දංකොටුව මුස්ලිම් වෙළෙඳ 'තහනම': වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට නියෝගයක්

වෙන්නප්පුව, දංකොටුව සති පොළේ වෙළෙඳාම් කළ මුස්ලිම් ප්‍රජාවට නිදහසේ එම කටයුතු කිරීමට ඉඩ සලසන ලෙස මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට සහ දංකොටුව පොලිසියට නියෝග කළේය.

මාරවිල මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු කේමින්ද පෙරේරා අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ඒ සම්බන්ධ නඩු විභාගය සිකුරාදා (ජුනි 28) විභාග කිරීමෙන් අනතුරුවය.

දංකොටුව සතිපොළෙහි වෙළෙඳාමේ යෙදුනු මුස්ලිම් ප්‍රජාව ඉන් ඉවත් කරන ලෙස දන්වා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ වී සුසන්ත පෙරේරා පසුගිය 24 වන දින දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලිඛිත දැනුම් දීමක් කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් නිගමනයකට පැමිණීම සඳහා දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ සහාය පැතීමට කටයුතු කළේ ඉන් අනතුරුවය.

මාරවිල අධිකරණය නිකුත් කළ සිතාසි අනුව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් හය දෙනෙක් සිකුරාදා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියහ.

සිතාසියකට අනුව අධිකරණයේ පෙනී සිටීම සැලකිල්ලට ගනිමින් ඔවුන් කිසිදු ඇපයකින් තොරව නිදහස් කිරීමට මාරවිල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

දංකොටුව සතිපොළ සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ නඩුව තවදුරටත් පවත්වා ගෙන යා හැකිද යන්න සම්බන්ධයෙන් විමසා බැලීම ලබන මස 23 වෙනිදා දක්වා කල් තැබිණි.

අදාළ නියෝග ලබා දීමෙන් අනතුරුව කරුණු දැක්වූ අගතියට පත් වූ පාර්ශවයේ වෙළෙදුන් ප්‍රකාශ කළේ රටේ නීතිය, මාධ්‍ය හා බහුතර ජනතාව කෙරෙහි තමන් විශ්වාසය තබා ඇති බවය.

විත්තිකරුවන් වෙනුවෙන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥයින් 26 දෙනෙකු පෙනී සිටි අතර මුස්ලිම් වෙළෙඳ ප්‍රජාව නියෝජනය කරමින් නීතිඥයින් දෙදෙනෙක් පෙනී සිටියහ.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහය පළ කිරීම සඳහා බෞද්ධ හිමිවරු, වෙළෙඳ සංගමයේ නිලධාරීන් ඇතුළු පිරිසක් අධිකරණයට පැමිණ සිටි අතර මුස්ලිම් වෙළෙඳ ප්‍රජාව නියෝජනය කරමින් ද පිරිසක් පැමිණ සිටියහ.

Image copyright Facebook/VictorSusanthaPerera
Image caption වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ වී සුසන්ත පෙරේරා

දංකොටුව සති පොළෙන් මුස්ලිම් වෙළෙන්දන් තාවකාලිකව ඉවත් කරන ලෙසට දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටීම සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි සංවාදයට ලක් විය.

ඒ සම්බන්ධයෙන් මේ මස 28 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මාරවිල අධිකරණය විසින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට නියෝග කරනු ඇති බව දංකොටුව පොලිසිය පවසයි.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ වී සුසන්ත පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයෙකි.

පාස්කු ප්‍රහාරයෙන් පසු දංකොටුව සතිපොළේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබු බව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මීට ඉහතදී පැවසීය.

එබැවින් මුස්ලිම් ප්‍රජාව වෙළෙඳාම් සඳහා එහි පැමිණීම ගැන ප්‍රදේශයේ ආගමික නායකයන්ගේ, ජනතාවගේ සහ වෙළෙඳුන්ගේ දැඩි විරෝධයක් තිබූ බව මේ පිළිබඳව කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් වෙළෙඳ ප්‍රජාව දංකොටුව සතිපොළට නොපැමිණි අතර ඔවුන් නැවත ගෙන්වා ගනු ලැබුවේ පොලිසිය මැදිහත්වීමෙනි.

පාස්කු දින ප්‍රහාරයත් සමග දංකොටුව සතිපොළේ වෙළෙඳාම් කිරීම සඳහා මුස්ලිම් වෙළෙඳ ප්‍රජාවට ගැටලු ඇති බවට පොලිස් සහන මැදිරියට ලැබුණු පැමිණිලි මත ඔවුන්ට දංකොටුව සතිපොළේ වෙළෙඳාම් කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂාව සැලසූ බව දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ගත් ක්‍රියාමාර්ගය හෙළා දකින බව එහි විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ පැවසූහ.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුය.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන පුත්තලම දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන පියංකර ජයරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ එකී පියවර පොදුජන පෙරමුණේ තීරණයක් නොවන බවය.

සභාපතිවරයාගේ තීරණය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව තමාගේ පුද්ගලික මතය බව ප්‍රකශ කළ පියංකර ජයරත්න හිටපු ඇමතිවරයා මේ පිළිබඳව පක්ෂය දැනුවත් කරන බවද පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර