පාස්කු ප්‍රහාරය: පූජිත් ජයසුන්දරට සහ හේමසිරි ප්‍රනාන්දුට මිනීමැරීමේ චෝදනා

BBC

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ලබන 09 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළාය.

ඇප ඉල්ලීමේ තීන්දුව ද එදිනට ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ අද කරුණු දක්වමින් කියා සිටියේ අදාළ සැකකරුවන් දෙදෙනාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 296, 298, 327, 328, 329 සහ 410 යන වගන්ති යටතේ චෝදනා ඉදිරිපත් කරන බවය.

එම චෝදනා ඉදිරිපත් කිරීමේ නීතිමය පසුබිම පැහැදිළි කරන්නැ'යි මහේස්ත්‍රාත්වරිය නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලේ නීතිඥවරයාට දැනුම් දුන්නාය.

296 වගන්තිය මනුෂ්‍ය ඝාතනයන්ට අදාළ චෝදනා බැවින් එම චෝදනා ඉදිරිපත් කරන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 294 වගන්තිය පදනම් කරගනිමින් බවට ඔහු එහිදී නීතිමය තර්ක ඉදිරිපත් කළේය.

මෙහිදී හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න පෙන්වා දුන්නේ තම සේවාදායකයන්ට 296 වගන්තිය යටතේ චෝදනා එල්ලකිරීමට ඔවුන් වරදක් කර නොමැති බවය.

එමෙන්ම, ලද බුද්ධි වාර්තා පදනම් කරගෙන තම සේවා දායකයන් තමන්ගේ වගකීම් ඉටුකර ඇති බව ඔහු කරුණු සහිතව විස්තර කරණු ලැබුවේය.

Image copyright Getty Images

පූජිත් සහ හේමසිරි වගකීම පැහැර හැර ඇති බවට චෝදනා

පළමුව කරුණු දක්වමින් පැමිණිල්ලේ නීතිඥවරයා වන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අවධාරණය කළේ පහත සඳහන්, පැහැදිළි බුද්ධි තොරුතුරු පොලිස්පතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයාට ලැබී තිබුණ ද එම විනාශය වළක්වා ගැනීමට ක්‍රියා නොකළ බවය.

01. ප්‍රහාරය එල්ලවන දිනය හා වේලාව දැන සිටීම

02. මරාගෙන මැරෙන ප්‍රහාර බව දැන සිටීම

03. අදාළ අපරාධයට සම්බන්ධ පුද්ගලයන් නිවැරදිව හඳුනා ගෙන තිබීම

04. ඉලක්කය කතෝලික දේවස්ථාන සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය බව දැන සිටීම

05. මෙම අනතුර ගැන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් දැනුවත් නොකිරීම

06. අප්‍රේල් 18, 19 හා 20 දිනවල ලද බුද්ධි වාර්තා ගැන පොලිස්පතිවරයා නිසි අවධානය යොමු නොකිරීම

Image caption නීතිවේදීන් අධිකරණයට පැමිණෙමින්

පූජිත් සහ හේමසිරි නිවැරදිකරුවන් බවට ඇති තර්ක

හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර යන තම සේවාදායකයන් නිවැරදිකරුවන් බව පැහැදිළි කරමින් ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඔහු කරුණු දැක්වීම ආරම්භ කළේ, ''බුද්ධි අංශ තියෙන්නේ කා අතේද? එයයි මෙහිදී සැළකිය යුතු ප්‍රශ්නය'' යනුවෙන් සඳහන් කරමිනි.

2015 ජනවාරි 18 වැනිදා නිකුත් කෙරුණු 1897/15 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අනුව බුද්ධි අංශ පවතිනේ ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා යටතේ බව ඔහු සදහන් කළේය .

එමෙන්ම 2019 පෙබරවාරි 19 දින සිට පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවන තුරු ආරක්ෂක මණ්ඩලය කැඳවා නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.

''අප්‍රේල් 04 මුල් තොරතුර ලැබුණේ ඉන්දියාවෙන්. අපි දෙන්නේ තොරතුරක් විතරයි. ඒක විමර්ශනය කර අපටත් කියන්න'' යනුවෙන් තමයි එම වාර්තාවේ තියෙන්නේ යැයි පැවසූ අනුජ ප්‍රේමරත්න නීතිඥවරයා, එම බුද්ධි තොරතුර සහිත ලිපියක පිටපතක් අධිකරණයට ඉදිරිපත් කළේය.

''අයිස් ඔන්ලි''

ඔහු පහත සඳහන් තර්ක ඉදිරිපත් කරනු ලැබීය.

01. හේමසිරි ප්‍රනාන්දුට රාජ්‍ය බුද්ධි අංශයෙන් කිසිඳු ලිපියක් ලැබී නොමැති අතර ඔහු මේ ගැන දනුවත් වූ එකම ලිපිය ලැබුණේ ජාතික බුද්ධි අංශ ප්‍රධානියාගෙන් ලද ලිපියකින් බව.

02. ''අයිස් ඔන්ලි'' ලෙස සඳහන් වුවද එම වාර්තාවේ බැරෑරුම්කම සළකා පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සිවුදෙනෙකුට ලිපි යවා ඇති බව.

03. අප්‍රේල් 09 කැඳවූ බුද්ධි තොරතුරු රැස්වීමේදී මෙම අවදානම ගැන රාජ්‍ය බුද්ධි ප්‍රධානියා කිසිදු අදහසක් නොදැක්වීම.

04. ඉන්දියාවෙන් ලද තොරතුරු මේ වනතෙක් නිරීක්ෂණය වී නොමැති බව අප්‍රේල් 09 දින ද පොලිස්පතිවරයා වෙත දන්වා තිබීම.

05. අප්‍රේල් 09 සිට 18 දක්වා මේ අනතුර ගැන කිසිදු දැනුවත්කමක් නොකිරීම.

ඔහු අවධාරණය කළේ ප්‍රහාරයට පෙර දිනයේ සහ ප්‍රහාරය සිදු වූ දින පෙරවරුවේ 'WhatsApp' සහ දුරකථන ඇමතුම් ඔස්සේ පොලිස්පතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළ බව පැවසුව ද එම තොරතුරු නිශ්චිත ඒවා නොවන බවය.

තවත් කරුණු ඉදිරිපත් කරමින් විත්තියේ නීතිඥවරයා ඉල්ලා සිටියේ සුදුසු ඇපයක් මත තම සේවාදායකයන් මුදාහරින ලෙසය.

එම ඇප ඉල්ලීමේ තීන්දුව ලබන 09 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය එදින දක්වා සැකකරුවන් තවදුරත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර