කුණු බහාලුම්: ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් "මෙතෙක් නිල ඉල්ලීමක් නැහැ"

අපද්‍රව්‍ය බහාලුම් පරීක්ෂා කිරීම Image copyright AFP
Image caption අපද්‍රව්‍ය බහාලුම් පරීක්ෂා කිරීම

කැළි කසල අඩංගු බහාලුම් නැවත ගෙන්වා ගන්නා ලෙස දන්වමින් මෙතෙක් කිසිදු නිල ඉල්ලීමක් ශ්‍රී ලංකා බලධාරීන් වෙතින් තමන්ට ලැබී නැති බව එක්සත් රාජධානියේ පරිසර ඒජන්සිය පැවසීය.

තත්ත්වය සම්බන්ධයෙන් බදාදා (ජූලි 24) බීබීසී කළ විමසීමකට පිළිතුරු ලෙස ඒ බව පැවසූ පරිසර ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කළේ, සිදුවී තිබෙන්නේ කුමක්ද යන්න පිළිබඳව තම ආයතනය විමර්ශනයක යෙදී ඇති බවකි.

භාවිත කරන ලද මෙට්ට ලෙස හඳුන්වා ප්‍රතිඅපනයනය කිරීම සඳහා යැයි පවසමින් ආනයනය කරන ලද බහාලුම් 241න් 130ක් වරායෙන් නිෂ්කාෂණය කොට කටුනායක පිහිටි හේලීස් ෆ්‍රී සෝන් ආයතන පරිශ්‍රයේ රඳවා ඇති අතර, ඉතිරි බහාලුම් 111 කොළඹ වරායේ අංගන තුනක තවමත් ඇති බව බීබීසී සිංහල සේවය ඊයේ (ජූලි 23) කළ විමසීමකදී ශ්‍රී ලංකා රේගුව පැවසීය.

අදාළ බහාලුම් තුළ ඇති මෙට්ටවලින් ඇතැම් ඒවා තුළ සායනික සහ වෙනත් අපද්‍රව්‍ය පුරවා තිබෙන බව ඒ පිළිබඳ විමර්ශනයක යෙදෙන මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කර තිබිණි.

"ඇත්තට ම මෙතන වෙලා තියෙන්නේ පාවිච්චි කරන ලද මෙට්ට ලෙස දක්වලා යම්කිසි අපද්‍රව්‍ය වගයක් ලංකාවට ගෙනැවිත් තිබෙනවා. එම මෙට්ට කවර තුළ විවිධාකාර කාපට්, ප්ලාස්ටික්, වෙන වෙන තැන්වලින් ඉවත් කරපු අප ද්‍රව්‍ය දුගඳ හමන දේ තමයි තිබෙන්නේ. ඒවා ඇරලා පරීක්ෂණයක් කරන්න බැරි තරමේ අපද්‍රව්‍ය තමයි එවලා තිබෙන්නේ." යැයි රේගු අධිකාරී ලාල් වීරකෝන් බීබීසී සිංහල සේවය සමග පැවසීය.

මෙසේ බ්‍රිතාන්‍ය සිට ගෙන්වා ඇති අපද්‍රව්‍ය අතර සිරින්ජර්, මෙන්ම මෘතශරීරාගාරවලින් ඉවත් කෙරුණු මිනිස් සිරුරු කොටස් යැයි සැකකෙරෙන දේ ද ඇති බවට චෝදනා එල්ලවන බව ඇතැම් වාර්තාවල දැක්වේ.

"ඔබේ කසල අංගනය නොවේ"

Image caption බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය අසල විරෝධතාව

අදාළ කසළ තොගය අඩංගු බහාලුම් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වන අයුරු දැක්වෙන ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ පළවීමත් සමග ඒ පිළිබඳ විශාල කතිකාවක් ඇතිවන්නට විය.

ඒ සමග මතුවෙමින් ඇති කෝපය අතරේ, භික්ෂුන් වහන්සේ මෙන්ම පරිසරවේදීන්ගෙන් ද සැදුම්ලත් පිරිසක් අද (ජූලි 24) කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය අසල විරෝධතාවක යෙදුණහ.

ඔවුන් අත වූ එක් විරෝධතා පුවරුවක "ශ්‍රී ලංකාව ඔබේ කසළ අංගනය නොවේ" යන්න සඳහන් විණි.

Image caption කිහිපදෙනෙකුට පමණක් මහ කොමසාරිස් කාර්යාලය තුළට යාමට අවසර ලැබිණි.

කෙසේවෙතත්, බහාලුම් යළි බ්‍රිතාන්‍යයට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීම් කෙරුණු ලිපියක් භාර දීම සඳහා විරෝධතාකරුවන් අතරින් කිහිපදෙනෙකුට පමණක් මහ කොමසාරිස් කාර්යාලයට ඇතුළුවීමට ඉඩ ලැබිණි.

"මා මෙහි ආවේ මගේ රටේ සහ මගේ දරුවන්ගේ අනාගතය ආරක්ෂා කිරීම වෙනුවෙන්. අපේම කසළ බැහැර කිරීමේ දුෂ්කරතාවටත් අප මුහුණදී තිබෙනවා" යැයි, විරෝධතාවට එක්වීම සඳහා සිය පවුලේ සාමාජිකයින් සමග පැමිණ සිටි මංජුශ්‍රී සුමිත්‍රාරච්චි සඳහන් කළාය.

"අපි තුන්වෙනි ලෝකයේ රටක්, ගැටලු රැසක් සමග අප අරගලයක යෙදිලා ඉන්න අතරේ වෙන කාගේවත් කුණුවලට අප වගකියන්නේ කොහොමද" යැයි ඇය ප්‍රශ්න කළාය.

මේ පිරිස අතර සිටි දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශකයකු වන අවිශ්ක සෙන්දනායක, "මේ අපද්‍රව්‍යවල රසායනික ඇති බව දැනගන්නට ලැබුණා. මේ අපද්‍රව්‍ය කාන්දු වෙන අයුරුත් වීඩියෝවලින් දැක්කා." යැයි සඳහන් කළේය.

"මේ සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ ආණ්ඩුව වගකීම දරන්නට ඕනෑ වගේම මේවා යළි හරවා යවන්නට ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගන්න ඕනෑ" යැයි ද ඔහු කියා සිටියේය.

කෙසේවෙතත්, එක්සත් රාජධානියේ පරිසර ඒජන්සිය කියා සිටියේ එම අපද්‍රව්‍ය යළි ගෙන්වාගත හැක්කේ ඒවා නීතිවිරෝධීව හා සෘජුවම එංගලන්තයෙන් අපනයනය කළේ යැයි ඔප්පු කළ හැකිනම් පමණක් බවය.

නීතිවිරෝධී අපනයනවලට වගකිවයුත්තන්ට සම්බාධකවලට ද මුහුණදීමට සිදුවන බව ඒජන්සිය පැවසීය.

'ප්‍රතිචක්‍රීකරණයට යැයි හැඟවීම'

මේ සිදුවීම, බටහිර රටවල් විසින් ප්‍රතිචක්‍රීකරණයට යැයි හඟවමින් අපද්‍රව්‍ය බැහැර කරනු ලැබීමෙන් ආසියානු රටක් කෝප ගැන්වූ ආසන්නම අවස්ථාව වේ.

තවදුරටත් විදේශීය ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා භාර නොගැනීමට 2018 දී චීනය විසින් ගන්නා ලද තීරණයෙන් ලෝක ප්ලාස්ටික් කර්මාන්තය උඩු යටිකුරු වූ අතර අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට අපනයනය කිරීම වේගවත් විණි.

පසුගිය මැයි මාසයේදී පිලිපීනය විසින් අපද්‍රව්‍ය බහාලුම් 69 ක් කැනඩාව වෙත හරවා යැවිණි. එහිදී කියවුණේ ප්‍රතිචක්‍රීකරණය සඳහා වූ ප්ලාස්ටික් යනුවෙන් වැරදි ලෙස ලේබල් කෙරී තිබු බවකි.

මේ මස මුලදී කාම්බෝජය කියා සිටියේ අපද්‍රව්‍ය අඩංගු බහාලුම් 83ක් ඇමෙරිකාවට හා කැනඩාවට යවන බවකි. "කාම්බෝජය කුණු බක්කියක් නොවේ" යැයි එරට ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු පවසා තිබිණි.

බීබීසී සමග සිය ප්‍රතිචාර දැක්වූ එක්සත් රාජධානියේ පරිසර ඒජන්සිය "නීතිවිරෝධීව කෙරෙන අපද්‍රව්‍ය අපනයනයට වැට බැඳීමට කැපවී සිටිනවා" යැයි පැවසීය.

"නිවැරදි ලෙස ප්‍රකාශ නොකර අපද්‍රව්‍ය අපනයනයේ යෙදෙන්නෙකුට වසර දෙකක සිර දඬුවමක් හෝ සීමාරහිත දඩයකට මුහුණ දීමට සිදුවනවා" යැයි එහි ප්‍රකාශිකාවක සඳහන් කළාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර