සහරාන් සමග පුහුණුවීම්වල යෙදුනු බවට සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට

Image caption පාස්කු ඉරිදා එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්

අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමක් වන ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස විශ්වාස කෙරෙන මොහොමඩ් සහරාන් හෂීම් සමග පුහුණුවීම්වල යෙදුනු බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

මොහොමඩ් සහරාන් හෂීම්, පාස්කු ඉරිදා එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසන පරිදි අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සහ ඔවුන්ට එරෙහි චෝදනා පහත දැක්වේ.

01. රාජ් ගෝපාල් මුදියන්සේලාගේ ඉස්මයිල් මොහොම්මදු නසීර් - වයස 41

ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් 2019.05.01 දින අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරනු ලැබ තිබේ.

ඔහු මොහොමඩ් සහරාන් හෂී සමග නුවරඑලිය බ්ලැක්පූල් ප්‍රදේශයේදී පුහුණුවීම්වල නිරතව ඇතැයි ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

ඒ අනුව අදාළ සැකකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන ඇත.

02. තවුල් හමීඩ් හිස්බුල්ලා - වයස 21

ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා වැලිමඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ඔහු මොහොමඩ් සහරාන් සමග හම්බන්තොට ප්‍රදේශයේදී පුහුණුවීම් කර ඇතැයි ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන පරිදි තවුල් හමීඩ් හිස්බුල්ලා අවි පුහුණුව ද ලබා ඇත.

අදාළ සැකකරු ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන ඇත්තේ ඒ අනුවය.

03. මොහොම්මදු මුක්තාර් ආශිෆ් රසාත් - වයස අවුරුදු 29

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද විමර්ශනවලදී ආශිෆ් රසාත් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇත.

ඒ අනුව වැඩිදුරටත් ප්‍රශ්න කිරීම සඳහා පේරාදෙණියේ පිහිටි ඔහුගේ නිවසේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි.

අදාළ සැකකරු මොහොමඩ් සහරාන් නමැති සැකකරු සමග මහනුවර අරුප්පල ප්‍රදේශයේදී පුහුණුවීම් කර ඇති බව මෙතක් සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියා සිටී.

තවත් කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර