එංගලන්තයේ කුණු ශ්‍රී ලංකාවට ආවේ කෙසේ ද?

Getty Images Image copyright Getty Images
Image caption කොළඹ වරාය

භාවිත කරන ලද මෙට්ට ලෙස හඳුන්වා ප්‍රතිඅපනයනය කිරීම සඳහා යැයි පවසමින් ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලැබ දැනට කොළඹ වරායේ සහ කටුනායක ආයතන පරිශ්‍රයක ගබඩා කර ඇති අපද්‍රව්‍ය (Waste) තොග පිළිබඳව මේ දිනවල සමාජයේ දැඩි කතාබහක් ඇති වී තිබේ.

එම ද්‍රව්‍ය 2017 සැප්තැම්බර් මස සිට 2018 මාර්තු දක්වා අතර කාලය තුළදී බහලුම් 241ක් මගින් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත.

එක්සත් රාජධානියේ ලියාපදිංචි වෙන්ගාඩ්ස් (Vengaads Ltd) නම් ආයතනය මගින් මෙම බහාලුම් ශ්‍රී ලංකාවට අපනයන කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පැවසීය.

එම අධිකාරිය කියා සිටියේ බහාලුම් තුළ ඇති මෙට්ටවලින් ඇතැම් ඒවා තුළ සායනික සහ වෙනත් අපද්‍රව්‍ය පුරවා තිබෙන බවය.

එය ජාත්‍යන්තර සම්මුති නොසලකා කටයුතු කිරීමක් ලෙස සැලකිය හැකි බව ද පෙන්වා දෙයි.

ආනයනය කරන ලද බහාලුම් 241න් 130ක් වරායෙන් නිෂ්කාෂණය කොට කටුනායක පිහිටි හේලීස් ෆ්‍රී සෝන් ආයතන පරිශ්‍රයේ රඳවා ඇති අතර ඉතිරි බහාලුම් 111 කොළඹ වරායේ අංගන තුනක තවමත් ඇති බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ශ්‍රී ලංකා රේගුව පැවසීය.

රේගු අධ්‍යක්ෂ හා එහි ප්‍රකාශක සුනිල් ජයරත්න කියා සිටියේ සිලෝන් මෙටල් ප්‍රොසෙසිං පෞද්ගලික සමාගම මේ සියලු බහාලුම්වල ආනයනකරු ලෙස හඳුනාගෙන තිබෙන බවය.

රේගු විමර්ශන නිලධාරීන් මේ වනවිට එම සමාගමේ හිමිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මේ අතර, දැනට වරායේ තිබෙන අදාළ බහාලුම්වලට තම ආයතනයේ සම්බන්ධයක් නැති බව නිවේදනයක් නිකුත් කරමින් හේලීස් ෆ්‍රී සෝන් ආයතනය ප්‍රකාශ කළේය.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ තමන් ආනයන අපනයන සමාගම් සඳහා පහසුකම් සපයන්නෙකු ලෙස පමණක් ක්‍රියා කරන බවය.

නීතිමය පසුබිම

මෙසේ, මෙවැනි ද්‍රව්‍ය, ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අවස්ථාව ලැබී තිබෙන්නේ 2012 මාර්තු 30 වන දින ශ්‍රී ලංකාවේ මුදල් පනතට ගෙන ආ සංශෝධන සමගය.

එම සංශෝධන අනුව මුදල් පනතේ 16, 17, සහ 18 වැනි වගන්ති වෙනස් කර ඇත.

අදාළ වෙනස් කිරීමට අනුව ප්‍රති අපනයනය සඳහා භාණ්ඩ ආනයනය කිරීමේදී රේගු ආඥා පනත, විනිමය පාලන පනත හා ආනයන, අපනයන පාලන පනත බල නොපැවැත්වෙන අතර ඒ පිළිබඳ ක්‍රියාවලිය සිදුවන්නේ ආයෝජන මණ්ඩලය හරහාය.

මේ අතර 2013 ජුලි 7 වන දා නිකුත් කළ ගැසට් නිවේදනයක් අනුව කටුනායක අපනයන සැකසුම් කලාපය නිදහස් කලාපයක් (Bonded area) ලෙස ද ප්‍රකාශයට පත් කෙරිණි.

රේගු අධිකාරි ලාල් වීරකෝන් බීබීසී සිංහල සේවයට සඳහන් කළේ, එම පියවරට අනුව කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ පිහිටි හේලීස් ෆ්‍රී සෝන් ආයතනය ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන බවය.

"ඒ ප්‍රතිපාදන අනුව යම්කිසි බීඕඅයි එකේ ලියාපදිංචි වෙච්ච ආයතනයක් එක්ක මේ වගේ ක්‍රියාවලියකට ගිවිසුම් අත්සන් කරන්න පුළුවන් වෙනත් ආයතනවලට. දැන් කොළඹ වරායෙන් හේලීස් ෆ්‍රී සෝන් කියන ආයතනය භාණ්ඩ ලබන්නා (consignee) විදිහට දාලා BOI clearance අරගෙන ගෙනිහින් තියෙනවා. එතකොට ඔය කම්පැනියේ නිෂ්කාෂණ ඔක්කොම කරන්නේ ආයෝජන මණ්ඩලය හරහා ආයෝජන මණ්ඩල පහසුකම් යටතේ. රේගුවට ඒවා බලන්න බැහැ කියලා අර පනතේ තියෙන්නේ."

වරායේ නිෂ්කාෂණය නොකළ බහාලුම් 111 පිළිබඳව ශ්‍රී ලංකා රේගුවට ලැබුණු රහසිගත තොරතුරක් අනුව පසුගිය මැයි මාසයේදී පරීක්ෂණ ඇරඹිණි.

වරායෙන් පිටතට ගෙන ගොස් ඇති බහාලුම් 130න් 10ක් ඒ ආකාරයටම ප්‍රති අපනයන කර තිබෙන බව ද පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

බහාලුම්වල තිබු භාවිත කරන ලද මෙට්ටවලින් ඉවත් කළ යකඩ අසුරන ලද බහාලුම් කිහිපයක් ඉන්දියාවට ද, එසේ යකඩ වෙන් කිරීමේදී ඉතිරි වූ ස්පොන්ජ් (sponge) තොගයක් අසුරන ලද බහාලුම් ඩුබායි රාජ්‍යය වෙත ද ප්‍රතිඅපනයනය කර ඇත. එසේ ප්‍රතිඅපනයනය කරන ලද බහාලුම් ගණන හතකි.

එම බහාලුම් හත සැකසීම සඳහා, ශ්‍රී ලංකාවට ගෙනෙන ලද බහාලුම් තොගයෙන් බහාලුම් 30ක පමණ තිබු ද්‍රව්‍ය යොදා ගත් බව හේලීස් ෆ්‍රී සෝන් ආයතනය පැවසී යැයි රේගු අධිකාරී ලාල් වීරකෝන් සඳහන් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා රේගුව පවසන්නේ, භාවිත කරන ලද මෙට්ටවල අඩංගු යකඩ ලබා ගැනීමට යැයි පෙන්වා දෙමින් මෙම ද්‍රව්‍ය සුක්ෂමව ශ්‍රී ලංකාවට ගෙන්වා ඇතැයි යන්න තමන්ගේ විශ්වාසය බවය..

උපද්‍රවකාරී අපද්‍රව්‍ය:

කෙසේ වෙතත්, ජාත්‍යන්තර සම්මුතියට අනුව මේ ආකාරයට එක් රටකින් වෙනත් රටකට උපද්‍රවකාරී අපද්‍රව්‍ය (hazardous waste) යැවීම නීති විරෝධීය.

ඒ සඳහා ඇති එකඟතාව බාසල් සම්මුතිය ලෙස හැඳින්වේ.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය ද එම සම්මුතියේ අත්සන්කරුවෝ වෙති.

"එම සම්මුතියේ තියෙනවා ගිවිසුම්ගත කිසියම් රටක් තවත් රටකට උපද්‍රවකාරී අපද්‍රව්‍ය අපනයනය කරනවා නම් එම රටේ ඊට අදාළ බලධරයාගෙන් (Focal point) ඇසිය යුතුයි කියලා," රේගු අධිකාරී වීරකෝන් පැහැදිලි කළේය.

"ඇත්තට ම මෙතන වෙලා තියෙන්නේ පාවිච්චි කරන ලද මෙට්ට ලෙස දක්වලා යම්කිසි අපද්‍රව්‍ය වගයක් ලංකාවට ගෙනැවිත් තිබෙනවා. එම මෙට්ට කවර තුළ විවිධාකාර කාපට්, ප්ලාස්ටික්, වෙන වෙන තැන්වලින් ඉවත් කරපු අප ද්‍රව්‍ය දුගඳ හමන දේ තමයි තිබෙන්නේ. ඒවා ඇරලා පරීක්ෂණයක් කරන්න බැරි තරමේ අපද්‍රව්‍ය තමයි එවලා තිබෙන්නේ."

ශ්‍රී ලංකාවේ ඊට අදාළ බලතල සහිත ආයතනය වන්නේ මධ්‍යම පරිසර අධිකාරියයි.

එම අධිකාරිය පවසන පරිදි කිසිදු ආයතනයක් මේ සඳහා නිසි අවසරයක් තමන්ගෙන් ලබා ගෙන නොමැත.

මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ, හේලීස් ෆ්‍රී සෝන් පරිශ්‍රය තුළ වර්ග අඩි 50,000ක පමණ වපසරියක අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 27,685ක් ගොඩ ගසා ඇති අතර ඒවා පරිසරයට නිරාවරණය වී පවතින බවය.

එම අපද්‍රව්‍ය තොගය හැකි ඉක්මනින් අපනයනය කළ රටට ම යවන ලෙස ජාතික පාරිසරික පනත අනුව නියෝග කළ බව මධ්‍යම පරිසර අධිකාරිය පැවසීය.

"කුණු හබ්"

මේ අතර මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ජනතා විමුක්ති පෙරමුණ පැවසුවේ මෙවැනි ක්‍රියාකාරකම් නිසා ශ්‍රී ලංකාව "කුණු හබ්" එකක් බවට පත්වෙමින් පවතින බවය.

එසේ ම බාසල් සම්මුතියට අත්සන් කළ ද එය නීතියක් බවට පත් කිරීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති නිසා ඕනෑ ම ද්‍රව්‍යයක් මෙරටට ආනයනය කිරීමට අවස්ථාව ලැබී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දිණි.