HIV සැකය නිසා අර්බුදයකට මැදිවූ කුලියාපිටියේ දරුවාගේ අධ්‍යාපනය යළි බිඳ වැටේද?

Image caption තම ප්‍රාර්ථනය වෛද්‍යවරයකු වීම බව ශිෂ්‍යයා පවසයි

එච් .අයි. වී. භීතියක් හේතුවෙන් පාසල් අධ්‍යාපනය අහිමිව පසුව පාසලක් ලද කුලියාපිටියේ ශිෂ්‍යයා යළිත් අධ්‍යාපනය අහිමි වීමේ අභියෝගයකට මුහුණ දී සිටී.

දරුවාගේ අධ්‍යාපන වියදම් සඳහා පෞද්ගලික ආයතනයක් මගින් ප්‍රදානය කෙරුණ දීමනා මාස දෙකක කාලයක් තුළ නොලැබීම ඊට හේතු වී ඇත.

මීට පෙර පාසලක් අහිමි ව සිටි එම දරුවා ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේද කතා බහට ලක් වූ මාතෘකාවක් වූ අතර, මහත් ආන්දෝලනයකින් පසු ඔහුට පාසලක් ලැබුනේ ප්‍රශ්නය මානව හිමිකම් කොමිසමට හා අධිකරණය දක්වා ද යොමුවීමෙන් අනතුරුවය.

ඒ අනුව දිවයිනේ ජනප්‍රියතම පාසලක් එම දරුවා භාර ගැනීමට කැමැත්ත පළකළ අතර, අධ්‍යාපන අමත්‍යංශය ද ඊට මැදිහත් විය.

දරුවාගේ පාසල් අධ්‍යාපනය නිම වන තෙක් අවශ්‍ය සියලු වියදම් දැරීම සඳහා පෞද්ගලික ආයතන දෙකක් සම්බන්ධ කර ගැනීමට ද අමාත්‍යංශය පියවර ගෙන තිබිණි .

අදාළ පුවත්;

එසේ වුවද, දරුවා නැවත වතාවක් ප්‍රශ්නයකට මුහුණ දී සිටින්නේ ඔහු වෙනුවෙන් අදාළ වියදම් දැරීම අතරමග නතර වීම හේතුවෙනි .

දරුවාගේ ගමන් පහසුව සලකමින් පාසලට නුදුරින් කුලී නිවසක් ද, දරුවාගේ හා මවගේ වියදම් සදහා රුපියල් පහළොස් දහසක මුදලක් ද මාසිකව ලබා දෙමින් තිබුණත් මේ වනවිට මාස දෙකක කාලයක් එම මුදල් ප්‍රදානය කිරීමට අදාළ පෞද්ගලික ආයතනය කටයුතු නොකිරීම හේතුවෙන් ඔහුගේ අධ්‍යාපන කටයුතු ඇන හිට ඇත .

පාසලක් ලැබීමෙන් පසු ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයා දැන් සිය අදහස් දක්වන්නේ සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්හි වචන මුසු කරමිනි.

"මේ මට ලැබුණු 'සෙටිෆිකට්ස්' සහ 'මෙඩල්ස්'"

කළින් ඔහුගේ පොත්වල වූයේ සිංහල අකුරු පමණක් නමුත් දැන් එහි ඉංග්‍රීසි වචන ද වේ.

" මම දැන් ඉංග්ලිෂ් මීඩියම් කරන්නේ" ඔහු පවසයි.

"මට දුවන්න පුළුවන්- පනින්න පුළුවන්" ඉගෙනීමට අමතරව මේ දරුවා ක්‍රීඩාවටද විශේෂ දස්කම් දක්වා ඇත.

"මම ඉස්කෝලේ ක්‍රිකට් ගහනවා ,හොකි ගහනවා . මට මේ ක්‍රීඩා වලින් 'ප්ලේස්' තියනවා" සිය සහතික ගොන්නෙන් දුර දිවීමේ තරගයකින් ලැබූ ජයග්‍රහණයක් සහිත සහතිකයක් ඔහු ඉදිරිපත් කළේය.

"මට රෙදි හෝදන්න පුළුවන් .අම්මට අසනීප වුනාම මම තමයි රෙදි සෝදා ගන්නේ .ගෙදර අතු ගාන්නේ මම.මල්වලට වතුර දාන්නේ මම .මේ ඔක්කොම මම කරනවා" මිට වසර තුනකට පෙර ඉතා අඩුවෙන් කතා කළ ශිෂ්‍යයා දැන් ඔහුගේ දින චර්යාව විස්තර කරන්නේ චතුර ලෙස වචන හසුරුවමිනි.

"ආයෙත් ඉස්කෝලේ යන්න තිබුනොත් මට ඒ ඇති. වෙන මුකුත් ඕනෑ නැහැ" නව හැවිරිදි සිසුවා කියා සිටියේය.

මව කියන කතාව

Image caption දරුවාගේ මව

"මගේ දරුවට එච් .අයි. වී. තියනවා කියල බොරු ප්‍රචාරයක් ඇරියේ මගේ ගමේ මිනිස්සු. ඊට හේතු වුනේ දරුවාගේ පියා මිය යාමෙන් පසු ප්‍රදේශයේ පැතිර ගිය රාවයක් .මේ හින්දා මට දරුවාව ළදරු පාසලකට දාගන්නත් අමාරු වුනා . ළදරු පාසල් ගුරුවරිය දරුවට සාධාරණයක් කරන්න කැමැති වුනාට ගමේ උදවිය ඊට ඉඩ දුන්නේ නැහැ . ළදරු පාසල් අධ්‍යාපනය නිම කරලා ගමේ පාසලට ළමයා ඇතුලත් කරන්න ගියාම විදුහල්පතිවරයා ප්‍රධාන ගමේ ජනතාව ඊට අකැමති වුණා . මේ පිළිබඳව කියන්න ඕන සෑම තැනකටම ගියත් මාස කීපයක් යනකම් දරුවට පාසලක් ලැබුනේ නැහැ . මම බැරිම තැන තමයි කුලියාපිටිය කළාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට දරුවාවත් තියාගෙන උපවාසයක් කළේ"

එම දරුවා HIV ආසාදිතයකු නොවන බව පසුව සනාථ විය.

දරුවාගේ මව චාන්දනී සොයිසා තම අත තිබු රෙදි කඩකින් නෙත කඳුළු පිස ගැනීමෙන් පසු නැවතත් කතා කළාය .

"දරුවාගේ කතාව බීබීසියෙන් ප්‍රචාරය වුනාට පස්සේ මගේ දරුවට ලොකු අනුකම්පාවක් රටේ සහ ලෝකයේ ඇති වුණා. දෙදෙනෙක් දරුවා පිටරට ගෙනියන්න පවා ඉදිරිපත් වුණා . ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව වගේම නීතිඥවරු රැසක්, සමාජ ක්‍රියාකාරීන් රැසක් , දරුවා වෙනුවෙන් පෙනී හිටියා .මාස කීපයක් දරුවට පාසලක් දෙන්න අසමත් වූ අධ්‍යාපන අමාත්‍යාංශය දරුවට පාසලක් ලබා දීම කෙරෙහි සැලකිලිමත් වුණා .ඒ වන විට මේ ගැටලුව අධිකරණය දක්වා ගොස් තිබුණා"

තම දරුවාට සහයෝගය දැක්වූ පිරිස අධිකරණයට යාම දරුවාට පාසලක් ලබා දීම ඉක්මන් වීමට බලපෑ ප්‍රධාන හේතුව වූ බවත් චාන්දනී සොයිසාගේ අදහස වෙයි.

"ඊට පස්සේ ගොඩක් ආයතන ,පුද්ගලයන් ඉදිරිපත් වුනා -දරුවට උදව් කරන්න. නමුත් රජය දරුවාගේ වගකීම භාරගත්ත නිසා ඔවුන් පසුව මේ සත්කාරයෙන් ඉවත් වුණා. අවුරුදු හතරක් මගේ දරුවා පාසලට ගියා . ඒ පාසල, ඒ ප්‍රදේශයේ ජනතාව රත්තරන් . ඔවුන් මගේ දරුවට සැලකුවේ තමන්ගේ දරුවෙකුට වඩා වැඩි ආදරයකින්. මේ විදුහලේ විදුහල්පති උත්තමයා ගුරු භවතුන් ,කාර්ය මණ්ඩලය දරුවන්ගේ දෙමාපියෝ මේ හැමෝම එහෙමයි . දරුවට ඒ අය ගොඩක් උදව් කලා .රජය ඒ කියන්නේ අධ්‍යාපන ආමාත්‍යයංශය කළේ මේ කටයතු සම්බන්ධීකරණය කිරීම පමණක් කියලයි"

දැන් උද්ගතව ඇති ප්‍රශ්නය හමුවේ සිය දරුවා දරුවා පාසල් නොයැවීමට තමා තීරණය කළේ කැමැත්තෙන් නොවන බව ඇය අනතුරුව සඳහන් කළාය.

"මම දන්නවා මගේ දරුවා ඉගෙන ගත්තොත් එයාගේ ඉලක්කයට එයා යනවා කියලා .පුතා දොස්තර කෙනෙක් වෙනවා කියලා ඔහු මුලින්ම කිවේ බීබීසියට.ඒ ඔහුට අවුරුදු පහේදී . දැන් නවයයි . එයා දැන් කියන්නෙත් ඒකමයි . නමුත් උගන්වන්න ඉස්සර වෙලා මම දරුවාව ජිවත් කරවන්න ඕනනේ . කන්නේ බොන්නේ නැතුව කොහොමද පාසල් යවන්නේ. මම ඒ නිසයි -අකමැත්තෙන් හරි මේ තීරණය ගත්තේ .මම කුලියාපිටියේ ඉන්න කොට එයාව ජිවත් කලේ කුලී වැඩ කරලා . නමුත් නුවර මට කරන්න රස්සාවක් නැහැ .මම නුවර රස්සාවල් හෙව්වා. ලැබුනෙ නැහැ .මට දැන් කරන්න ඉතිරි වෙලා තියෙන්නේ දරුවාව කුලියාපිටියට එක්කන් ඇවිල්ල කුලී වැඩ කරලා දරුවා ජිවත් කරවන එක විතරයි.අඩුම ගානේ මට සමෘද්ධියවත් ලැබෙන්නේ නැහැ. සමෘද්ධිය යාන වාහන තියන අයටත් දුන්නා. නමුත් මට ලැබුනේ නැහැ.ඉතින් දරුවා ගෙදර තියාගෙන කුලී වැඩක් කරලා දරුවා ජිවත් කරවනවා හැරෙන්න මම මොනවා කරන්නද?

Image caption තමා දැන් අධ්‍යාපනය ලබන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් යයි ළමයා පවසයි

ගුරු සංගම් ප්‍රතිචාර

කුලියාපිටිය දරුවාගේ වගකීම අධ්‍යාපන අමාත්‍යංශය භාර ගත් බැවින් ඒ වගකීමෙන් ඔවුන්ට නිදහස් විය නොහැකි බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.

"අධ්‍යාපන අමාත්‍යයංශය කරන්නේ ඔවුන් ජනප්‍රිය වන දේවල් පමණයි.ඔවුන් මේ දරුවා පෞද්ගලික ආයතන තුනකට භාර දීලා වගකීමෙන් බැහැර වෙලා ඉන්නවා . අවම වශයෙන් ඔවුනට වගකීමක් තියනවා - මේ පෞද්ගලික ආයතන මේ දරුවා සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද කියල සොයලා බලන්න . ඒ වගේම මේ දරුවා විශේෂ කතාබහකට ලක්වූ දරුවෙක් .එවැනි දරුවෙකු පෞද්ගලික ආයතන කීපයකට භාර දීලා අමාත්‍යංශයට වගකීමෙන් බැහැර වෙන්න පුලුවන්ද ?

අමාත්‍යංශයේ ප්‍රතිචාරය

කුලියාපිටිය දරුවාගේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍යය සහ පෝෂණ අංශයට භාර වූ අතර, එහි අධ්‍යක්ෂිකා රේණුකා පීරිස් වසර හතරකට ආසන්න කාලයක් පෞද්ගලික ආයතන සමග අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදු කළාය .

ශිෂ්‍යයාට මුදල් ලබාදීම මාස දෙකක කාලයක සිට නැවතී ඇති බව රේණුකා පිරිස් අධ්‍යක්ෂකවරිය ද පිළිගත්තාය.

"ශිෂ්‍යයාට මුදල් දුන්නේ පෞද්ගලික ආයතනයක් . ඒ ආයතනය වසර තුනක් මේ මුදල දුන්නා .ඊට අමතරව තවත් පෞද්ගලික ආයතනයක් දරුවට ඉන්න ගෙයක් නුවරින් ලබා දුන්නා . දරුවා අධ්‍යාපනය ලබන්නේ පෞද්ගලික පාසලක. ඒ පාසලෙන් දරුවාගේ අනෙකුත් අවශ්‍යතා සපුරනවා .මේ ගැටලුව ඇති වුනේ- මුදල් දිගටම දෙන්න කියලා - අමාත්‍යාංශය එම පෞද්ගලික ආයතනයෙන් කරන ලද ඉල්ලීම ඇතුළත් ලිපිය ඒ ආයතනයට නොලැබීම. ඔවුන් වෙනත් ස්ථානයකට ගොස් ඇති නිසයි මෙය සිද්ධ වෙලා තියෙන්නේ.ඒ නිසා ඉක්මනින් ළමයාට මුදල ලබා දෙන්න කටයුතු කරනවා"

"දරුවා නුවර පාසලට යැවීමට මව අකමැති නම් කුලියාපිටිය ප්‍රදේශයේ පාසලක් ඔහුට ලබා දීමට හැකි" බවත් රේණුකා පීරිස් අධ්‍යක්ෂකවරිය පවසයි.

"නුවර පාසල වගේ ඉස්කෝලෙකට අපේ දරුවෙක්වත් ඇතුල්කර ගන්න බැහැ .දැන් මේ දරුවා ඉගෙන ගන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒත් ළමයාගේ අම්මා අකමැති නම් කුලියාපිටියේ ආණ්ඩුවේ ඉස්කෝලයක් දරුවට ලබා දෙන්න පුළුවන්"

අධ්‍යාපන අමාත්‍යාංශය මිට වසර හතරකට පෙර අපොහොසත් වූ එම කාර්යය දැන් සිදු කරන්නේ කෙසේදැයි විමසීමක් කළ විට 'දැන් එය පහසුවෙන් ඉටු කළ හැකි' බව අධ්‍යක්ෂකවරිය සඳහන් කළාය.

කියවන්න;