කාන්තාවන්ට ඔසප් නැවතීම දැනෙන්නේ කෙසේ ද?

Menopause - Sri Lanka Image copyright Getty Images
Image caption ඔසප් වීම නතර වීම සාමාන්‍යයෙන් වයස අවුරුදු 45ත් 55ත් අතර සිදු වේ

ඕනෑ ම කාන්තාවක සිය තරුණ විය ඉක්මවා යද්දී මුහුණ දීමට සිදුවන පොදු ශාරීරික තත්ත්වයක් වුවද, එකිනෙකාට දැනෙන සංකුලතා විවිධය.

"අවුරුදු 50 ලබන කාලයේ දී මට නිතර තද ඔලුවේ කැක්කුමක් එන්න ගත්තා. ඒ වගේම මගේ හිත එක දෙයකට යොමු කරළා තියාගන්න බැරි වුණා. හැමවෙලාවෙම මුත්‍රා පිට කිරීමට අවශ්‍ය ගතියකුත් තිබුණා," පිළියන්දල පදිංචි කාන්ති ජයවර්ධන සිය අත්දැකීම පැහැදිලි කරන අතරේ එසේ පැවසුවාය.

"53 දී විතර මගේ ඔසප්වීම නතර වුණා. නමුත් මට කිසිම වෙනසක් දැනුනේ නැහැ. වෙනදා වගේම හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටියා. නමුත් මම දන්න බොහෝ දෙනෙකුට නොයෙකුත් අපහසුතාවලට මුහුණ දෙන්න වුණා" කිරිබත්ගොඩ පදිංචි රමණි නානායක්කාර සඳහන් කළාය.

කාන්තාවකගේ ඔසප් වීම නතර වීම (ආර්තවහරණය) සහ තවදුරටත් ස්වභාවික ලෙස දරුවන් වැදීම කළ නොහැකි වීම 'ආර්තවහරණය' (Menopause) යනුවෙන් හැඳින්වේ.

එය වයස්ගත වීමත් සමග කාන්තාවකගේ ශරීරයේ සිදුවන ස්වභාවික වෙනස්කම්වලින් එකකි. කාන්තාවකගේ ඔසප් වීම නතර වීම සාමාන්‍යයෙන් වයස අවුරුදු 45ත් 55ත් අතර සිදු වේ.

ශ්‍රී ලංකාව තුළ ආර්තවහරණය සිදුවන වයස දළ වශයෙන් 51ක් බව නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න බීබීසී සිංහල සේවය කළ විමසීමක දී පැවසීය.

ඇතැම් කාන්තාවන්ට ආර්තවහරණය එකවර සිදු විය හැකි නමුත්, බොහෝ විට සිදුවන්නේ ඔසප් වීම ක්‍රමයෙන් අවම වී අවසානයේ දී නතර වීමය.

Image copyright Getty Images
Image caption ආර්තවහරණයට ප්‍රධාන ලෙස බලපාන්නේ කාන්තා ශරීරය තුළ ඩිම්බ කෝෂවලින් ශ්‍රාවය වන ප්‍රධාන හෝමෝනය වන 'ඊස්ට්‍රජන්' නිෂ්පාදනයේ අඩු වීමය

බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකාවේ වැඩිහිටි කාන්තාවන් දස දෙනෙකුගෙන් ආර්තවහරණය ගැන විමසූ විට ඉන් හත්දෙනෙකු ශාරීරික සහ මානසික වේදනාවන්ට මුහුණ දුන් බව පැවසූ අතර, තිදෙනෙක් කිසිදු ගැටලුවකට මුහුණ නොදුන් බව පැවසූහ.

වෙනත් හේතු

වයස්ගතවීමට අමතරව ආර්තවහරණයට වෙනත් හේතු ඇති අතර, එබැවින් ඇතැම් කාන්තාවන් අදාළ වයස් සීමාවට පෙර ආර්තවහරණයට මුහුණ දෙන බව වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න පැවසුවේය.

එයට පහත සඳහන් හේතු බලපෑ හැකිය:

  • ගර්භාෂ විච්ඡේදනය හෝ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත සැත්කමකට මුහුණ දීම
  • ජානමය තත්ත්ව
  • ඩිම්බ කෝෂ අකර්මණ්‍ය වීම හෝ හානි වීම
  • ප්‍රතිශක්තිය අඩු වීම
  • පාරිසරික බලපෑම්

මේ වෙනස සිදුවන්නේ ඇයි?

මෙයට ප්‍රධාන ලෙස බලපාන්නේ කාන්තා ශරීරය තුළ ඩිම්බ කෝෂවලින් ශ්‍රාවය වන ප්‍රධාන හෝමෝනය වන 'ඊස්ට්‍රජන්' නිෂ්පාදනයේ අඩු වීමය.

වයස්ගතවීමත් සමග ප්‍රජනන පද්ධතිය තුළ ඩිම්බ නිපදවීම නතර වන බැවින් ඔසප් වීම සහ දරු පළ හටගැනීම නතර වේ.

ඒ සමගම ප්‍රජනන ක්‍රියාවලිය පාලනය කරන ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවීම ද ක්‍රමයෙන් අඩු වෙයි.

නමුත් මෙය එක රැයකින් සිදුවන දෙයක් නොවේ.

මෙම වැදගත් හෝමෝනය ශරීරය තුළ නිපදවීම අඩු වීමට වසර ගණනාවක් ගත විය හැකි අතර, අවසානයේ දී එය සම්පූර්ණයෙන් නතර වේ.

ඊස්ට්‍රජන් වැදගත් ඇයි?

"ඊස්ට්‍රජන් කියන්නේ කාන්තාවන්ගේ ද්විතීක ලිංගික ලක්ෂණවලට බලපාන හෝමෝනයයි. දැරියක් කාන්තාවක් ලෙස විකසිත වෙන්නේ මෙම හෝමෝනයේ ක්‍රියාකාරීත්වයෙන්. ඊස්ට්‍රජන් හෝමෝනය ප්‍රධාන වශයෙන් ශ්‍රාවය වන්නේ ඩිම්බ කෝෂවලින්."

Image copyright Getty Images
Image caption "ආර්තව චක්‍රය මනාව පවත්වාගෙන යාම සහ පිළිසිඳ ගැනීමක් සඳහා සිරුර සකස් කිරීම. ඊට පසු දරුවෙක් ලබා මව් කිරි ලබා දීමේ ක්‍රියාවලියට ද ඊස්ට්‍රජන් ඉතා වැදගත් වෙනවා"

දැරියක් වැඩි වියට පත් වීමෙන් පසු ඩිම්බ කෝෂ වර්ධනය වී ඊස්ට්‍රජන් ශරීරයට ඇතුළු වී ආර්තව චක්‍රයේ ආරම්භය සිදුවන බව වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න පැහැදිලි කළේය.

"ඉන් පසු මේ ඊස්ට්‍රජන්වල කාර්යය තමයි ආර්තව චක්‍රය මනාව පවත්වාගෙන යාම සහ පිළිසිඳ ගැනීමක් සඳහා සිරුර සකස් කිරීම. ඊට පසු දරුවෙක් ලබා මව් කිරි ලබා දීමේ ක්‍රියාවලියට ද ඊස්ට්‍රජන් ඉතා වැදගත් වෙනවා."

"කාන්තා ශරීරයේ අනෙක් පද්ධතිවල සුමට ක්‍රියාකාරිත්වයටත් ඊස්ට්‍රජන් හෝමෝනය වැදගත් වෙනවා. මොළය, රුධිර වාහිණී පද්ධතිය, සම, අස්ථි, බඩවැල්, අක්මාව, මුත්‍රා පද්ධතිය, ලිංගික අවයව මේ සියල්ලටම ඊස්ට්‍රජන්වලින් යම්කිසි බලපෑමක් තිබෙනවා," වෛද්‍යවරයා පැවසුවේය.

ආර්තවහරණයේ ලක්ෂණ කිහිපයක්

  • ඔසප් වීම අක්‍රමවත් වීම
  • අධික ලෙස දහදිය දැමීම.
  • ශරීර උෂ්ණත්වය දැඩි ලෙස දැනීම
  • ශරීරයේ යම් කොටස්වල දැවිල්ලක් ඇති වීම
  • ශරීරයේ බර වැඩිවීම
  • ලිංගික සංසර්ගයේ දී වේදනාවක් ඇතිවීම
  • යෝනි මාර්ගයේ වියලි බවක් ඇතිවීම
  • නිතර මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වීම
  • සම තුනී වීම
  • අලස ගතිය
  • ඉක්මනින් කේන්ති යෑම ඇතුළු මානසික ව්‍යාකූලතා
  • අත් පා හිරිවැටීම
  • සන්ධි සහ අස්ථි වේදනාකාරී වීම
  • අස්ථි දුර්වල වීම (osteoporosis)
  • හෝමෝනවල බලපෑම් නිසා වැඩිපුර හිසකෙස් හැලී යාම
Image copyright Getty Images
Image caption "මොළය, රුධිර වාහිණී පද්ධතිය, සම, අස්ථි, බඩවැල්, අක්මාව, මුත්‍රා පද්ධතිය, ලිංගික අවයව මේ සියල්ලටම ඊස්ට්‍රජන්වලින් යම්කිසි බලපෑමක් තිබෙනවා"

"මට තරුණ කාලයේ දී ගර්භාෂයේ ගෙඩි හටගත්ත නිසා සැත්කමක් සිදු කරන්න වුණා. ඒක නිසා වයස 47 පහු වෙද්දීම ආර්තවහරණයට මුහුණ දෙන්න වුණා. මගේ මුළු ඇඟම රිදෙන්න ගත්තා. අත පය හිරිවැටෙන ගතියක් තිබුණා. උදේ නැගිටිනකොට දහදියෙන් තෙමිලා," යැයි නම හෙළි කිරීමට අකමැති කාන්තාවක බීබීසී සිංහල සේවයට සිය අත්දැකීම් විස්තර කළාය.

මේ තොරතුරුද කියවන්න:

පවුල් ජීවිතය

ඕනෑම කාන්තාවක් සිය දිවිගමනේ වැඩිහිටි වියට පත් වීමේ දී ආර්තවහරණයට මුහුණ දේ. මෙය තවත් එක් ස්වාභාවික සිද්ධියක් වුවත්, සමහර අවස්ථාවල දී ආර්තවහරණයේ අතුරු ප්‍රතිඵල හේතුවෙන් සිදුවන මානසික ව්‍යාකූලතා නිසා පවුල් දිවිය තුළ ගැටලුකාරී තත්වයක් නිර්මාණය වීමට ද ඉඩ තිබේ.

"මට අවුරුදු 51 වෙනකොට පීරියඩ්ස් හැදෙන එක නතර වුණා. හැබැයි මට ඒ කාලේ පුදුම විදියට කේන්ති යන්න ගත්තා. කිසිම කෙනෙක් නොරුස්සන ස්වභාවයක් ආවා. හැබැයි මට මේ වෙන්නේ මොකක්ද කියලා මට හෝ මගේ පවුලේ අයට දැනුමක් තිබුණේ නැහැ. ඒ නිසා අපිට පවුල් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වුණා," වැලිවේරියේ පදිංචි ජයන්තා කුලසූරිය පැවසුවාය.

බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ කාන්තාවන් දස දෙනාගෙන් හය දෙනෙකුට ආර්තවහරණය ගැන නිවැරදි අවබෝධයක් නොතිබිණි.

Image copyright Getty Images
Image caption "මට ඒ කාලේ පුදුම විදියට කේන්ති යන්න ගත්තා"

එමෙන්ම, පුරුෂයන් බොහෝ දෙනෙකුට ද ආර්තවහරණය සිදු වන්නේ කෙසේ ද යැයි අදහසක් නොතිබිණි.

ආර්තවහරණය යන්න තේරුම් ගෙන එම කාලය ඇතුළත වෛද්‍ය උපදෙස් අනුගමනය කරමින්, කල්පනාකාරීව සහ ඉවසීමෙන් කටයුතු කිරීම වෙනුවට නොයෙකුත් ගැටලු ඇති වීමේ තත්වයක් මෙම නොදැනුවත්කම නිසා ඇති වී තිබේ.

"55දී මට මේ තත්වයට මුහුණ දෙන්න වුණා. සමහර වෙලාවට ඇඟ පිච්චෙනවා වගේ දැනෙන්න ගත්තා. ඒ වගේම දැඩි මානසික ආතතියක් දැනෙන්න ගත්තා. සමහර වෙලාවට ගෙදරින් එළියට දුවන්න වගේ හිතෙන හැගීමක් ආවා. අවසානයේ වෛද්‍යවරයෙක් හමුවෙලා මානසික ව්‍යාකූලතාවට බෙහෙත් ගත්තා," එංගලන්තයේ ලන්ඩන් නුවර දිවි ගෙවන ශ්‍රී ලාංකික කාන්තාවක් වන මාලිනි විතාරණ පැවසුවාය.

මේ අතර, තවත් කාන්තාවන් දෙදෙනෙකු පැවසුවේ සිය සැමියන්ට ආර්තවහරණය ගැන කිසිදු අවබෝධයක් නොතිබුණු නිසා තමන් දැඩි අපහසුතාවලට මුහුණ දුන් බවය. නමුත් සිය සැමියා ද කැටුව වෛද්‍යවරයෙකු හමුවීමට යාමෙන් තත්වය පැහැදිලි කරගත් බව ඔවුහු පැවසූහ.

Image copyright Getty Images
Image caption ආර්තවහරණයේ අතුරු ප්‍රතිඵල හේතුවෙන් සිදුවන මානසික ව්‍යාකූලතා නිසා පවුල් දිවිය තුළ ගැටලුකාරී තත්වයක් නිර්මාණය වීමට ද ඉඩ තිබේ

"මට වයස 48යි. දැන් පීරියඩ්ස් හැදෙන්නේම නැති තරම්. ලිංගික සංසර්ගයේ දී වේදනාවක් දැනෙනවා වගේම ඉස්සර වගේ මනස එක දෙයකට යොමු කරගෙන ඉන්න අපහසු බවක් දැනෙනවා," නම හෙළි කිරීමට අකමැති කාන්තාවක පැවසුවාය.

ආර්තවහරණයට ප්‍රතිකාර ගත යුතු ද?

"ආර්තවහරණය කියන්නේ ලොකු ක්‍රියාවලියක එක් කොටසක් පමණයි. කාන්තාවකගේ හෝමෝන පද්ධතියේ වෙනස්කම් මෙයට බලපාන මූලිකම කාරණයයි. මේ නිසා ශරීරයේ වෙනත් පද්ධතිවලට ඇතිවන බලපෑමට තමයි ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන්නේ," යැයි වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න පැවසීය.

මින් වසර දහයකට පමණ පෙර ආර්තවහරණය හේතුවෙන් මතුවන සංකූලතාවලට 'හෝමෝන නැවත තැන්පත් කිරීමේ (HRT)' ක්‍රමයක් අනුගමනය කර තිබේ. සමහර කාන්තාවන් තරුණ බව රැකගැනීමේ ක්‍රමයක් ලෙස ද මෙම ප්‍රතිකාර ක්‍රමයට යොමුවී තිබිණි.

නමුත්, වෛද්‍ය විද්‍යාවේ නවතම සොයාගැනීම් අනුව, HRT ක්‍රමය දීර්ඝ කාලයක් අනුගමනය කිරීම තුළින් හදවත් රෝග සහ පිළිකා ඇතිවීමේ අවදානමක් පවතී.

Image caption නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න

මේ හේතුවෙන්, වර්තමානයේ දී ආර්තවහරණය නිසා ඇතිවන සංකූලතාවලට සිදු කරන පළමු ප්‍රතිකර්මය HRT නොවන අතර, සිය ජීවන රටාවේ යම් වෙනස්කම් සිදු කිරීම මගින් නිරෝගීව සිටීමට හැකි බව වෛද්‍යවරයා පැවසුවේය.

ජීවන රටාවේ සිදුවිය යුතු වෙනස්කම් මොනවාද?

  • තමන් දිවිගෙවන පරිසරය ප්‍රියජනක ලෙස සකසා ගැනීම
  • පෝෂ්‍යදායී ආහාර රටාවකට හුරුවීම
  • ව්‍යායාමවල නිරත වීම
  • මානසික ආතතියෙන් පෙළෙන්නේ නම් එළිමහනේ ව්‍යායාමවල නිරත වීම
  • තමන් දිවිගෙවන නිවසේ වාතාශ්‍රය වැඩිකර ගැනීම
  • කෝපි වැනි 'කැෆේන්' අඩංගු පාන වර්ග අවම කිරීම
  • උණුසුම් දියර වර්ග පානය කිරීම අවම කිරීම
  • මත්පැන්, දුම්වැටි භාවිතය අවම කිරීම
  • ශරීරය සිසිල් වීම සහ වාතාශ්‍රය ලැබීම සඳහා එළිමහන් ක්‍රියාකාරකම්වල වැඩිපුර නිරත වීම

ආර්තවහරණය නිසා ඇතිවන සංකූලතාවලට වෛද්‍යවරයෙකුගේ උපදෙස් පරිදි ලබාගත හැකි විවිධ පෙතිවර්ග සහ හෝමෝන වඩවන ශාකවර්ග ද ආහාරයට ගත හැකි බව වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න පැවසුවේය.

Image copyright Getty Images
Image caption ජීවන රටාවේ යම් වෙනස්කම් සිදු කිරීම මගින් නිරෝගීව සිටිය හැකිය

"නමුත් තමන්ට දැනෙන සියලු අපහසුතා ආර්තවහරණය නිසා සිදුවන බව නොසිතා ශරීරයේ වෙනත් පද්ධතිවල ඇති වෙනස්කම් ගැන අවධානය යොමු කර සිටීම වැදගත්. උදාහරණයක් ලෙස, තයිරොක්සීන් වැඩි කෙනෙක්ට වැඩිපුර දහදිය දමන ගතියක් එන්න පුළුවන්."

"මේ ක්‍රමවලට අමතරව, මාස තුනකට හෝ හයකට තාවකාලිකව ශරීරයට අවශ්‍ය හෝමෝන ලබා දෙන්න පුළුවන්. ඒ වගේම හෝමෝන අත්‍යවශ්‍ය අවස්ථාවල දී තමන්ට තිබෙන අවදානම තේරුම් අරගෙන එය ලබා ගත්තාට කමක් නැහැ," වෛද්‍යවරයා තවදුරටත් පැවසුවේය.

තවත් තොරතුරු: