හමුදා සාමාජිකයන් 'ඝාතනය': හිටපු එල්ටීටීඊ සාමාජිකයන් අධිකරණයට

Image caption සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ආ අවස්ථාව

හමුදා සාමාජිකයන් පිරිසක් ඝාතනය කර පුළුස්සා දැමීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවක් පළමු වරට සඳුදා (ජුනි 24) වව්නියාව මහාධිකරණයේ විභාග විය.

යුද්ධයේ අවසාන භාගයේදී සිය භාරයට පත් ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් විසි හය දෙනෙකු මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී ඝාතනය කොට පුළුස්සා දැමූ බවට එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් තිදෙනෙකුට චෝදනා එල්ල වේ.

දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් තිදෙනා වව්නියාව මහාධිකරණය වෙත රැගෙන එනු ලැබිණි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ හිටපු එල්ටීටීඊ සාමාජිකයකු සිදුකළ ප්‍රකාශයක් ඔස්සේ පරීක්ෂණ පවත්වා අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥයන් පිරිසක් පෙනී සිටි අතර අදාළ චෝදනා සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔවුන් කියා සිටියේ ඒ පිළිබඳ මේ මොහොතේ අදහස් දැක්වීමට නොහැකි බවය.

ඝාතනයට ලක් වූ බව පැවසෙන යුද හමුදා සාමාජිකයින් 2009 ජනවාරි මස එල්ටීටීඊ පාලන ප්‍රදේශයට වූ අවස්ථාවේ ඉන් කෝපයට පත් එල්ටීටීඊ සාමාජිකයන් එහි සිටි හමුදා භටයන් ඝාතනය කර පුළුස්සා ඇති බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත තොරතුරු ලැබී ඇති බව ආරක්ෂක අංශ කියා සිටී.

නඩු විභාගය අඟහරුවාදාට (ජුනි 25) කල් දැමීමට වවුනියාව මහාධිකරණය නියෝග කළේය.

යුද්ධයේ අවසාන භාගයේදී මානව හිමිකම් කඩ කළ බවට ශ්‍රී ලංකා යුද හමුදාවට සහ එල්ටීටීඊ සංවිධානයට චෝදනා එල්ල වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර