සෝෆා: "ඇමරිකානු හමුදාවේ ආරක්ෂාව ශ්‍රී ලංකාවට අවශ්‍ය ද?"

Image copyright Getty Images

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් තැබීමට යෝජිත සෝෆා (Status of Forces Agreement) සම්මුතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ ප්‍රබල සංවාදයක් මතු වී තිබේ.

මෙම ගිවිසුම පිළිබඳව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර සාකච්ඡා පැවැත්වෙන බව රජය පවසයි.

එක්සත් ජනපද ආරක්ෂක අංශ සහ එයට සම්බන්ධ සිවිල් පුරවැසියන් සම්බන්ධයෙන් මතුවන ගැටලු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය පසුබිම ඇතිකර ගැනීම සෝෆා සම්මුතියේ ප්‍රධාන අරමුණක් බව කියවේ.

නමුත් යෝජිත ශ්‍රී ලංකා - ඇමෙරිකා සෝෆා සම්මුතියෙන් ශ්‍රී ලංකාවට වාසියක් හිමිනොවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය නිශාරා මෙන්ඩිස් පවසයි.

Image copyright Colombo University
Image caption කථිකාචාර්ය නිශාරා මෙන්ඩිස්

'ඇමෙරිකාවට වාසියි':

"මෙය ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක්ද යන්න ගැටලුවක්. ශ්‍රී ලංකාවට හමුදාමය වශයෙන් තෙවැනි පාර්ශවයක තර්ජනයක් පෙනෙන්න නැහැ. එම නිසා ඇමෙරිකා හමුදා ආරක්ෂාව ශ්‍රී ලංකාවට අවශ්‍ය ද?" නිශාරා මෙන්ඩිස් ප්‍රශ්න කරයි.

"තාවකාලික ලෙස පමණක්" යන කරුණ සඳහන් නොකළහොත්, මෙම සම්මුතිය අනුව තම හමුදා දීර්ඝකාලීනව ශ්‍රී ලංකාවේ ස්ථානගත කිරීමට ඇමෙරිකාවට හැකියාවක් ලැබෙන බවද ඇය කීය.

ශ්‍රී ලංකාව ගැන ඇමෙරිකාව විශේෂ අවධානයක් යොමු කිරීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස ඇය ඇතුළු ඇතැම් විශ්ලේෂකයන් දකින්නේ භූදේශපාලනික (Geopolitical) වශයෙන් ශ්‍රී ලංකාවේ ඇති වැදගත්කමය.

ඉන්දීය සාගරය හරහා වැටී ඇති උපක්‍රමික වශයෙන් සහ ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වැදගත් වන නාවික ගමන් මාර්ග ශ්‍රී ලංකාවට ආසන්නව පිහිටා තිබේ.

එම නාවික ගමන් මාර්ග චීනය, මැද පෙරදිග, අප්‍රිකානු සහ යුරෝපීය රටවල් සමග සම්බන්ධ කෙරේ.

මෙවැනි තත්වයක් මත භූදේශපාලනික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාවේ තාවකාලික වශයෙන් හෝ තම හමුදා රැඳවිය හැකිනම් එහි සම්පුර්ණ වාසිය ඇමෙරිකාවට හිමිවන බව නිශාරා මෙන්ඩිස් පෙන්වා දෙයි.

Image copyright Getty Images
Image caption ඇෆ්ගනිස්ථානයේ මුර සංචාරයේ යෙදෙන ඇමෙරිකානු භටයෙක්

සෝෆා යනු කුමක් ද?

මෙම සම්මුතිය ඇමෙරිකාව වෙනත් රටක් සමග එළඹෙන හමුදාමය සහ ආරක්ෂක එකඟතාවක එක් අංශයක් පමණක් බව එක් මතයකි.

"සෝෆා එකඟතාව මගින් බොහෝ අවස්ථාවල ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් නම් කර ඇති පුද්ගලයන්ට එම සම්මුතියට එළඹෙන යම්කිසි රටක් තුළදී නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන විශේෂයෙන් සඳහන් කෙරෙනවා," කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය නිශාරා මෙන්ඩිස් පෙන්වා දෙන්නීය.

"මේ ගැන අදාළ රටේ නීතිය ක්‍රියාත්මක විය යුතු යැයි විටෙක සමහර රටවල් අවධාරණය කරනු ඇති. නමුත් ඇමෙරිකානු වැසියන්ට සහ දේපල සඳහා ක්‍රියාත්මක වන්නේ ඇමෙරිකානු නීතිය බවයි බොහෝ සෝෆා ගිවිසුම් වල සඳහන් වන්නේ."

"ඒක හරියට තානාපති සේවයේ යෙදෙන නිලධාරීන්ට ලැබෙන රැකවරණය ට සමානයි. එවිට අපරාධ නීති, බදු නීති හෝ රේගු නීති බලපාන්නේ නෑ."

ඇය පෙන්වා දෙන්නේ යෝජිත සෝෆා ගිවිසුම ක්‍රියාත්මක වුවහොත්, ගිවිසුම යටතේ ආවරණය වන ඇමෙරිකා පුරවැසියෙකු ශ්‍රී ලංකාව තුළදී කුමන අකාරයේ අපරාධයක් සිදු කළද ඔහුට හෝ ඇයට එරෙහිව ශ්‍රී ලංකා නීතිය යටතේ කටයුතු කළ නොහැකි බවය.

Image copyright FaceBook
Image caption ආචාර්ය අතුලසිරි සමරකෝන්

මේ අතර ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් පවසන්නේ යෝජිත ගිවිසුම අසමතුලිත බවය.

"මේ ගිවිසුම එක පැත්තකින් අසමතුලිතයි. ලංකාව සමග මේ ගිවිසුම අත්සන් කළොත් අපට ලබාගත ගැකි දේ කුමක් ද? ජාත්‍යන්තර ගිවිසුමකින් අපි අපේක්ෂා කරනවා reciprocity එහෙම නැත්නම් එකිනෙකාට ප්‍රතිචාර දැක්වීමට සමාන අවස්ථාවක් ලබාගැනීම. හැබැයි මේ ගිවිසුම තුළ සමස්ථයක් වශයෙන් අපිට පේන්නේ ඇමෙරිකානු හමුදා ක්‍රියාකාරීත්වයන් මේ කලාපය තුළ ක්‍රියාත්මක වීමේදී ඇමෙරිකාවේ ක්‍රියාකාරීත්වයට සහයෝගය දීමට අපි ඉඩ දෙනවා කියන ඒක. මේක අපිට අලුත් අත්දැකීමක් වේවී. "

පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය වැනි රටවල්වල ඇමෙරිකානු හමුදා ක්‍රියාකාරකම් සිදුවන්නේ එම රටවල් සහ ඇමෙරිකාව අතර ඇති සෝෆා සම්මුති හේතුවෙනි.

එසේම, වර්තමානයේ ඉන්දියන් සාගරයේ පවතින බල අරගලය නිසා චීනය සහ ඉන්දියාව ශ්‍රී ලංකාව දෙස බලා සිටින බව පෙන්වාදුන් ආචාර්ය සමරකෝන් මෙම ගිවිසුම හරහා ඇමෙරිකාව දකුණු ආසියාව තුළ තමාට හිතවත් පාර්ශවකරුවෙක් නිර්මාණය කර ගැනීමට ප්‍රයත්න දරනවා විය හැකි බව ද කීය.

"මෙය එක පැත්තකින් මුලධර්මවාදී ත්‍රස්තවාදය භාවිත කරලා ඒක පාලනය කිරීමට ගන්නා පියවරක් ලෙස සාධාරණීකරණය කිරීමක් වෙන්න පුළුවන්. මේ සියලු දේවල යම් යතාර්ථයක් තියෙන්න පුළුවන්. අපිට මුලධර්මවාදී ත්‍රස්තවාදයේ යම් සෙවනැල්ලකුත් වැටිලා තියෙනවා. නමුත් අපේ ස්වාධිපත්‍යය පිළිබඳ ඒ අභිමානය රැකගන්න අපි උත්සහ කළ යුතුයි. නමුත් හමුදාමය සම්බන්ධතාවය වැඩිකිරීම තුළින් අපේ භෞමික අඛණ්ඩතාවයට සහ රටේ නීතියට සහ රාජ්‍යයේ ස්වාධිපත්‍යට විශාල තර්ජනයක්. ආර්ථිකය විවෘත කිරීම නිසා ඇතිවන තර්ජනයට වඩා ඉදිරියට ගමන් කිරීමක්. ශ්‍රී ලංකාව තුළ සැමවිට හමුදා සැරිසරන විට අනෙක් රටවල සැකයට භාජනය වෙනවා. හොඳ හිත පළුදු වෙනවා. ඉන්දියාව උනත් ඊට කැමති වෙන එකක් නැහැ."

එසේම ශ්‍රී ලංකාව ඓතිහාසිකව රැක ගෙන ආ නොබැඳි ප්‍රතිපත්තියත් විදෙස් ප්‍රතිපත්තියේ දිශානතියත් මෙමගින් අභියෝගයට ලක්වන බව ද ආචාර්ය සමරකෝන් පවසයි.

"මේ ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව ඇමෙරිකාවේ යුද පාර්ශවකරුවෙක් වීමටත් ඉන්දියන් සාගරයේ ඔවුන්ට පහසුකම් සපයන්නෙකු වීමටත් ඉඩ තිබෙනවා. ඒක භයානකයි. එම නිසා ඇමෙරිකාව සමග කිට්ටු යුදමය ගණුදෙනුවකට යා යුතු ද යන ප්‍රශ්නය අපි ඇසිය යුතු වෙනවා. මේ වන විට මෙම කලාපය තුළ පවතින බල තරඟය ගැනත් අපි සංවේදී විය යුතුයි. චීනය මේ කලාපයට විශාල වශයෙන් ආයෝජනය කරනවා. ඉන්දියාව ඉන්නවා. පෙනී යන දෙයක් තමයි, මෙවැනි ගිවිසුම් හරහා තම පිරිහෙන බලය යම්තාක් දුරකට අවම කරගැනීමට ඇමෙරිකාව ප්‍රයත්නයක් ගන්නා බව. එසේම අපි දන්නවා ශ්‍රී ලංකාවට චීනය සහ ඉන්දියාව සමඟ සෘජු යුදමය සම්බන්ධතා නැහැ. නමුත් ඇමෙරිකාව එවැන්නක් ගැනයි මේ බලන්නේ".

එසේම පසුගිය දින කිහිපය තුළ මාධ්‍යයේ පළවූ අදහස් විශ්ලේෂණය කළ විට පෙනී යන්නේ සමහර රජයේ අමාත්‍යවරු එම ගිවිසුමට සහය පළ කරමින් අදහස් දක්වන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම විපක්ෂය ද එම යෝජිත ගිවිසුමට එරෙහිව අදහස් පළ කරන බවකි.

මංගල සමරවීරගේ අදහස:

මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසන්නේ සෝෆා ගිවිසුමට අත්සන් කිරීමෙන් ශ්‍රී ලංකාවට කිසිදු අවාසියක් සිදු නොවන බවය.

ඇමෙරිකාව සමග එළඹීමට නියමිත මෙම ගිවිසුමට සහය දක්වන අමාත්‍යවරුන් අතුරින් ඉදිරියෙන් සිටින්නේ මුදල් අමාත්‍යවරයාය.

ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අපනයන වෙළෙඳපොළක් බැවින් මෙම ගිවිසුම දෙරට අතර සහයෝගීතාව වර්ධනය කිරීමට ඉතා වැදගත් බව ඔහුගේ අදහසයි.

මීට දින කිහිපයකට පෙර මාධ්‍ය අමතමින් ඔහු පැවසුවේ, "සෝෆා ගිවිසුමට අපි අත්සන් කළේ 1995 දී. රටවල් 100 විතර මේ ගිවිසුම් අත්සන් කරල තියෙනවා. මේක පරිපාලනමය එකඟතාවක්. එහෙම නැතුව හිතුණ ගමන් හමුදාවට එන්න බැහැ," යනුවෙනි.

Image copyright Twitter
Image caption අමාත්‍ය මංගල සමරවීර

1995 පෙබරවාරි 9 වෙනිදා කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයට යොමු කරන ලද සටහනක සඳහන් වන්නේ එරට ආරක්ෂක දෙපාර්තමේන්තුවට සම්බන්ධ හමුදා සාමාජිකයින්ට සහ සිවිල් සේවකයින්ට ද ඇමෙරිකා තානාපති කාර්යාලයේ පරිපාලන සහ තාක්ෂණික කාර්ය මණ්ඩලයට හා සමාන තත්ත්වයේ පිළිගැනීමක් ලබා දෙන ලෙසය.

1995 මැයි 16 වෙනිදා මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යංශය, ඊට එකඟතාව පළ කර තිබේ.

Image copyright GlobalSecurity.org
Image caption ඇමෙරිකා තානාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර 1995 දී හුවමාරු වූ සටහන

ඇමෙරිකා එක්සත් ජනපදය වෙනත් රටවල් 100ක් සමඟ පමණ සමග සෝෆා ගිවිසුම් අත්සන් කර තිබේ. නමුත් ඒවායේ අඩංගු කරුණු එකිනෙකට වෙනස් වේ. පිලිපීනය සමග සෝෆා ගිවිසුමකට එළඹ ඇත්තේ 1947 වසරේදීය.

Image copyright Getty Images
Image caption ඇමෙරිකානු නැවක සිට පිලිපීනයේ මැනීලා නගරය දෙස බලා සිටින සෙබළුන් දෙදෙනෙක්

එසේම ජපානය, දකුණු කොරියාව, බටහිර යුරෝපයේ බොහෝ රටවල්, කැනඩාව ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය වැනි රටවල් සමග ද එවැනි ගිවිසුම්වලට එළඹ ඇත.

ඊට අමතරව උපක්‍රමික හේතු මත වැදගත් වන කුඩා රටවල් සමග ද එවැනි සම්මුති වලට එළඹ තිබේ.

Image caption පිලිපීනය සහ ඇමෙරිකාව අතර ඇතිවූ සෝෆා සම්මුතියේ කොටසක්

නීතිඥ මතය:

මේ අතර පසුගිය සිකුරාදා (ජුලි 05) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවූ ශ්‍රී ලංකා නීතිඥ සංගමය පැවසුවේ යෝජිත ගිවිසුමට ශ්‍රී ලංකාව එකඟ වුවහොත් ඇමෙරිකාවේ 53වන ප්‍රාන්තය බවට ශ්‍රී ලංකාව පත්වන බවය.

සෝෆා මගින් ශ්‍රී ලංකාව ත්‍රස්තවාදීන්ට පහසුවෙන් මෙරට සැරි සැරීමට ඉඩ සැලසෙන බවට ද නීතිඥ සංගමය බිය පළ කළේය.

ජනපතිගේ මතය:

රට තුළ කතාබහට ලක්වෙමින් පවතින ගිවිසුම් කිහිපයක් ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සෙනසුරාදා (ජුලි 06) අදහස් දැක්වීය.

එහිදී ඔහු පැවසුවේ තමා රටට නොගැළපෙන කිසිදු ආකාරයේ විදේශීය ගිවිසුමකට අත්සන් තැබීමට තම නිල කාලය තුළ ඉඩ නොතබන බවය.

"මේ දවස්වල මාධ්‍ය තුළ සාකච්ඡා වෙනවා විදේශ ගිවිසුම් ආණ්ඩුව අත්සන් කරන්න යනවා, රට පාවා දෙනවා කියලා. සෝෆා කියන ගිවිසුමක් ගැන කතා කරනවා. සහශ‍්‍ර අභියෝගිතා ගිවිසුමක් ගැන කතා කරනවා. රටට නොගැළපෙනවයි කියන ඉඩම් පනතක් ගැන කතා කරනවා. මේ සාකච්ඡා සංවාද කෙසේ තිබුණත් මේ රටේ ඔබ පත්කළ ජනාධිපතිවරයා විදියට මගේ ඉදිරි නිල කාලය තුළ නම් රටට නොගැළපෙන, නුසුදුසු කිසිඳු විදේශීය ගිවිසුමක් අත්සන් කරන්න ඉඩ තියන්නේ නැහැයි කියන එක මම පැහැදිලිව කියන්න ඕනෑ."

තානාපති ප්‍රතිචාර:

මේ අතර ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය, ඇලයිනා ටෙප්ලිට්ස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකානු හමුදා කඳවුරක් පිහිටුවීමට සැලැසුමක් හෝ අදහසක් නොමැති බවය.

පාර්ලිමේන්තුවේ වූ කතාව:

මේ අතර ජුනි 27 වෙනිදා සුසන්ත පුංචිනිලමේ මන්ත්‍රීවරයා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනගෙන් සෝෆා සම්මුතිය ගැන කරුණු විමසීය.

එහිදී සෝෆා රහස් ගිවිසුමක් නොවේ නම් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දැනුවත් කරන ලෙස ද පුංචිනිලමේ මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

ඊට පිළිතුරු ලෙස රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, "එවැනි ගිවිසුමක් අත්සන් කරලත් නැහැ. මේ සෝෆා ගිවිසුම ගැන තවමත් සාකච්ඡා කරනවා පමණයි," යනුවෙනි.

"අපිත් ඒක බලලා අපට අවශ්‍ය විදියට වෙනස්කම් කරනවා. යම්කිසි කාලයකදී යම්කිසි ගිවිසුමකට එනවා නම් එයි."

අගමැතිගේ ප්‍රකාශය:

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජුලි 09 වෙනිදා සෝෆා සම්මුතිය ගැන පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වීය. එහිදී ඔහු 1995 දී එවකට රජය විසින් එළඹුණු සම්මුතිය සභාගත කළේය.

එය හැර වෙනත් සම්මුතියක් නොමැති බව පැවසූ අගමැතිවරයා 1995 එකඟතාව අනුව මේ වනවිටත් ඇමෙරිකානු හමුදා සාමාජිකයන්ට ශ්‍රී ලංකාවේදී තානාපති වරප්‍රසාද ලැබෙන බව පෙන්වා දුන්නේය.

"තිබෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව සහ ඇමෙරිකාව සමග ඇතිකරගෙන තිබෙන සෝෆා ගිවිසුම පමණයි. ඊට වගකිවයුතු රේඛීය අමාත්‍යාංශය වන්නේ ආරක්ෂක අමාත්‍යාංශයයි. එම නිසා මේ පිළිබඳව යම් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ ද යන්න පිළිබඳව මම අමාත්‍යාංශ ලේකම්තුමාගෙන් විමසුවා. එවැනි යෝජනාවක් ආරක්ෂක අමාත්‍යාංශයෙන් හෝ වෙනත් කිසිදු අමාත්‍යාංශයකින් අමාත්‍ය මණ්ඩල කාර්යාලයට ඉදිරිපත් වී නොමැති බව එතුමා මා වෙත ලිඛිතව වාර්තා කර තිබුණා. එම ලිපියත් මම සභාගත කරනවා," යනුවෙන්ද අගමැතිවරයා කීය.

"එම නිසා අපි නව ගිවිසුමක් අත්සන් කර නැහැ. ඒ වගේම නව ගිවිසුමක් ඉදිරිපත් කර නැහැ. නමුත් අලූත් කෙටුම්පතේ ඇතැම් කොන්දේසි පිළිබඳව මේ වන විට අපි සාකච්ඡා කරමින් සිටින බව පැවසිය යුතුයි. එහි තිබෙන ඇතැම් කොන්දේසි අපට පිළිගත නොහැකියි. එම කොන්දේසි පිළිබඳව මා දැනුම් දී තිබෙනවා. මේ වන විට ඒ පිළිබඳව අදාළ අමාත්‍යාංශය සහ ඇමෙරිකානු තානාපති කාර්යාලය සාකච්ඡා කරමින් සිටිනවා. ඇතැම් විට එම සාකච්ඡා සාර්ථක විය හැකියි. ඇතැම් විට එය අසාර්ථක විය හැකියි. නමුත් ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යයට සහ සෛවරීත්වයට හානි වන කිසිදු ක්‍රියාවක් අප සිදු කරන්නේ නැහැ."

හෙජමනිය පැතිරවීම:

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් පැවසුවේ මෙම ගිවිසුම ශ්‍රී ලංකාවට අවාසිදායක නම් එය තවදුරටත් සාකච්ඡා කළ යුතු බවය. එසේ සාකච්ඡා කළ නොහැකි නම් ගිවිසුම අහෝසි කළ යුතු බව ඔහුගේ අදහසය.

"මේක අලුත් දෙයක් නොවෙයි. ලෝකයේ බලවතුන් ඔවුන්ගේ ආධිපත්‍යය - අපි කියන්නේ හෙජමනි එක - පැතිරීම තමයි හැම විටම කරන්නේ. ඒ හෙජමනි එකට අනෙක් රටවලුත් එනවානම් ඔවුන් කැමතියි. අපි ඔවුන්ගේ මිත්‍ර පාර්ශවය කර ගන්න. එමනිසා ජාතියක් වශයෙන් මෙවැනි ගිවිසුම් මගින් අපගේ ස්වාධීනත්වය අහිමි කර ගත යුතු නැහැ කියන එකයි මගේ නිගමනය. මේ ගිවිසුම අනාගතයේදී විශාල වශයෙන් අපට බලපාන්න පුළුවන්."