පේටන්ට් බලපත්‍ර 107ක් හිමි රාජකීය සමාජයට එක් වූ ශ්‍රී ලංකාවේ මහාචාර්යවරයා සමග කතාබහක්

Image copyright Royal Society
Image caption මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ

ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් එක්සත් රාජධානියේ රාජකීය සමාජයේ (The Royal Society) සාමාජිකත්වය සඳහා පසුගිය දා නම් කෙරුණු ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥයෙකු වන මහාචාර්ය කුමාර් වික්‍රමසිංහට, නිල වශයෙන් එහි සාමාජිකත්වය පිරිනැමීම සිකුරාදා (ජූලි 12) සිදු කෙරිණි.

ඒ, රාජකීය සමාජයේ සාමාජිකයින් පිළිගැනීම සඳහා ලන්ඩන් නුවර පැවති විශේෂ උත්සවයකදීය. මෙම විශේෂ උත්සවය සිකුරාදා සහ සෙනසුරාදා යන දින දෙකේදී ම පැවැත්වේ.

Image copyright The Royal Society

ඒ අනුව, මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ එම සමාජයට එක් වන දෙවන ශ්‍රී ලාංකිකයා වේ. (සාර්ස් වෛරසය හඳුනාගත් ශ්‍රී ලාංකික මහාචාර්ය මලික් පීරිස් මීට පෙර 2006 වසරේදී එහි සාමාජිකත්වය ලැබීය.)

රාජකීය සමාජය යනු මෙතෙක් ක්‍රියාත්මක වන ලොව පැරණිතම විද්‍යා සංගමය ලෙස සැලකේ. ශ්‍රීමත් අයිසැක් නිව්ටන්, චාල්ස් ඩාර්වින්, ස්ටීවන් හෝකින්ස් ආදී විශිෂ්ට විද්වතුන් එම සංගමයේ සාමාජිකත්වය දරා තිබේ.

මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ සේවය කරන ඔහුට රාජකීය සමාජයේ සාමාජිකත්වය පිරිනමා ඇත්තේ, භෞතික සහ විදුලි ඉන්ජිනේරු තාක්ෂණය වෙනුවෙන් ඔහු කළ මෙහෙය සැලකිල්ලට ගනිමිනි.

පහත පළ වනුයේ, රාජකීය සමාජයේ සාමාජිකත්වය හිමි වීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ සමග විද්‍යුත් තැපෑල මාර්ගයෙන් කළ සංවාදයකි.

ශ්‍රී ලාංකිකයෙකු ලෙස රාජකීය සමාජයේ සාමාජිකත්වය හිමි වීම ඔබට දැනෙන්නේ කොහොම ද?

ඇත්තට ම රාජකීය සමාජයට මාව තෝරාගෙන තියෙනවා කියල දැනගත්තා ම මට ලොකු සතුටක් ඇති වුණා. ඒ වගේ ලොකු සතුටක් ඇති වුණේ ඒ ගෞරවය මට පමණක් නොව රටටත් බලපාන එකක් නිසයි.

ඔබ විශේෂඥතාවක් දක්වන ක්ෂේත්‍ර මොනවා ද?

නැනෝ තාක්ෂණඥයින් භාවිත කරන නව අන්වීක්ෂ රැසක් මම නිර්මාණය කර තිබෙනවා. ඒ වගේ ම රෝග ඉක්මනින් විනිශ්චය කළ හැකි නව තාක්ෂණික උපකරණ නිපදවීම සම්බන්ධයෙන් මම ක්‍රියා කරමින් සිටිනවා.

Image copyright UCI

ඔබ පේටන්ට් බලපත්‍ර රැසක හිමිකරුවෙක්. ඒ පිළිබඳව විස්තර කළොත්?

මට ඇමෙරිකානු පේටන්ට් බලපත්‍ර 107ක් තියෙනවා. ඒ අතරින් කිහිපයක් මම IBM සමාගමේ සේවය කරන කාලයේ නිර්මාණය කළ ඒවා. අනිත් ඒවා මම දැන් වැඩ කරන කැලිෆෝනියා අර්වින් විශ්වවිද්‍යාලයේදී නිර්මාණය කළ දේවල් වෙනුවෙන් ලැබුණු බලපත්‍ර.

ඒ අතරින් දෘඩාංග තැටි ධාවකවල (hard disk drives) පටිගත කිරීමේ ධාරිතාව වැඩි කිරීම සම්බන්ධයෙන් වන පේටන්ට් බලපත්‍ර කිහිපයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන සමාගම් මා නිර්මාණය කළ තාක්ෂණික මෙවලම් භාවිත කරනවා. උසස් මට්ටමේ අන්වීක්ෂ සම්බන්ධයෙන් වන නව සොයා ගැනීමුත් ඒ අතර තියෙනවා.

ඊට අමතරව, ජීව විද්‍යාවට සම්බන්ධ පේටන්ට් බලපත්‍ර කිහිපයකුත් තියෙනවා.

ඔබගේ පාසල් දිවිය ගැන ගෙවුණේ කොහොම ද?

මම මුලින් ම කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික පාසලේත් පසුව රාජකීය විද්‍යාලයේත් ඉගෙන ගත්තා. රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්ත කාලයේ අමතක නොවන සිද්ධි ගොඩක් තියෙනවා.

මම පාසලේදී සාමාන්‍යයෙන් නිහඬ ළමයෙක් විදිහටයි හිටියේ. ඒත්, රේඩියෝ ක්ලබ් එකේ ලේකම් සහ විද්‍යා කමිටුවේ ලේකම් වගේ විෂය බාහිර ක්‍රියාකාරකම්වලට දායක වුණා.

ඔබ ශ්‍රී ලංකාවේ පදිංචි වෙලා හිටියේ කොහේ ද? දෙමාපියන් පිළිබඳ විස්තර මොනවා ද?

ඒ කාලේ අපි පදිංචි වෙලා හිටියේ කොළඹ, හිල්ඩන් පෙදෙස (මේ වන විට හිල්ඩන් පෙදෙස හැඳින්වෙන්නේ නන්දන ගාර්ඩ්න්ස් යනුවෙනි), අංක 35 දරන නිවසේ.

මගේ තාත්තා ශ්‍රී ලංකාවේ ප්‍රධාන තලමිනිකරු (Chief Valuer) විදිහට සේවය කළා. එයාට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබඳ ගෞරව උපාධියක් තිබුණා. මගේ අම්මා කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙන ගත්තේ. අපේ සෑම දෙයක් ගැන ම අම්මා හොයලා බැලුවා.

පාසල් අධ්‍යාපනය ඔබගේ පසුකාලීන ජයග්‍රහණවලට කෙතරම් බලපෑවා ද?

මම රාජකීය විද්‍යාලයෙන් සාර්ථක අධ්‍යාපනයක් ලැබුවා. මට උසස් ගණිතය ඉගැන්නුවේ අරසරත්නම් කියලා ගුරුතුමෙක්. එතුමාගෙන් සහ පාසලෙන් ලබපු දැනුම නිසා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මාත් එක්ක ඉගෙන ගත්ත සියලු දෙනාට වඩා මම ඉදිරියෙන් හිටියා.

ඔබ විදෙස් අධ්‍යාපනයට පිවිසුණේ ඇයි?

මගේ තාත්තාට අවශ්‍ය වුණා මට බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබා දෙන්න. එයා හිතුවේ ඒ හරහා මට ඉන්ජිනේරු විෂය ඉතා හොඳින් ඉගෙන ගෙන මගේ අනාගතය සාර්ථක කර ගන්න පුළුවන් වෙයි කියලා. ඒ අනුව තමයි මම ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගියේ.

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඔබේ අදහස කුමක් ද?

මට හිතෙන හැටියට ශ්‍රී ලංකාවේ ඉන්නවා දීප්තිමත් තරුණ තරුණියන් ගොඩක්. ඔවුන්ට බැබළෙන්න අවස්ථා ලබා දිය යුතුයි. ඉන්ජිනේරු සහ ව්‍යවහාරික විද්‍යා ක්ෂේත්‍ර නගා සිටුවන්න නම් ඒ සම්බන්ධයෙන් මුදල් ආයෝජනය කළ යුතුයි. මධ්‍යම ප්‍රමාණයේ ආයෝජනවලින් වුණත් දීප්තිමත් අනාගතයක් නිර්මාණය කර ගන්න පුළුවන්.

Image copyright Youtube
Image caption මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාව විශිෂ්ටයින්ට සුදුසු තැනක් ද?

ඔව්. ඒත් විශිෂ්ටයින් දිරිමත් කළ යුතුයි. ඔවුන්ට අවස්ථා සැලසිය යුතුයි. එහෙම නැති වුණොත් ඔවුන් ශ්‍රී ලංකාව අත හැරලා වෙනත් රටවලට සංක්‍රමණය වේවි.

ඔබ ශ්‍රී ලංකාවේ තාක්ෂණික ක්ෂේත්‍රය වෙනුවෙන් දක්වන දායකත්වය කෙබඳු ද?

නැනෝ තාක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ (Sri Lanka institute of Nanotechnology) නිර්මාතෘවරුන් 4 දෙනාගෙන් මමත් එක් කෙනෙක්.

ඒ වගේ ම, ශ්‍රී ලංකාවේ තාක්ෂණික සංවර්ධන ක්ෂේත්‍රයේ අනාගතය සම්බන්ධයෙන් රජය සංවිධානය කළ සමුළු සහ වැඩමුළු රාශියකට මම දායක වෙලා තියෙනවා.

රාජකීය සංගමයේ සාමාජිකත්වය ලැබීමෙන් පසු ඔබේ අනාගත සැලසුම් මොනවා ද?

මම තවදුරටත් නැනෝ තාක්ෂණික පර්යේෂණවල නිරත වෙනවා. ඒ වගේ ම මම සමාගම් දෙකක් ආරම්භ කරලා තියෙනවා. ඒ වෙනුවෙනුත් වැඩි කාලයක් යොදවන්න වෙයි.

තවදුරටත් කියවන්න: