිළිබඳව බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ කල්මුණේ පොදු වෙළෙඳ සංගමයේ අධ්‍යක්ෂක රිෂාඩ් ෂරීෆ් පැවසුවේ, "අපි සියලු ම දෙනා ශ්‍රීලාංකිකයින් අපි මේ රටේ හැම තැන ම එකට ජීවත්විය යුතුයි. කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අතර දුර මිටර් 50 යි. මේ පළාතේ මුස්ලිම් ජනගහනය සියයට 73 යි. දෙමළ ඉන්නේ සියයට 28 යි. මම අහන්නේ ඇයි අපට එකට ඉන්න බැරි," යනුවෙනි.

මෙම උපවාසය නිසා දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශවල කඩ සාප්පු වසා දමා හර්තාල් ව්‍යාපාරයක් ද පැවැත්විණි.

මේ අතර, කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පර්වර්තනය නොකරන ලෙසට ඉල්ලා මුස්ලිම් වැසියන් පිරිසක් ද කල්මුණේ පෞද්ගලික බස් නැවතුම්පළේ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පැහැදිලි කිරීම

මෙම අර්බුදය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිලධාරියෙකු පැවසුවේ, මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පැවති බවය.

එහිදී කල්මුණේ උතුර සඳහා වෙන ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගෙන මේ වන විටත් එහි පරිපාලන කටයුතු සඳහා වෙන ම ගණකාධිකාරීවරයෙකු ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්ත කර ඇති බව ඔහු පැවසීය.

"කල්මුණේ උතුර කොට්ඨාසයට වෙන ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් දෙන්න නම් මුලින් සීමා නීර්ණයක් කරන්න ඕන. ඒකට ජාතික කමිටුවක් පත් කරලා තියෙන්නේ. අවාසනාවකට අප්‍රේල් මාසයේ සිද්ධ වුණ බෝම්බ ප්‍රහාරය නිසා ඒ වැඩ ටිකක් ප්‍රමාද වුණා. ඒ කටයුතු දැන් සිද්ධ වෙමින් තියෙනවා."

තවදුරටත් කියවන්න: