1983 කළු ජූලිය: සිදු වූයේ කුමක්ද?

Black July riots in Sri Lanka 1983 Image copyright Getty Images

බියගම පදිංචි එම් විජේබණ්ඩාර 1983 'කළු ජූලිය' කෝලාහලවල දී තමන් දුටු සිද්ධියක් ගැන බීබීසී සිංහල සේවයට මෙසේ විස්තර කළාය.

"කොටුවේ චැතම් වීදියේ තිබුණා සාරධා කියලා තට්ටු ගණනක් ලොකු සාප්පුවක්. මේ කලබල නිසා ඒක වහලා තිබුණේ. මම එදා ඒ සාප්පුව ඉස්සරහ හිටගෙන ඉන්නකොට, මිනිස්සු විශාල පිරිසක් කලබලයෙන් එතනට ආවා."

"සාප්පුවේ දොරට ගහලා කඩන්න උත්සහ කළා. හැබැයි බැරි වුණා. ඒත් එක්කම බැකෝ එකක් පාරේ යමින් තිබුණා. අර මිනිස්සු ඔක්කොම එකතු වෙලා බැකෝ එක නතර කරලා එකේ රියදුරාට කිව්වා පාර හරස් වෙන්න හරවලා 'සාරධා' එක පැත්තට රිවර්ස් කරන්න කියලා."

"බැකෝ එක මහා හයියෙන් තුන්පාරක් සාරධා එකේ දොරේ වැද්දුවා. තුන් වෙනි පාර මහා සද්දයක් එක්ක දොර කඩාගෙන වැටුණා. ඒ එක්කම අර මිනිස්සු ඇතුළට ගියා. හැබැයි එතන හිටිය නායකයා වගේ පුද්ගලයෙක් හයියෙන් කෑ ගහල කිව්වා, සාප්පුවේ කිසිම බඩුවකට අත තියන්න එපා කියලා."

"ඊට පස්සේ විනාඩි කිහිපයකින් සාප්පුවෙන් දුම් පිටවෙන්න ගත්තා," එම් විජේබණ්ඩාර තවදුරටත් පැවසුවාය.

1983 ජූලි 23 වෙනිදා එල්ටීටීඊ සංවිධානය විසින් උතුරේ දී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සෙබළු දහතුන් දෙනෙකු මරාදැමීමේ සිදුවීමෙන් ඇවිලී ගිය කළු ජූලියට වසර 36ක් ගත වුව ද එහි මතකයන් තවමත් බොහෝ දෙනෙකුගේ සිත් තුළ රැඳී ඇත.

1983 ජූලි මස මුල් භාගයේ දී හමුදාව චාවකච්චේරියේ දී එල්ටීටීඊ සාමාජිකයන් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයක දී වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීප හිතවතෙකු සහ එල්ටීටීඊ සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස හැඳින්වෙන චාල්ස් ලූකස් ඇන්තනී හෙවත් සීලාන් ඇතුළු කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

Image copyright Getty Images
Image caption බෝට්ටු මගින් ඉන්දියාවට පිටත් වීමට උත්සහ කරන LTTE සාමාජිකයන්ගේ දර්ශනයක්

මෙයට ප්‍රතිප්‍රහාරයක් ලෙස පලාලි මාර්ගය ඔස්සේ ගමන් කරමින් තිබූ ගුරුනගර් කඳවුරින් පිටවුණු හමුදා හමුදා ජීප් රියක්‌ සහ ට්‍රක්‌ රථයකට එල්ටීටීය විසින් බෝම්බ සහ වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබීමෙන් සෙබළුන් දහතුන් දෙනෙක් මිය ගියහ.

මෙම සිද්ධියෙන් පසු, කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ද්‍රවිඩ පුද්ගලයන්ට පහර දෙන්නත්, නිවාස සහ ව්‍යාපාරික ස්ථාන කඩා දමා ගිනිබත් කිරීමත් ඇරඹිණි. එයින් නොනැවතුණු කළු ජූලිය, 3000කට ආසන්න පිරිසකට ජීවිත අහිමි කළේය.

කළු ජුලියට මුහුණ දුන් වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ පදිංචි රත්නම් ධර්මු සිය අත්දැකීම් මෙසේ හෙළි කළේය.

"1983 ජුලි මාසයේ 23 වැනිදා එල්ටීටීඊ සංවිධානය යාපනය තිරුනෙල්වෙලි ප්‍රදේශයේ යුද හමුදා ට්‍රක් රථයකට බරපතල බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. ඒ ප්‍රහාරයෙන් ට්‍රක් රථයේ පැමිණි යුද හමුදා සෙබළු 13 දෙනෙක් මිය ගියා."

"ඒ සිද්ධිය මුල් කරගෙන තමයි කළු ජුලියේ ප්‍රහාර ඇතිවුණේ. සෙල්වකිලි කියන නමින් එල්ටීටීඊ සංවිධානයේ හිටපු කෙනෙක් තමයි බෝම්බය තියලා තියෙන්නේ."

"තිරුනෙල්වේලි ප්‍රදේශයේ දී හමුදාවේ 13 ක් මියගිය එකට පලිගන්න වැලිකඩ බන්ධනාගාරය ඇතුලේ හිටපු එල්ටීටීඊ සැකකරුවන් පනස් දෙනෙක් විතර පිරිසක් බන්ධනාගාරය ඇතුළේ ම මරලා තිබුණා."

"ඒත් එක්කම කොළඹ ඇතුළු දකුණු පළාත්වල හිටපු දෙමළ ජනතාවට පහර දුන්නා. එකට එක කරන්න උතුරේ තරුණයෝ උතුරේ හිටපු සිංහල පිරිසට පහර දුන්නා. ඒ පහරදීම් එක්ක ගෙවල් ගිනි තියලා බස් ගිනි තියලා මිනිස්සු මරලා මහා විනාශයක් සිද්ධ වුණා," යැයි රත්නම් ධර්මු පැවසීය.

Image copyright Getty Images
Image caption කළු ජූලිය සමයේ විශාල දේපළ හානියක් ද සිදු විය

1983 දී රටේ පාලනය හෙබැවූයේ ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි.

එවක පැවති රජය මෙම කෝලාහල මුල් අවධියේ දී නතර කිරීමට අවශ්‍ය පියවර නොගත්තැයි තමා විශ්වාස කරන බව වරක් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ලෙස ක්‍රියා කළ තිස්ස අත්තනායක බීබීසී සංදේශයට වරෙක ප්‍රකාශ කර තිබුණි.

කළු ජූලිය "ඉතා කණගාටුදායක සහ අවාසනාවන්ත" සිද්ධියක් ලෙසින් හැඳින්වූ තිස්ස අත්තනායක, එයින් අනතුරුව ශ්‍රී ලංකාවේ හටගත් "ජාතිවාදී ස්වරූපයත්, ජාත්‍යන්තර අපකීර්තියත්" මකා ගැනීමට ශ්‍රී ලංකාවට තවමත් හැකිවී නැතැයි ද පැවසුවේය.

මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා මෝහන් මින් පෙර බීබීසී සිංහල සේවයේ පළ වූ ලිපියකට කළු ජූලිය පිළිබඳ සිය අත්දැකීම් හෙළි කර සිටියාය.

මෙයින් තිස් හය වසරකට පෙර කළු ජූලිය අවස්ථාවේ අට හැවිරිදි පාසල් දැරියකව සිටි සුලෝචනාගේ ජීවිතය බේරා දී ඇත්තේ මහනුවර ලක්පහන විදුහලේ ගුරු භවතුන් සහ ගම්වාසීන් බව ඇය පැවසීය.

ඉන් පසු, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දින කිහිපයක් ගත කර කොළඹට පැමිණි අවස්ථාවේ, සිය නිවසත් ගිනි තබා ඇති බව ඇයට දැනගන්නට ලැබී තිබේ.

"මම හිතුවේ නෑ අපේ ගමේ හිටපු මිනිස්සුම අපේ ගේ ගිනි තියාවි කියල," සුලෝචනා රාමයියා මෝහන් පැවසුවාය.

Image caption යාපනය විශ්ව විද්‍යාලයේ කළු ජූලිය සැමරුම්

මේ අතර, යාපනය විශ්ව විද්‍යාල සිසුන් කළු ජූලිය හේතුවෙන් ජිවිතක්ෂයට පත්වු ද්‍රවිඩ ජනතාව සිහි කරමින් සැමරුම් වැඩසටහනක් ඊයේ (ජූලි 23) විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.

කළු කොඩි ඔසවා, යාපනය විශ්ව විද්‍යාල පිවිසුම් මාර්ගය ඉදිරිපස ඇති සැමරුම් ස්මාරකය අබිසය පහන් දල්වා, මල් පුදා කළු ජූලියෙන් මියගිය ද්‍රවිඩ ජනතාව සිහි කරනු දක්නට ලැබිණි.

සැමරුම් වැඩසටහන වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩල සාමාජිකයෝ හා විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෝ ද එක්ව සිටියහ.

මේ තොරතුරුද කියවන්න:

නම හෙළි කිරීමට අකමැති ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියක කළු ජූලිය පිළිබඳ සිය මතකයන් මෙසේ අවදි කළාය.

"මම සිංහල ජාතිකයෙක්. 1983 මම කොළඹ රැකියාව කළ තැන හිටියා දෙමළ ජාතික ගණකාධිකාරීවරයෙක්. ඔහු මගේ හොඳ මිත්‍රයෙක්. එදා රැකියා ස්ථානයෙන් එළියට බහින්න බැරි තරමට කලබල ඇවිලිලා තිබුණා. මගේ මිත්‍රයා එළියට ගියොත් අනිවාර්යයෙන් මැරෙන්න වෙන තත්වයක් තිබුණේ."

"එයා ජීවිතය ගැන හොඳටම බය වෙලා හිටියේ. වැඩ ඇරිලා මමයි මගේ මහත්තයයි මෝටර් රථයෙන් ගෙදර යන්නේ. අපි මේ මිත්‍රයට උදව් කරන්න තීරණය කළා. අපි ඔහු වාහනයට නග්ගගෙන ගම්පහ අපේ ගෙවල් පැත්තට යන්න ගත්තා."

"ඒ වෙලාවේ සෑහෙන පිරිසක් පාරේ. ගෙවල්, සාප්පු, ආගමික ස්ථාන ගිනි ගන්නවා, එළිපිට මිනිස්සුන්ට ගහනවා, මරනවා. මහ භයානක තත්වයක්. "

Image copyright Getty Images
Image caption කළු ජූලිය අතර කොළඹ කොටුවේ දර්ශනයක්

"අපි කැළණි පාලම පහු කරනකොට මිනිස්සු කට්ටියක් පාරේ යන සේරම වාහන නතර කරලා ඒවගෙන් තෙල් ඇදලා ඉල්ලනවා ගෙවල් ගිනි තියන්න."

"අපි හොඳටම බය වුණා. අපේ වාහනේ දෙමළ කෙනෙක් ඉන්නවා කියලා දැනගත්ත නම් අපි ඔක්කොම එතනම මරලා දාන තත්වයක් තිබුණේ."

"හැබැයි අපි බය නොපෙන්නා, ඒ මිනිස්සුන්ට කිව්වා අනේ අපි මේ වෙන කට්ටියකට පෙට්‍රල් දුන්නා විතරයි, දැන් ගෙදරට යා ගන්න විතරයි තෙල් තියෙන්නේ කියලා. මිත්‍රයා ආරක්ෂා කරගන්න ඕනේ නිසා අපිත් මේ දේට උදව් කරනවා වගේ පෙන්නුවා."

"ඒ මිනිස්සු ඒක විශ්වාස කරළා අපිට යන්න ඉඩ දුන්නා. ජීවිතයත් මරණයක් අතර තිබුණ ඒ මොහොත මතක් වෙද්දී තවමත් හිත ගැස්සෙනවා. අපි දෙමළ මිත්‍රයට අපේ ගෙදර සති තුනක් රැකවරණය දුන්නා. ඔහුගේ ජීවිතේ බේරුවා," ඇය තවදුරටත් පැවසීය.

රට පුරා පැතිරී ගිය මෙම කෝලාහල හේතුවෙන් අති විශාල දේපළ හානි සිදු වූ අතර, ව්‍යාපාරික ස්ථාන මංකොල්ල කෑමට ද ලක් විය. මේ අතර ලක්ෂ ගණනක් දෙමළ වැසියන් නැගෙනහිර සහ උතුරු පළාත් බලා පළා ගියහ. තවත් දහස් ගණනක් විදෙස් ගත වූහ.

Image copyright Getty Images
Image caption 2006 දී මුහමලේ ප්‍රදේශයේ සිදු වූ දරුණු සටනෙන් පසු

මෙම සිද්ධි මාලාවෙන් ඇරඹුණ නොසන්සුන් තත්වය දරුණු සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය විය.

වසර විසි හයක් පුරා පැවති යුද්ධය හේතුවෙන් මරුමුවට පත් සංඛ්‍යාව ලක්ෂයක් පමණ වෙතැයි ඇතැම් වාර්තා සඳහන් කරයි.

"කළු ජූලියක් වාගේ ජාතිවාදි අරගල නැවත ඇතිවෙන්න නරකයි. පාස්කු ප්‍රහාරයෙ වෙලා‍වේ නැවත කළු ජූලියක් වාගේ විපතක් ඇතිවෙයි කියලා තමයි අපිට දැනුණේ."

"කළු ජුලිය නිසා එක සහෝදරයෝ වගේ හිටපු සිංහල දෙමළ මිනිස්සු වෛරක්කාර‍යෝ කළා. ඒකෙන් ඇති වුණ යුද්ධය හින්දා අපි අවුරුදු 30 ක් හරියට ඉන්න හිටින්න තැනත් නැතුව ජිවත් වුණා."

"යුද්ධයේ අවසන් දවස්වල අපිට කන්න දෙයක් නැතුව ජීවිත බලාපොරොත්තු අතහැරගෙන තමයි මමයි දරුවනුයි ජිවත්වුණේ. එහෙම අතීතයක් තමයි කළු ජූලිය අපිට උරුම කළේ.

"නැවතත් කළු ජූලියක් වැනි විනාශයක් ඇතිවෙන්න එපා කියලා තමයි අදටත් මම ප්‍රාර්ථනා කරන්නේ," යැයි රත්නම් ධර්මු පැවසුවේය.

තවත් තොරතුරු: