පාස්කු ප්‍රහාරය: ආබාධිත කෝප්‍රල්වරයෙකුගේ සහ දෙමළ වැසියෙකුගේ බලාපොරොත්තුව

Image caption විශ්‍රාමික කෝප්‍රල් එම් රෝහණ බණ්ඩාර

යුද ගැටුම් හමුවේ බාධිත තත්ත්වයට පත් විශ්‍රාමික හමුදා කෝප්‍රල්වරයෙකු සහ උතුරේ දෙමළ වැසියෙකු සිය අත්දැකීම් සහ පාස්කු ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් පළ කළ අදහස්.

"අපි මෙච්චර කැපවීම් කරලා යුද්දේ නැති කෙරුවේ අපේ ළමයින්ට නිදහසේ ඉන්න. හදවතින් ම කිසි ම ත්‍රස්තවාදී කටයුත්තකට කැමති නෑ. මේ වගේ දේවල් විසඳන්න ඕනේ රටේ පාලකයෝ. පාලකයෝ හරි තීන්දු තීරණ ගන්න ඕනේ. රටේ පාලකයෝ මේකට වගකියන්න ඕනේ."

ඉහත කී අදහස් පළ කළේ, යුද්ධය හේතුවෙන් පාදයක් අහිමු වූ විශ්‍රාමලත් යුද හමුදා කෝප්‍රල්වරයෙකි.

"මට ළමයි හතර දෙනෙක් ඉන්නවා. මගේ ළමයින්ට නැවත යුද්ධයක් ගැන අහන්න වෙනවටත් මම කැමති නෑ."

වවුනියාව, මහමයිලන්කුලම ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික කෝප්‍රල් එම් රෝහණ බණ්ඩාර යුද ගැටුම් හේතුවෙන් හය වතාවක් තුවාල ලැබූවෙකි.

ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් විසින් පාස්කු ඉරු දින එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරය හේතුවෙන් තිස් වසරක් පැවති රුදුරු යුද්ධයේ බියකරු මතකය යළි අවදි කෙරිණ.

එල්ටීටීඊ සංවිධානය සහ ශ්‍රී ලංකා ආණ්ඩුවේ හමුදා අතර පැවති යුද්ධය සහ පාස්කු ඉරිදා ප්‍රහාරවලින් ජීවිත අහිමි වූ සහ ආබාධිත තත්ත්වයට පත් බහුතරය සාමාන්‍ය පවුල්වල සාමාජිකයන්ය. එය උතුරටත් දකුණටත් එක සේ පොදුය. විශ්‍රාමික කෝප්‍රල් එම් රෝහණ බණ්ඩාර ද එම කුලකයේ සාමාජිකයෙකි. යුද්ධයේ ආදීනව ගැන ඔහු මෙසේ කතා කරන්නේ එබැවිනි.

"අමතක නොවන දිනයක්"

Image caption "කකුල නැති අඩුව මට අද නොසෑහෙන්න දැනෙනවා."

විශ්‍රාමික කෝප්‍රල් බණ්ඩාර යුද හමුදා සේවයට එක් වී ඇත්තේ 1992 වසරේදීය.

මන්නාරම, මඩු මාර්ගය විවෘත කර ගැනීමේ මෙහෙයුම, A9 මාර්ගය මුදා ගැනීමේ මෙහෙයුම, යාපනය කොටුව බේරා ගැනීමේ මෙහෙයුම ආදී සටන් ගණනාවකට එක්ව ඇති ඔහුට 2000 වසරේ අප්‍රේල් 30 වන දින එල්ටීටීඊය සහ හමුදාව අතර පලෙයි ප්‍රදේශයේ පැවති සටන පිළිබඳ ඇත්තේ කිසි දා අමතක නොවන අඳුරු මතකයකි.

"අලිමංකඩට ප්‍රහාරයක් එල්ල වෙනකොට මාන්කුලමේ හිටපු අපි පලෙයිවලට අරගෙන ගියා. ඒ දවස මට අමතක වෙන්නේ නැහැ. අපි යනකොටත් පලෙයිවල දරුණු සටන් තිබුණා. සටන් අතරතුර 2000 මැයි 02 වෙනිදා මමයි මගේ සගයෝ ටිකයි පලෙයි ප්‍රදේශයේ මුහුදු වෙරළේ පොල් වත්තක් මැදින් යද්දී ප්‍රහාරයකට මුහුණ දුන්නා."

"එල්ටීටීඊය බර අවිවලින් තමයි ඇටෑක් එක කෙරුවේ. මමයි තව පස් දෙනෙක් විතර එක ළඟ ඉදගෙන ඇටෑක් කරන කොට එක පාරට ම එල්ටීටීඊය මෝටාර් ගහන්න ගත්තා. අපිට ඔළුව උස්සන්න බැරි වෙන්න මෝටාර් ගහනවා. එහෙම ගහනකොට අපි හිටපු තැනට එක පාරට ම මෝටාර් එකක් වැදුණා. බෝම්බේ පත්තු වෙන හඬ විතරයි මට මතක."

"ටික වෙලාවක් යනකම් කිසි ම දෙයක් මට හැඟුණේ දැනුණේ නෑ. ටික වෙලාවකට පස්සේ මට මගේ වම් කකුල පණ නෑ වාගේ කියලා දැනුණා. මම ටිකක් ඔළුව උස්සලා බලනකොට කකුල කඩාගෙන ගිහිල්ලා තිබුණා. මට නැවත සිහිය එනකොට හිටියේ පලාලි කෑම්ප් එකේ. එතනදි තමයි මම දැනගත්තේ බෝම්බ වැදිලා මගේ කකු‍ලේ කොටසක් කඩාගෙන ගිහිල්ලා කියලා," කෝප්‍රල් බණ්ඩාර සිය මතකය අවදි කළේය.

එම ප්‍රහාරයට හසුව සිය මිතුරන් දෙදෙනා මරණයට පත්ව ඇති බව ඔහුට දැන ගැනීමට ලැබී ඇත්තේ රාගම රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුරදීය.

අනාගතය ගැන බියක්

Image caption විශ්‍රාමික කෝප්‍රල් එම් රෝහණ බණ්ඩාර සිය බිරිඳ සහ දරුවන් සමග

"මම ජීවත් වුණත් මගේ කකුල නෑ කියලා එදා හිතුවේ නෑ. නමුත් කකුල නැති අඩුව මට අද නොසෑහෙන්න දැනෙනවා."

යුද්ධයෙන් පාදයක් අහිමි වූ කෝප්‍රල් බණ්ඩාර යළි සටනක නිරතව සිටී. ඒ, වකුගඩු රෝගය නමැති මාරයාට එරෙහිවය.

තම ජීවිතයට වඩා කෝප්‍රල් බණ්ඩාරට ඇත්තේ සිය දරුවන්ගේ අනාගතය පිළිබඳ බියකි.

"මට වකුගඩුවක් බද්ධ කරන්න ‍ඕනේ කියලා දොස්තරලා කියනවා. මරණයත් එක්ක ජීවත් වුණ මම වකුගඩු රෝගයෙන් මැරෙනවට බයක් නෑ. ඒත් නැවත යුද්ධයක් ඇති වෙලා මගේ දරුවන්ටත් යුද්ධයේ දුක් විඳින්න වෙයි කියලා තමයි මට තියෙන එක ම බය. මම කියන්නේ නැවත කවදාවත් යුද්ධයක් ඇති වෙන්න එපා කියලා තමයි."

ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ට පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීමෙන් ගැලවිය නොහැකි බව විශ්‍රාමික කෝප්‍රල්වරයාගේ අදහසය.

"පාර්ලිමේන්තුවේ ඉන්න අයටත් මේ දුප්පත් මිනිස්සු මැරුණ එක ගැන කිසි ම ගාණක් නෑ. සිංහල වුණත්, මුස්ලිම් වුණත්, දෙමළ වුණත්, කතෝලික වුණත් මිනිස්සු මරන්න එපා."

"මුස්ලිම්, සිංහල, දෙමළ, බර්ගර් කියලා අපි බෙදිලා ඉන්න අවශ්‍ය නෑ. අපි සියලු දෙනා එකතු වෙන්න ඕනේ," යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

උතුරේ කතාව

Image caption සෙංගන් සෙල්වරාසා

එල්ටීටීඊ ප්‍රහාර හමුවේ දකුණේ දෙමව්පියන් එක ම බස් රථයක ගමන් නොගිය අතර යුද්ධයේදී වැඩි වශයෙන් ම ජීවිත හානි සිදු වූයේ උතුරු සහ නැගෙනහිර පළාත්වලය.

අප්‍රේල් 21 වන දා එල්ල වූ ප්‍රහාරයත් සමග උතුරේ ස්ථාන රැසක අතිරේක හමුදා ආරක්ෂක මුර කපොලු විවෘත වූයේ යම් තරමකට සීමා වී ඇති නිදහස තවදුරටත් සීමා කරමිනි. ප්‍රහාරයෙන් පසු මඩකලපුව, කාත්තන්කුඩිය වැනි දැඩි අවධානයක් යොමු වූ ප්‍රදේශවලට සාපේක්ෂව, උතුරේ වැඩි වශයෙන් මාර්ග බාධක දැක ගැනීමට හැකි විය. මෙම තත්ත්වය උතුරේ ජන මනසට බලපෑවේ කෙසේ ද?

වවුනියාව ගල්නට්ටාන්කුලම් ප්‍රදේශයේ පදිංචි සෙංගන් සෙල්වරාසා දරුවන් හය දෙනෙකුගේ පියෙකි.

"දේවස්ථානවලට ප්‍රහාර එල්ල වීමත් එක්ක ඉස්සර වගේ ආපහු අපිට බයෙන් ජීවත් වෙන්න වෙයි ද කියලා හිතුණා," යනුවෙන් ඔහු කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ අදහස් දක්වමිනි.

කලක් මුලතිව් මල්ලාවි ප්‍රදේශයේ පදිංචි වී සිටි ඔහු එවක බත සරි කර ගත්තේ ගොවිතැනෙනි.

"අපි බොහොම සතුටින් ගොවිතැන් කරගෙන අපේ ගම්මානවල ජීවත් වුණා. ඒත් ‍මේ කාලකණ්ණි යුද්දේ අපේ ජීවිත සම්පූර්ණයෙන් ම වෙනස් කළා. මමයි මගේ නෝනයි දරුවෝ ටිකයි මල්ලාවිවල සතුටින් කල් ගෙව්වා."

නමුත් යුද්ධයේ අවසන් අදියරයේදී, එනම් 2009 වසරේදී ඔවුන්ට සිය ගම්බිම් අත්හැර යාමට සිදු විය.

"ජීවිතේ මූසලම දවස"

Image caption "මම මිනිස්සුන්ගෙන් ඉල්ලගෙන එන තුට්ටු දෙකින් අපි ‍ජීවත් වෙන්නේ"

"අපි ජීවිත බේරගන්න මල්ලාවිවල ඉඳලා මුලතිව් දක්වා ගියා. ඔය යන අතරවාරයේ තමයි මගේ ඉරණම වෙනස් වුණේ. 2009 ජනවාරි 05 වෙනිදා තමයි මගේ ජිවිතේ මූසල ම දවස," සෙල්වරාසාගේ මතකය අතීතයට දිව යයි.

"අපි යුද්දේ හින්දා මල්ලාවිවල කිලි‍නොච්චිය වට්ටකච්චි හරහා මුලතිව් දක්වා තමයි ගමන් කරමින් හිටියේ. ඒ වෙලාවේ හැම පැත්තකින් ම බෝම්බ ගහනවා. අපිට කොහේ යන්න ද කියලා හිතා ගන්න බැරි වුණා. ඒ වෙලාවේ මමයි මගේ පවුලයි තවත් පිරිසකුයි හිටපු තැනකට ෂෙල් වැටුණා. ෂෙල් වැදිලා මගේ දකුණු අතයි වම් කකුලයි නැති වුණා. වම් කකුල දණ හිසට ඉහළින් ම කැඩිලා ගිහිල්ලා තිබුණා. දකුණු අත වැලමිටට ඉහළින් කපන්න සිද්ධ වුණා."

එම ප්‍රහාරයෙන් සෙල්වරාසාගේ බිරිඳ, බාල දියණිය සහ පුතු ද තුවාල ලබා තිබිණි.

"පොඩි දුවගේ දකුණු කකුලේ දණ හිස පසාරු කරගෙන ෂෙල් කෑල්ලක් කඩාගෙන ගිහින් තිබුණා. අදටත් ඒ හින්දා දරුවා කොර ගහනවා.මගේ පොඩි පුතාගේ අත තුවාල වුණා. නෝනගේ ඇඟ ඇතුළේ තවමත් උණ්ඩ කෑලි තියෙනවා. ඒවා ගත්තොත් එයාගේ ජීවිතේට කරදරයක් වෙන හින්දා ඇඟ ඇතුළේ උණ්ඩ කෑලි තියාගෙන එයා ජීවත් වෙනවා."

'නොකා නොබී' ගෙවෙන ජීවිතේ

අතපය අහිමි වීම නිසා ගොවිතැන හෝ වෙනත් රැකියාවක නිරත වීමට නොහැකි සෙලවරාසා මගී බස් රථයකට ගොඩ වී ලැබෙන ආධාරයකින් එදා වේල පිරිමසා ගන්නා බව පවසයි.

"නෝනා කුලී වැඩ කරනවා. ඒත් එයාගේ ඇ‍ඟේ උණ්ඩ කෑලි තිබෙන හින්දා එයාට මහන්සි වෙලා වැඩ කරන්න බෑ. මම මිනිස්සුන්ගෙන් ඉල්ලගෙන එන තුට්ටු දෙකින් අපි ‍ජීවත් වෙන්නේ. අපි බොහෝ දුරට නොකා ඉන්න වේල් ගණන වැඩියි. මගෙයි, නෝනගෙයි අමාරුකම්වලට බෙහෙත් හේත් ගන්න ඕනේ නිසා වවුනියාව ගල්නට්ටාන්කුලමේ පොඩි ගෙදරක ජීවත් වෙනවා. ඒ ගෙදරටත් මාසයකට රුපියල් දෙදහක් දෙන්න ඕනේ."

"හතුරෙකුටවත් එහෙම වෙන්න එපා!"

Image caption සෙංගන් සෙල්වරාසා සිය දරුවන් සමග

අතපය අහිමි වී කෙතරම් දුකට පත්ව සිටියත් තම සිතේ වෛරයක් නොමැති බව කී සෙල්වරාසාගේ මුහුණේ ඇත්තේ හිස් බැල්මකි.

"අපි නැවත මල්ලාවිවලට යන්න කැමති නෑ. ඒ මතකයටත් මම කැමති නෑ. ඒ තරමට මට යුද්ධය කියන එක එපා වෙලා තිබෙන්නේ. මම කියන්නේ මට විතරක් නොවෙයි මගේ හතුරෙකුටවත් යුද්ධයක් කියන දෙයකට මුහුණ දෙන්න අවස්ථාවක් උදා වෙන්න එපා කියලයි," සෙලවරාසා වැඩිදුරටත් කියා සිටියේය.

පාස්කු ප්‍රහාරය

දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් අන්තවාදී ඉස්ලාම් කණ්ඩායමක් විසින් අප්‍රේල් 21 වන දා එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට හසුව මරණයට පත් පිරිස 250 කට අධිකය.

තවත් පන්සීයකට ආසන්න පිරිසක් ඉන් තුවාල ලැබූහ. ඒ හේතුවෙන් මානසික තුවාල ලද්දෝ කෙතරම් දැයි කිව නොහැක.

ඒ සමග හටගත් උණුසුම්කාරී තත්ත්වය හමුවේ ප්‍රදේශ ගණනාවක මුස්ලිම් විරෝධී ප්‍රහාර එල්ල වූ අතර එහිදී එක් මුස්ලිම් වැසියෙක් මරණයට පත් විය.