ජනපති මෛත්‍රීට පදවියේ ඉන්න සදාචාරාත්මක අයිතියක් නෑ - රොහාන් පල්ලෙවත්ත

මහජනතාව තුළින් මතුව ඇති විකල්පයක අවශ්‍යතාව නිසි ලෙස තේරුම් ගෙන කටයුතු කළ යුතු බව ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින රොහාන් පල්ලෙවත්ත පවසයි. නීතිඥයෙකු වන ඔහු ව්‍යවසායකයෙකු, ව්‍යාපාරිකයෙකු වශයෙන් ප්‍රචලිතය. පහත දැක්වෙන්නේ ඔහු බීබීසී සිංහල සේවය සමග කළ සාකච්ඡාවේ සංෂිප්ත වාර්තාවකි.

බැසිල් රාජපක්ෂ

බැසිල් රාජපක්ෂගේ උවමනාවක් මත ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රොහාන් පල්ලෙවත්ත පවසයි.

"මගේ දේශපාලනයට පිවිසීමේ තීරණය පිටුපස බැසිල් කියල එක්කෙනෙක් නැහැ. කිසිම දේශපාලනඥයෙක් නැහැ." ඔහු ඒ බව කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග සජීව සාකච්ඡාවකට එක්වෙමිනි.

කෙසේ නමුත් තමන් බැසිල් රාජපක්ෂ දන්නා හඳුනන බව ඔහු සඳහන් කළේය.

පවතින දූෂිත ක්‍රමවේදයට තිත තැබීමේ අරමුණින් පමණක් තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත් වූ බව ඔහු අවධාරණය කරයි.

කියවන්න:

පාස්කු ප්‍රහාරය

පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ තමන් ජපානයේ සංචාරයක නිරත වී සිටි බවත් ශ්‍රී ලංකාවට පැමිණි වහාම තමන් ඇතුළු පවුලේ සාමාජිකයන් එක්ව විපතට පත් වුවන් වෙනුවෙන් කටයුතු කළ බව ඔහු කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළ බවට එල්ල වන චෝදනා පිළිබඳ අදහස් දක්වමිනි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ජපානයේ ව්‍යසයකයන්ගේ සහාය ලබා ගැනීමේ අරමුණින් ඔවුන් හා සාකච්ඡා කළ බව ඔහු කියා සිටී.

"එක රටක් එක නීතියක්" යන තේමාව යටතේ තම ඉදිරි වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් රොහාන් පල්ලෙවත්ත සඳහන් කරයි.

"සිංහල බෞද්ධ බහුතරයක් ඉන්නවා කියන සත්‍යය අප සැඟවිය යුතු නැහැ. අප ආගන්තුක සත්කාරයට ලැදි රටක්. අපිට සුළු ජාතිකයන්ට සලකන්න කියන දේ අමුතුවෙන් කිව යුතු නැහැ."

විශේෂයෙන් මුස්ලිම් ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම සඳහා කෙලින් වැඩ කරන නායකයෙකුගේ අවශ්‍යතාව මතුව ඇති බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම යුද්ධයෙන් කොටසක් පරාජය කිරීමෙන් පමණක් සාමය ගොඩ නොගැනෙන බව ඔහු කියා සිටියේ එල්ටීටීඊ සංවිධානය සමග පැවති යුද්ධය පිළිබඳ අදහස් දක්වමිනි.

කියවන්න:

ජනාධිපති "ඉල්ලා අස්විය යුතුයි"

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තෙක් සිටිය යුතු බව අධිකරණය තීන්දු කළ යුතු බව රොහාන් පල්ලෙවත්ත පවසයි.

විශේෂයෙන් වගවීම යන සංකල්පය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විය යුතු බව ඔහුගේ අදහසය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුව සහ පාර්ලිමේන්තු කාරක සභාව විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාට එවැනි කමිටුවක් පත් කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවය.

ඔහු ඊට හේතු වශයෙන් පෙන්වා දෙන්නේ ඔක්තෝම්බර් 26 රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර ඒ සඳහා මහින්ද රාජපක්ෂ පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගත තීන්දුව ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවය.

ව්‍යවස්ථා විරෝධී පියවරක් ගෙන ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නේ නම් ජනාධිපතිවරයා ඒ මොහොතේම පදවියෙන් ඉල්ලා අස්විය යුතුව තිබු බව රොහාන් පල්ලෙවත්ත පැවසීය.

රාජපක්ෂ පවුල සහ වෙනත් පක්ෂ

ජනාධිපතිවරණය ජය ගතහොත් රාජපක්ෂ පවුලේ කිසිවකු සිය පාලනයට සම්බන්ධ කර නොගන්නා බව ඔහු කියා සිටී.

"රාජපක්ෂ නොවෙයි, මේ දෙසිය විසිපහම එපා කියන තැන අපි ඉන්නේ."

සහයෝගය ලබා දෙන්නේ නම් කොන්දේසි විරහිතව ඒ සඳහා ඉදිරිපත් විය යුතු බව කී රොහාන් පල්ලෙවත්ත දැනට පාර්ලිමේන්තුවේ සිටින කිසිම සාමාජිකයෙකුට තම පාර්ශ්වයෙන් ඡන්දය සඳහා ඉදිරිපත්වීමට ඉඩ ලබා නොදෙන බව සඳහන් කළේය.

තරුණ ප්‍රජාව සහ කාන්තාවන්

තරුණයන්ට සහ කාන්තාවන්ට වැඩි ඉඩක් ලබා දෙමින් ඉදිරි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව රොහාන් පල්ලෙවත්ත කියා සිටී.

"පුරුෂාධිපත්‍යයෙන් කාන්තාවන් නිදහස් කර ගෙන ඔවුනුත් ආර්ථිකයට සම්බන්ධ කර ගත යුතුයි."

තම ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ පුද්ගලයන්ගෙන් 80% ක් පමණ කාන්තාවන් බව ඔහු කියා සිටියේය.

රාජ්‍ය නායකයෙකු වශයෙන් අලුත් වෙළඳපොල සොයා ගැනීම ද රාජ්‍ය නායකයාගේ වගකීම බව ඔහු පවසයි.

අධ්‍යාපනය

ලාභ අරමුණු කර නොගත් අධ්‍යාපන ක්‍රමයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නව්‍ය මගකට රැගෙන යාමේඅවශ්‍යතාව ඇති බව පවසන රොහාන් පල්ලෙවත්ත ප්‍රමිතියෙන් යුතු පෞද්ගලික අධ්‍යාපන ආයතන සඳහා අවස්ථා ලබා දිය යුතු බව කියා සිටී.

"ගම්පහට සති අග ආවොත් වහනෙකට යන්න බැහැ . මොකද පන්තිවලට ළමයි දාන්න එන වහාන පිරිලා. ඉතින් නිදහස් අධ්‍යාපනයක් තියනවද කියන දේ ප්‍රශ්නයක්."

රජයේ විශ්වවිද්‍යාල හරහා අධ්‍යාපනය ලබන දරුවන්ගේ "වෙළෙඳපොළ අවශ්‍යතාව සඳහා නොවන බවට" මතයක් රට තුළ පවතින බව කී රොහාන් පල්ලෙවත්ත විශ්වවිද්‍යාලවලින් බිහි විය යුත්තේ ප්‍රාඥයන් බව කියා සිටී.

වෙළෙඳපොළ අවශ්‍යතාව සඳහා දරුවන් පුහුණු කිරීමට වෙනත් ආයතන දැනටමත් පවතින බව ඔහුගේ අදහසය.

ඉංග්‍රීසි අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ සෑම දරුවෙකුටම එක සමානව ලබා දිය යුතු බව කී ඔහු "අපිට වෙන භාෂා මොකටද?" වැනි තර්ක වලංගු නොවන බව පෙන්වා දෙයි.

"ඉංග්‍රීසි ඉගෙන ගැනීම නිසා සිංහල භාෂාව යට යනවා කියා සිතනවා නම් ඒක කවදාවත් වෙන දෙයක් නොවෙයි."

මරණ දඬුවම

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් වාතාවරණය හමුවේ තමන් කිසි ලෙසක මරණ දණ්ඩනය අනුමත නොකරන බව රොහාන් පල්ලෙවත්ත අවධාරණය කරයි.

නමුත් සමාජයට දැඩි අහිතකර පුද්ගලයෙකු චෝදනා ලැබ වරදකරු කෙරුණු පුද්ගලයෙකු සම්බන්ධයෙන් මරණට දණ්ඩනය ලබා දීමට පසුබට නොවන බව රොහාන් පල්ලෙවත්ත පැවසීය.

එසේ නම් ඔහු මරණ දණ්ඩනයට විරුද්ධ නොවන්නේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමේදී එවැනි වරදකරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දීම සුදුසු බව ඔහු සඳහන් කළේය.

විධායක ජනාධිපති ක්‍රමය

විධායක ජනාධිපති ක්‍රමයට තමන් එකඟ බව රොහාන් පල්ලෙවත්ත පවසයි.

"කෙලින් තීන්දු ගැනීම සඳහා එම ක්‍රමවේදය අවශ්‍යයි."

කෙසේ නමුත් උපායමාර්ගික තීන්දුවක් හේතුවෙන් අගමැති ධුරය සඳහා පත් කරන්නේ කවුරුන් දැයි යන්න හෙළි කිරීමට නොහැකි බව ඔහු සඳහන් කළේය.

තවත් කියවන්න: